ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට ලකුණු 128ක පරාජයක්

1499
SLvSA

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යොවුන් කණ්ඩායම් සහභාගී වන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (15) කේප්ටවුන් හිදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා යොවුන් පිළ පරදා ලකුණු 128ක පහසු ජයග්‍රහණයකට හිමිකම් කියූ දකුණු අප්‍රිකානුවන් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ තවදුරටත් වැජඹෙන්නට සමත් විය.

අද කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායමේ නායක පීටර් මුල්ඩර් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතුකර ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් තිසරු ඩිල්ශාන් සහ මනෙල්කාර් ද සිල්වාට අද යොවුන් එක්දින වරම් හිමිවී තිබුණි.

ටෙස්ට් තරගාවලියේ සම්පූර්ණ ගෞරවය දකුණු අප්‍රිකානුවන්ට

ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී අද (14) නිමාවුනු තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයත් ඉනිමකින් සහ ලකුණු 118කින් ජයගත් ප්‍රබල…

තරගය අරඹමින් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාට අද පිත්තෙන් සාර්ථක වීමට නොහැකි වූවත් මැදපෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම නිසා ඔවුන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යාමට එය බාධාවක් නොවීය.

දකුණත් පිතිකරු ජේසී ක්‍රිස්ටන්සන් අද හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 101ක් වාර්තා කළේය. මීට අමතරව රේනාඩ් වෑන් ටොන්ඩර් ලකුණු 79ක් රැස් කරමින් දකුණු අප්‍රිකානු ඉනිමට ශක්තියක් විය. ඔවුන් දෙදෙනා තුන්වන කඩුල්ල වෙනුවෙන් එක්කල ලකුණු 141 තරගය ශ්‍රී ලංකා යෞවනයින්ගෙන් සෑහෙන තරම් ඈත් කරවන්නට හේතු විය. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ දකුණු අප්‍රිකා ප්‍රථම ඉනිම සටහන් වූයේ ලකුණු 283ට කඩුලු 6ක් වශයෙනි. පන්දු යැවීමේදී නිපුන් රංසික ලකුණු 45කට කඩුලු 3ක් බිඳ හෙලීය.

දකුණු අප්‍රිකානු යොවුන් පිළ ලබා දුන් ලකුණු 284ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන්ට පන්දුවාර 40යි පන්දු 5ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 155ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීමට මූලිකත්වය ගත් නායක පීටර් මුල්ඩර් සහ ජේඩ් ක්ලාක් කඩුලු 3 බැගින් දවාලූහ. කෙනාන් ස්මිත් ලකුණු 32ට කඩුලු 2යි.

බිඳ වැටුනු ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් හසිත බෝයගොඩ සහ තිසරු ඩිල්ශාන් ලකුණු 24 බැගින් රැස් කළහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ශම්මු අශාන් වැනි පිතිකරුවන්ට අද දිනයේ ලකුණු අතරට පැමිණීමට නොහැකි වීම දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රීඩකයින්ට ජය මාවත තවත් පහසු කරවන්නට හේතු විය. දකුණු අප්‍රිකානු ඉනිම ගොඩ නැගීමට ශතකයකින් ආධාර වුනු ජෙසී ක්‍රිස්ටන්සන්ට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වුනු එක්දින තරග දෙකෙන්ම ජයගත් දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම ප්‍රසාද ලකුණු 10ක් ලබාගෙන ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටියි. තරගාවලියේ තෙවන එක්දින තරගය හෙට (16) ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ සිම්බාබ්වේ යොවුන් කණ්ඩායම අතර කේප්ටවුන් හිදීම පැවැත්වීමට නියමිතව ඇත.

දකුණු අප්‍රිකා යොවුන් පිළ – කඩුලු 6ක් දැවී ලකුණු 283 (පන්දුවාර 50): ජෙසී ක්‍රිස්ටන්සන් 101, රේනාඩ් වෑන් ටොන්ඩර් 79, පීටර් මුල්ඩර් 44, මිචෙල් වෑන් බූරන් 23*, නිපුන් රංසික 3/45, ජෙහාන් ඩැනියෙල් 2/59.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 155 (පන්දුවාර 40.5): හසිත බෝයගොඩ 24, තිසරු ඩිල්ශාන් 24, ජෙහාන් ඩැනියෙල් 19, ශම්මු අශාන් 18, ජේඩ් ක්ලාක් 3/28, පීටර් මුල්ඩර් 3/42.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට