අහන් පන්න පන්නා ජයග්‍රහණය තෙක් පහර දෙයි

71
England U19 vs Sri Lanka U19

සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී පැවැත්වෙන එක්දින තරගාවලියේ නෝර්ත් සවුන්ඩ්හීදී ඊයේ (11) පැවති එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 27ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

වර්ෂාව හේතුවෙන් තරමක් ප්‍රමාද වී ඇරඹි මෙම තරගය පන්දුවාර 45කට සීමා විය. ඉන් අනතුරුව තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 149ක් තම ලකුණු පුවරුව ඉදිරියේ සටහන් කළේය.

එංගලන්ත ආරම්භක පිතිකරු ඩාන් මවුස්ලි මන්දගාමී පිතිකරණයක නියැලෙමින් පන්දු 86කින් ලකුණු 38ක් ලබා ගත්තේය. සෑම් යංග්, ජෝර්ඩන් කොක්ස් හා ජැක් හේන්ස් තිදෙනාව පිළිවෙළින් ලකුණු 2, 10 හා 8කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූයේ එංගලන්ත ලකුණු පුවරුව 57/3ක් බවට පත්කරමිනි.

පසුව මවුස්ලි සමඟ එකතු වූ ලුවිස් ගෝල්ඩ්වෝර්ති එංගලන්ත මුළු ලකුණු සංඛ්‍යාව 83ක් දක්වා ඔසවා තැබීය. නමුත් ඒ සමඟින්ම ක්‍රියාත්මක වූ කවිඳු නදීෂාන්ගේ පන්දුවක් හමුවේ මවුස්ලි දැවී ගියේ එංගලන්තයට තවත් පීඩනය වැඩිකරමිනි.

ඉන් අනතුරුව පිටියේ එක් වූ ගෝල්ඩ්වෝර්ති සහ ජෝයි එවිසන් දෙදෙනා නියමිත පන්දුවාර 45 අවසන් වන තුරුම කඩුල්ලේ රැඳී සිටීමට සමත් වූයේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුනු ලකුණු 66ක් සබඳතාවයක් පිහිටුවමිනි.

ඒ අනුව එංගලන්තය තම නියමිත පන්දුවාර 45 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 149ක් රැස් කළේය. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ලුවීස් පන්දු 65ක දී ලකුණු 34ක් හා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජෝයි පන්දු 46කින් ලකුණු 43ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ කවිඳු නදීෂාන් ලකුණු 30කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ නවෝද් පරණවිතාන හා චමිඳු වික්‍රමසිංහ ය. අසාර්ථක ආරම්භයක් ලබා ගත් චමිඳු ලකුණු 3කට සහ පරණවිතාන ලකුණු 16කට දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 20/2ක් බවට පත්කරමිනි.

වැඩි වේලාවක් යාමට මත්තෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වශයෙන් එක් ලකුණක් ලබා සිටි රවිඳු රසන්ත ද දැවී ගියේය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 23/3ක් වශයෙන් සටහන් වන විට කමිල් මිෂාර සමඟ පිටියේ එක්වූ අහන් වික්‍රමසිංහ දෙදෙනා වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම කෙමෙන් කෙමෙන් ගොඩගනු ලැබුවේ සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 60ක සබඳතාවයක් ගොඩනගමිනි.

අගනා පිතිකරණයක නියැලුණු අහන් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තෙක්ම නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 83කින් ලකුණු 70ක් ලබා ගත්තේ එංගලන්ත පන්දු යවන්නන්ට දිගට හරහට බැටදෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් අන්තර්ගත විය.

ඔහුට අගනා සහයක් ලබා දුන් කමිල් මිෂාර තැන්පත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 76ක දී ලකුණු 33ක් ලබා ගත්තේය. එහෙත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 93ක් ලෙස සටහන්ව තිබිය දී සිව්වැනි කඩුල්ල වශයෙන් කමිල් දැවී ගියේය. 

ඉන්පසුව පිටියේ එක් වූ නිපුන් ධනංජය, අහන් සමඟ එක්ව ලකුණු 50ක නොබිඳුනු සබඳතාවයක් ගොඩනැගීමට තම දායකත්වය ලබා දුන්නේය. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 37ක් අවසන් වන විට යළිත් වතාවක් තරගයට වර්ෂාව හරස් වූ අතර ඒ වන විට ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 143ක් ලබා සිටියේය. ඒ වන විට ශ්‍රී ලංකාව ලබා සිටිය යුතු ඩක්වර්ත් ලුවිස් ලකුණු සංඛ්‍යාව බවට පත්වූයේ ලකුණු 116ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකාව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 27කින් මෙම තරගය ජයග්‍රහණය කළේ තරගයේ සියලු ගෞරව හිමිකරගනිමිනි.

එංගලන්තය වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ නායක ජෝර්ජ් බල්ඩර්සන් ලකුණු 20කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

තරගාවලියේ මීළඟ තරගය එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (12) නොර්ත් සවුන්ඩ්හීදී පැවැත්වීමට නියමිතව ඇත.

එංගලන්ත 19න් පහළ කණ්ඩායම – 149/4 (පන්දුවාර 45): ජෝයි එවිසන් 43*(46), ඩාන් මවුස්ලි 38(86), ලුවීස් ගෝල්ඩ්වෝර්ති 34*(65), කවිඳු නදීෂාන් 2/30

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – 143/4 (පන්දුවාර 37): අහන් වික්‍රමසිංහ 70(83), කමිල් මිෂාර 33(76), නවෝද් පරණවිතාන 16(13),  ජෝර්ජ් බල්ඩර්සන් 2/20

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<