යොවුන් පාපන්දුව කබලෙන් ලිපට වැටේ

88

16න් පහළ ආසියානු කුසලාන පාපන්දු ශූරතාවලිය වෙනුවෙන් සුදුස්සන් තෝරාගැනීමේ තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22) දිනයේ දී නැවතත් මෙරටට පැමිණියේ තවත් එක් අඳුරු මතකයන්ගෙන් පිරුණු  තරග සංචාරයක නිමාව සටහන් කරමිනි.

නේපාලයට අභියෝග කරන්නට පාපන්දු පොඩ්ඩෝ කත්මණ්ඩු යයි

දකුණු ආසියානු 18න් පහළ පාපන්දු තරගාවලිය අද (20) නේපාලයේ….

මෙම තරගාවලිය සඳහා පිටත්ව යාමට පෙරාතුව නම් කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමක් වයස අවු.15න් පහළ දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය සඳහා සහභාගී වූ අතර එහි දී ද බලාපොරොත්තු වූ අන්දමින් දක්ෂතා අතරට පැමිණීමට යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අපොහසත් විය.

කෙසේ නමුත් එම තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගය භූතාන කණ්ඩායමට එරෙහිව ඉතා තියුණු සටනක් ලබා දීමෙන් අනතුරුව ගෝල 3-2ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වූ නමුත් ඉන්පසුව ක්‍රියාත්මක වූ තරග ත්‍රිත්වයේ දී ම ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය යන කණ්ඩායම් ඉදිරියේ දන නැමීමට මෙරට ක්‍රීඩකයින් හට සිදුවීම කනගාටුවට කරුණකි. සමස්ත තරගාවලිය පුරාවටම ප්‍රතිවාදි කණ්ඩායම් වෙත ගෝල 16ක් පූජා කළ අප කණ්ඩායම හට වාර්තා කිරීමට හැකිව තිබුණේ ගෝල 4ක් පමණි.

දකුණු ආසියානු ශූරතාවලිය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට ගුරුහරුකම් ලබා දෙමින් ප්‍රධාන පුහුණුකරු භූමිකාවට පණ පෙවූ අරුණ සම්පත් මහතාගේ සේවය තවදුරටත් ලබා ගත් වයස අවු.16න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගාවලිය සඳහා ඇතුළත් වූ ක්‍රීඩකයින් 18දෙනෙකු ඒ අයුරින්ම කණ්ඩායමෙහි රඳවා ගනිමින් ක්‍රීඩකයින් 23දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ජෝර්දාන් තරග සංචාරය වෙනුවෙන් නම් කිරීමට පියවර ගෙන තිබුණි.

SAFF පාපන්දුව මෙරටට අකැපද?

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන වාර්ෂික….

මන්නාරම සාන්ත ලුෂියා විද්‍යාලය නියෝජනය කරන සායන් ඩානි සහ ඌව විද්‍යාලයෙහි අධ්‍යාපනය හදාරන නසීර් ෆහීම් යන ක්‍රීඩකයින් දෙදෙනාගේ නම් දකුණු ආසියානු ශූරතාවලිය සඳහා ඇතුළත් වූ නමුත් එම තරගාවලියේ දී එකදු තරගයක් හෝ ක්‍රීඩා නොකළ ඔවුන් දෙදෙනාම සංචිතයෙන් ඉවත්කොට ඒ වෙනුවට නව ක්‍රීඩකයින් 5දෙනෙකු ජෝර්දාන තරග සංචාරය සඳහා එක්කොට ගැනීම ද කැපී පෙනුණි.

ප්‍රශ්නාර්ථ ලකුණු කිහිපයක් මධ්‍යයේ වූවද ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ සිහිනය ද පෙරදැරිව ජෝර්දානය වෙත පියාසර කළ ශ්‍රී ලංකා වයස අවු.16න් පහළ කණ්ඩායමට ආරම්භක තරගයේ දී ම පසුබැසීමට සිදු වූයේ කුවේට් කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමඟිනි. අවසන් ලකුණු තත්වය ගෝල 2-0ක් ලෙස දිස් වූ එම තරගයේ පළමු අර්ධයේ දී ම ගෝල 2ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට දැඩි පීඩනයක් එල්ල කිරීමට කුවේට් කණ්ඩායම සමත් වූ නමුත් විවේක කාලයෙන් අනතුරුව කාල සීමාව තුල දී එකදු ගෝලයක්වත් ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වගබලාගත්හ.

