මතභේද රැසක් සමඟින් 23න් පහළ පාපන්දු සංචිතයක් නම් කරයි

555

ආසියානු පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය යටතේ පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා සහභාගි 23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ඊයේ (19) මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන අතර මේ මස 22 සිට 26 වැනිදා දක්වා බහරේන් හීදී තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සෙරන්ඩිබ් පරදවමින් පොලීසිය පළමු කාණ්ඩයේ ශුරතාවය දිනයි

මාවනැල්ල සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය ගෝල 2-1ක් ලෙස පරාජය කළ පොලිස් ක්‍රීඩා සමාජය 2018 ප්‍රිමියර් ලීග්…

2020 වර්ෂයේ දී තායිලන්තය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත වයස අවු.23න් පහළ ආසියානු කුසලාන පාපන්දු ශූරතාවලිය සඳහා තරග වදින කණ්ඩායම් තෝරාපත් කරගැනීම මෙම තරගාවලියේ මූලික අරමුණයි. ඒ අනුව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 44ක් සහභාගී වීමට නියමිත අතර ඔවුන් එක් කාණ්ඩයකට කණ්ඩායම් 4ක් වන සේ කාණ්ඩ 11ක් යටතේ එකිනෙකා මුණ ගැසීමට නියමිතයි.

සෑම කාණ්ඩයකම පළමු ස්ථානය හිමිකරගන්නා ජයග්‍රාහී කණ්ඩායම මෙන්ම සියලුම කාණ්ඩ අතරින් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් සහිතව දෙවන ස්ථානය අත්කරගන්නා කණ්ඩායම් හතර ප්‍රධාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ භාග්‍ය උදාකර ගැනීමට නියමිතයි.

B කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම සිය දකුණු ආසියානු සඟයා වන බංග්ලාදේශය සමඟත්, මැද පෙරදිග ප්‍රබල කණ්ඩායම් ද්විත්වයක් වන බහරේන් සහ පලස්තීන කණ්ඩායම්වලට එරෙහිවත් තරග වැදීමට නියමිතයි.

කෙසේ නමුත් නිමාව දුටු ඩයලොග් අන්තර් සමාජ ලීග් පාපන්දු තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා අතර සිටි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අවසන් සංචිතය වෙත නම් කොට නොතිබීම තරමක් පුදුමයට කාරණයක් වන අතර ඒ අතරින් කොළඹ ක්‍රීඩා සමාජය නියෝජනය කරන මොහොමඩ් ආකීබ්, රිනවුන් ක්‍රීඩා සමාජයේ දිලීප් පීරිස්, ජාවා ලේන් කණ්ඩායමේ නවීන් ජූඩ්, නාවික හමුදා කණ්ඩායමේ සාමාජික ධනුෂ්ක මධුෂාන් මෙන්ම පසුගිය සතිඅන්තයේ දී ප්‍රිමියර් පළමු කාණ්ඩයේ ශූරතාව දිනා ගත් පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ මහේන්ද්‍රන් දිනේෂ් සහ දනුෂ පෙරේරා යන ක්‍රීඩකයින් ඇතුළත් නොවීම වඩාත් කතාබහට ලක් වී ඇත.

ශ්‍රී ලංකා ගෝල රකින්නිය පරාජයේ සැර බාලකරයි

SAFF කාන්තා පාපන්දු තරගාවලියේ B කාණ්ඩයට අදාලව ඉන්දියාව සමඟින් පැවති තරගයේ දී, ශ්‍රී…

තවද ඩයලොග් ලීග් පාපන්දු ශූරතාවලිය සඳහා ක්‍රීඩා නොකළ උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු එකවරම සංචිතය වෙත කැඳවා තිබීම නිසාවෙන් ක්‍රීඩකයින් තෝරාපත් කරගැනීමේ ක්‍රියාපටිපාටියේ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතුව ඇති බව පෙනී යයි.

මෙම තීරණය ගැනීම සඳහා මූලිකවම බලපා ඇති කරුණු අතරින් ප්‍රධාන වශයෙන්ම දිවයින පුරා විසිරී සිටින යොවුන් ක්‍රීඩකයින් හට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීම් ලබා දීම ප්‍රමුඛ ස්ථානයක ගෙන ඇතිමුත් දේශීය පළමු පෙළ තරග ක්‍රීඩා කරමින් දක්ෂතා අතර සිටින බව සැම ඉදිරියේ සනාථ කර ඇති පිරිසක් සිටින පසුබිමක බලධාරීන් විසින් ගෙන ඇති මෙම තීරණය තරමක් විවාදයට තුඩුදෙන කාරණයක් බව විචාරක මතයයි.

කෙසේ නමුත් කණ්ඩායම මෙහෙයවීමේ භාරධූර වගකීම රිනවුන් ක්‍රීඩා සමාජයේ රසීක් රිෂාඩ් වෙත හිමි වී ඇති අතර ඔහුට සහය වෙමින් උපනායක භූමිකාවට පණ පෙවීමේ කර්තව්‍යය රත්නම් ක්‍රීඩා සමාජයේ සසංක ජයසේකර විසින් ඉටු කරනු ඇත.

නිසාම් අලී මහතා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරවරයා ලෙස කටයුතු කරන අතරවාරයේ කණ්ඩායම් කළමණකරු වශයෙන් සුනිල් සේනවීර මහතා සිය සේවය කණ්ඩායම වෙත ලබා දීමට නියමිතයි.

23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස අවු. 23න් පහළ සංචිතය

M.A.M.ෂහීල් නාවික STRIKER
ෂබීල් රසූනියා පොලිස් STRIKER
මොහොමඩ් රිෆ්කාන් පොලිස් STRIKER
මොහොමඩ් මුජීබ් රිනවුන් RIGHT MIDFIELD
A.තනීෂ් සොලිඩ් LEFT MIDFIELD
ජෝයි නිතුසන් මන්නාර් CENTRAL DEFENCE
මොහොමඩ් ෂිෆාන් මාවනැල්ල LEFT MIDFIELD
C.L.ධනංජය නිව් යන්ග්ස් CENTRAL MIDFIELD
සුන්දරාජ් නිරේෂ් සෞන්ඩර්ස් CENTRAL MIDFIELD
මොහොමඩ් අමාන් රත්නම් CENTRAL MIDFIELD
මොහොමඩ් මුෂ්ටාක් බැටික්ලෝ CENTRAL MIDFIELD
විශාල් ගුණරත්න බහරේන් UTILITY MIDFIELD
සසංක ජයසේකර රත්නම් RIGHT MIDFIELD
චමෝද් ඩිල්ෂාන් සෝන්ඩර්ස් LEFT DEFENSE
පැතුම් විමුක්ති කිංග්ස්වුඩ් UTILITY DEFENSE
S.ක්‍රිෂාන්ත් සොලිඩ් CENTRAL DEFENCE
ජූඩ් සුමාන් ‍රිනවුන් CENTRAL DEFENCE
මොහොමඩ් රිනාස් කින්නියා CENTRAL DEFENCE
T.A.සුබාෂ් පොයින්ට් පේඩ්‍රෝ CENTRAL DEFENCE
විකුම් අවිෂ්ක නාවික RIGHT DEFENCE

 

  • රසීක් රිෂාඩ් – රිනවුන් – GOAL KEEPER
  • M.K.N.ඉෂාන් – සොලිඩ් – GOAL KEEPER
  • නුවන් ගිම්හාන් – මහරගම -GOAL KEEPER

තරග කාලසටහන

  • මාර්තු 22 වැනිදා ප.ව.6.30ට – ශ්‍රී ලංකාව සහ පලස්තීනය – කලීෆා  ක්‍රීඩාංගණය
  • මාර්තු 24 වැනිදා ප.ව 9.30ට – ශ්‍රී ලංකාව සහ බහරේන් – කලීෆා ක්‍රීඩාංගණය
  • මාර්තු 26 වැනිදා ප.ව.6.30ට – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය – කලීෆා ක්‍රීඩාංගණය

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<