යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙවැනි තරගයත් ජය ගනී

682

කණ්ඩායමක් සේ එක්ව ක්‍රීඩා කිරීමේ වාසිය තව දුරටත් තීව්‍ර කර ගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ, වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ද ඉතා ලෙහෙසියෙන් ජය ගැනීමට සමත් වූහ.

මැලේසියාවේ ක්වාලාලම්පූර් හී බයුමාස් ඕවල් පිටියේ දී අද (11) පැවති ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරගයේ දී ලකුණු 61ක ජයග්‍රහණයක් වාර්තා කළ ඔවුන් B කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම වෙමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමුවැනියා වීමට ද සමත් විය.

සිංහ පැටවුන්ගේ පළමු අභියෝගය සුපිරි ජයග්‍රහණයකින් නිමාවෙයි

මැලේසියාවේ දී අද (10) ඇරඹුණු වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුල්ම තරගයම විශිෂ්ට අයුරින් ජය ගැනීමට ශ්‍රී ලංකා සිංහ…

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 196ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 135ක් පමණි.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවන් වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් කණ්ඩායමට එක් වූ ආරම්භක පිතිකරු හසිත බෝයගොඩ සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය නියෝජනය කරමින් කණ්ඩායමට එක් වූ ප්‍රවීන් ජයවික්‍රමයි.  

පන්දුවට පහර දීමේ දී ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙනම පිතිකරු වූයේ හසිත බෝයගොඩ ය. දුවද්දී දැවී යද්දී ඔහු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් රැස් කළේය. පන්දු යැවීමේ අවධානයට ලක් වූ පන්දු යවන්නා වූයේ පන්දුවාර 6.5ක් යවමින් නොඉඳුල් පන්දු වාරයක් ද සමඟින් ලකුණු 17කට කඩුලු 5ක් දවාගත් ප්‍රවීන් ජයවික්‍රමයි.

තරගයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් පැයකට ආසන්න කාලයක් කා දමද්දී විනිසුරුවන් කාලය හා පන්දුවාර ගණනය කරමින් තීරණය කළේ තරගය පන්දුවාර 42කට සීමා කිරීමටයි. ඒ අනුව ආරම්භ කිරීමට නියමිත වූ තරගයේ කාසියේ වාසිය උරගා බැලීමේ දී පිට පිටම දෙවැනි වරටත් එහි අවාසිය ශ්‍රී ලංකා නායකයා සතු විය. එහි ප්‍රතිඵලය වූයේ වර්ෂාව හේතුවෙන් යම් මට්ටමකින් තෙත් වූ තණතිල්ලේ ශ්‍රී ලංකා යෞවනයන්ට පන්දුවට පහර දීමට සිදු වීමයි.

ශ්‍රී ලංකාව පන්දු යවන්නන් 04කට මාරු වෙයිද? චන්දිමාල්ගෙන් ඉඟියක්

පාකිස්තාන කණ්ඩායම සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්නන් 5 දෙනෙකු ක්‍රීඩා…

ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි දනංජය ලක්ෂාන් සහ හසිත බෝයගොඩ මේ තත්ත්වය වඩාත් අවබෝධ කර ගනිමින් වඩාත් සීරු මාරුවට පන්දුවට පහර දෙමින් පළමු කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් එක් කළහ. නමුත් ඉනිමේ ක්‍රීඩා කිරීමට තිබූ පන්දුවාර හතරෙන් එකකටත් වඩා ප්‍රමාණයක් අවබෝධයෙන් යුතුව කඩුල්ල ආරක්ෂා කර ගත් ඔවුන්ට ඇසිල්ලකින් කඩුලු අතර දිවීමේ දී වූ අනවබෝධය පළමු කඩුල්ල අහිමි වීමට හේතු විය. ඒ දනංජය ලක්ෂාන් ලකුණු 24කට දැවී යෑමත් සමඟය.

අනතුරුව නායක කමිඳු මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට හසිත සමඟ එක් විය. ඔවුන් දෙදෙනාගේ ලකුණු සබඳතාව ලකුණු 15කට සීමා කිරීමට අහමඩ් කමාවාල් සමත් වූයේ ඔහුගේ දෙවැනි පන්දු වාරයේ දීය. ලකුණු පුවරුව 74ක්ව තිබිය දී තරගයේ 18 වැනි පන්දු වාරයේ දී කමිඳු මෙන්ඩිස් (11) නැවත ක්‍රීඩාගාරය වෙත යැවීමට කමාවාල් සමත් වීම කණ්ඩායම් දෙකේම සාමාජිකයෝ තියුණු තිගැස්මකට ලක් කළෝය. කමිඳුගේ කඩුල්ලට ඔවුන්ට සේ ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ද ඒ තරමටම සුවිශේෂී විය. එහෙත් කමාවාල් මෙම තරගයේ දී ලබා ගත් එකම කඩුල්ල ද එයම විය.  

පළමු කඩුල්ලෙන් අනතුරුව ශ්‍රී ලංකා පිතිකරණ ඉනිම යම් තරමකින් ගොඩ නැගීමට සමත් වූයේ 3, 5 සහ 6 කඩුලු සබඳතාය. තෙවැනි කඩුල්ල සඳහා කඳාන ද මැසිනොද් විද්‍යාලයේ ක්‍රිශාන් සංජුල (13) හසිත බෝයගොඩ එක්කළ ලකුණු 32ත්, පස්වැනි කඩුල්ල සඳහා අශේන් බණ්ඩාර (13) සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ ජෙහාන් ඩැනියෙල් එක්කළ ලකුණු 31ත් සහ හය වැනි කඩුල්ලට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නුවනිඳු ප්‍රනාන්දු (19) සහ ජෙහාන් ඩැනියෙල් එක්කළ ලකුණු 29ත් යෝධ ඉනිම් තත්ත්වයේ ලා සැලකිණි.

මැද පෙළින් ශක්තිමත් කාර්ය බාරයක් කළ කණ්ඩායමේ උප නායක ජෙහාන් ඩැනියෙල්ය. ඔහු මෙම තරගයේ දී පන්දු 40ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී නවීන් උල් හක් සහ ඉබ්‍රහීම් සද්රන් කඩුලු දෙක බැගින් ලබා ගත් අතර මුජිබ් අර් රාහ්මන් සහ අහමඩ් කමාවාල් කඩුල්ල බැගින් බෙදා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් අතුරින් යම් තරමකට හෝ සාර්ථක පිතිකරු වූයේ අබ්දුල් රසූල්ය. ඔහු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර දෙකක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් වාර්තා කළේය. අනෙකුත් පිතිකරුවන් අතරින් ඉබ්‍රහීම් සද්රන් පන්දු 52කට මුහුණ දෙමින් ලකුණු 27ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රමට අමතරව ජෙහාන් ඩැනියෙල් කඩුලු 2ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: කඩුලු 8ක් දැවී 196 (42) දනංජය ලක්ෂාන් 24, හසිත බෝයගොඩ 53, නවනිඳු ප්‍රනාන්දු 19, නවීන් උල් හක් 2/57, ඉබ්‍රහීම් සද්රාන් 2/24

ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: සියලුම දෙනා දැවී 135 (33.5) ඉබ්‍රහීම් සද්රාන් 27, අබ්දුල් රසූල් 50, ජෙහාන් ඩැනියෙල් 2/20, ප්‍රවීන් ජයවික්‍රම 5/17

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න