අසුභදායී ප්‍රතිඵලයකින් ඇරඹුණු තරගාවලිය තවදුරටත් අමිහිරි අවසානයක් කරා ඇඳුණේ සහභාගී වූ දෙවන තරගයේ දී තජිකිස්තාන කණ්ඩායම ඉදිරියේ ලද නින්දා සහගත පරාජයත් සමඟිනි. පළමු අර්ධයේ දී ගෝල 5ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මුළුමනින්ම ඇඳ වැට්ටූ තජිකිස්තානුවන් දෙවන අර්ධයේ දී ද තවත් ගෝල 3ක් සිය ගිණුමට බැර කරගත්තේ දිනය අවසානයේ ඉතාමත් පහසු ජයක් වාර්තා කරගනිමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශයෙන් ප්‍රහාරයක්

3 වැනි දකුණු ආසියානු 18 න් පහළ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා….

කබලෙන් ලිපට ඇඳ වැටුණු යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම හට තෙවැනි තරගයේ දී මුණ ගැසුණේ සත්කාරක ජෝර්දාන් කණ්ඩායමයි. ඉතාමත් ශක්තිමත්, හැඩිදැඩි සිරුරු සහිත ජෝර්දාන් ක්‍රීඩකයින් මෙල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට අමතර වෙහෙසක් දැරීමට සිදු වූ අතර පළමු අර්ධයේදී එකදු ගෝලයක්වත් ලබා නොදී ප්‍රතිවාදී කණ්ඩායම නිහඬව තබා ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් සමත් විය. 

දෙවන අර්ධයට පියමැනීමත් සමඟම නැවතත් තම දියාරු ක්‍රීඩා විලාසය ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් කළේ ජෝර්දානයට ගෝල 7ක් බන්දේසියේ තබා පූජා කරමිනි.

දෙවන තරගයේ දී ද ඉතාමත් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ගෝල රකින්නා ඉන් අනතුරුව පැවති ජෝර්දාන් තරගය සඳහා ද ඒ අයුරින් නම් කිරීම පිළිබඳ බොහෝ දෙනා විමතිය පළකොට සිටි අතර එම ක්‍රීඩකයාගේ අතින් සිදු වූ අතපසුවීම් රැසක් නොවන්නට මෙතරම් ගෝල සංඛ්‍යාවක් අප කණ්ඩායමට එරෙහිව වාර්තා වීමට පැවතියේ අඩු ඉඩකඩකි.

දිගින් දිගටම ලද පරාජයන්ගෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් එක් වතාවකට තම දකුණු ආසියාතික අසල්වැසියා වන නේපාලයේ ප්‍රහාරයන් ඉවසා ගැනීමට සිදු වූයේ කිසිදා අමතක නොවන තරගාවලියක අවසන් වේදනාකාරී මතක සටහනට ද උරුමකම් කියමිනි. 

සම්පූර්ණ කාල සීමාව අවසානයේ දී ගෝල 3ක් වාර්තා කළ නේපාල ක්‍රීඩකයින් පහසුවෙන්ම තරගය ජය ගත් අතර පසුගිය තරගවලට සාපේක්ෂව අඩු ගෝල සංඛ්‍යාවක් ලබා දීම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට මහත් අස්වැසිල්ලක් ගෙන දෙන්නක් විය.

එතෙක් ගෝල රැකීමේ කාර්‍යෙහි නිරත වූ තරුෂ රශ්මික ක්‍රීඩකයා වෙනුවට මොහොමඩ් හෆීල් ක්‍රීඩකයා නම් කිරීමට පියවර ගැනීම ද තරග අවසානයේ දී අවමන් සහගත පරාජයකින් බේරීමට ඉවහල් විය.

සහභාගී වූ තරග හතරම පරාජයට පත්වෙමින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් හට තම දැල 20 වතාවක් ආක්‍රමණය කිරීමට ඉඩ දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට තරගාවලිය පුරාවට එකදු ගෝලයක්වත් රැස්කරගැනීමට නොහැකි වීම ද සුවිශේෂී සිදුවීමකි.

ශ්‍රී ලංකා පාපන්දුව ඉදිරි අනාගතයේ දී ලෝකයා ඉදිරියට ගෙන යාමට සිටින මෙම වටිනා සම්පත් නිසි ආකරයෙන් කළමනාකරණය කිරීම බලධාරීන් සතු සුවිශාල වගකීමක් වන අතර එම යොවුන් ක්‍රීඩකයින්ගේ දුර්වලතා හඳුනා ගනිමින් ඒවාට පිළියම් යෙදීමටත්, හැකියා දක්ෂතාවන් හඳුනා ගනිමින් ඒවා වැඩි දියුණු කිරීමටත් පියවර ගැනීමට කාලය එළඹ තිබේ.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<