ශ්‍රී ලංකා යොවුන් පිළට කැන්ගරු දේශයේ දී විශිෂ්ට ජයක්

4003

එංගලන්ත සහ දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම් ඔවුන්ගේ ජන්ම භූමියේදීම පරාජය කල ශ්‍රී ලංකා යොවුන් පිළ ඕස්ට්‍රේලියාවට සම්ප්‍රාප්ත වන්නේ තවත් එවැනිම අසීරු අභියෝගයක් ජය ගැනීමටයි. එහි දී සංචාරය ආරම්භ කරමින් පැවති යොවුන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු එක්දින තරගයේ දී කුරුමානම වැරදී ගියේය. නමුත් අද (15) පැවති දෙවැනි එක්දින තරගයේ දී නැවතත් ශක්තිමත්ව තරගයට අවතීර්ණ වුනු ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කර ගත්හ.

වාර්තා බිහිවුනු දිනයකදී මුම්බායි ඉන්දියන්ස් තරගයක් කණපිට හරවයි

මොහොතින් මොහොත අපූර්ව සිදුවීම් වාර්තා වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (14) සිදුවුනු සුවිශේෂිම සිදුවීම බවට පත්වූයේ එකම දිනයක්…

කාසියේ වාසිය ජය ගත් ශ්‍රී ලංකා නායක කමිඳු මෙන්ඩිස් මුලින් පන්දුවට පහර දීමට තීරණය කරන්නේ විශ්වාසයක් තැබිය හැකි තම පන්දු යැවීමේ බල ඇණිය පසුවට භාවිතා කිරීමේ බලාපොරොත්තුවෙනි. ඒ අනුව ඉනිම ආරම්භ කළ විශ්ව චතුරංග සහ ලසිත් කෲස්පුල්ලේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක් එක් කළහ. විශ්ව අද ලකුණු 27ක් රැස් කළත් ලසිත්ගේ ඉනිම ලකුණු 10කට සීමා විය. හසිත බෝයගොඩ අද ලකුණු නොලබාම දැවී ගියත් කමිඳු මෙන්ඩිස් සහ නිපුන සුමනසිංහ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා පිළට යම් බලාපොරොත්තුවක් එක් කළහ.

මෙම සංචාරය පුරාවටම පිත්තෙන් ඉහළ දක්ෂතා දැක්වූ නිපුන සුමනසිංහ අදත් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 42ක් රැස් කළේය. ඒ තම පරීක්ෂාකාරී ඉනිමට හතරේ පහර 2ක් එක් කරමිනි. මේ දිනවල මැදපෙළ වගකීම භාර ගනිමින් පිතිකරණ ලැයිස්තුවේ පහළට ගොස් ඇති නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 31යි. කණ්ඩායමේ තම වගකීම හඳුනා ගත් ජෙහාන් ඩැනියෙල් ලකුණු 32ක් රැස්කර සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු විය. කෙසේ හෝ අවසානයේ තිසරු ඩිල්ශාන් රැස්කල ලකුණු 21 පවා තරග ජයග්‍රහණයට මහෝපකාරී විය.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ද ශ්‍රී ලංකා පිතිකරුවන්ට හොඳ අභියෝගය එල්ල කළ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 2ක් අවසානයේ ලකුණු 222කට සීමා වන්නට සිදු විය. පන්දු යැවීමේ දී දකුණත් පා දඟ පන්දු යවන ක්‍රීඩක ලොයිඩ් පෝප් කඩුලු 3ක් දවාලීය. මීට අමතරව වෝ, උප්පල් සහ සදර්ලන්ඩ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. ශ්‍රී ලංකාවට මෙම සංචාරය පුරාවට ඉමහත් හිසරදයක් බවට පත්වූ සැක් එවන්ස් මෙම තරගයට සහභාගි නොවීම ශ්‍රී ලංකාවට සැනසුමක් බවට පත්විය.

කලින් තරගයේ දී විශිෂ්ට පිතිහරඹයක යෙදුණු ක්‍රීඩකයින් රැසක් සහිත ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ක්‍රීඩා පිටියට පා තබන්නේ මෙම ලකුණු 223ක අභියෝගය පහසුවෙන්ම ජය ගැනීමටයි. නමුත් සිව්වැනි පන්දු වාරය ක්‍රියාත්මක කළ නිපුන් රංසික දකුණත් පිතිකරු මැක්ස් බ්‍රයන්ට්ව දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වෙඩිමුරය දැල්වීය. නිපුන්ගේ සුරතින් ගිලිහුණු වේග පන්දුව බ්‍රයන්ට්ගේ පිත්තේ වැදී කඩුල්ල බිඳ හෙලද්දී ඔහු රැස් කර ගෙන සිටියේ ලකුණු 8ක් පමණි.

ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නන් හමුවේ අසරණ වුනු රයන් හැක්නිට පන්දු 17කට මුහුණ දී රැස්කර ගත්තේ එක් ලකුණක් පමණි. පළමු එක්දින තරගයේ දී ශතකයක් වාර්තා කළ පාරම් උප්පල් අද අර්ධ ශතකයක් රැස් කරගෙන සිටිය දී කමිඳු මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ඒ විශාල පහරකට උත්සාහ කිරීමේදී ඩීප් මිඩ්-විකට් කලාපයේ සිට තිසරු ඩිල්ශාන් රැක ගත් උඩපන්දුවක් නිසාවෙනි. ජේසන් සංගා සහ ඕස්ටින් වෝ යම් ආරම්භයක් ලබා ගත්ත ද එය විශාල ලකුණු සංඛ්‍යාවක් කරා පරිවර්තනය කර ගැනීමට අපොහොසත් විය.

අංක 7 පිතිකරු ලෙස ක්‍රීඩා කළ විල් සදර්ලන්ඩ් හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 54 රැස් කළ ද ඔහුගේ කඩුල්ල බිඳ හෙලමින් ශ්‍රී ලංකා ජය මග එළිපෙහෙළි කරන්නට නිපුන් රංසික සමත් විය. අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 9ක් අවශ්‍යව තිබිය දී පන්දුව අතට ගත් ජෙහාන් ඩැනියෙල් දෙවැනි පන්දුවේ දී ලොයිඩ් පෝප්ගේ කඩුල්ල බිඳ හෙලමින් ශ්‍රී ලංකාවේ ජය මුද්‍රා තැබීය. ඒ වන විට නොදැවී ලකුණු 23ක් ලබාගෙන අනෙක් අන්තයේ රැඳී සිටි ලෙවින් මැලඩේ පරාජය විඳ දරා ගත නොහැකිව තණතිල්ල මතම බිම වාඩිවිය. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියල්ලන්ම මෙම විශිෂ්ට ජයග්‍රහණය සමරන අතරතුරේදීයි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියල්ලන්ම මනා සංයමයකින් යුතුව පන්දු යැවූ අතර කිසිදු පන්දු යවන්නෙකුට එරෙහිව ප්‍රහාරයක් දියත් කරන්නට ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට අවස්ථාවක් උදා නොවීය. නායක කමිඳු මෙන්ඩිස් ද අවස්ථානුකූලව පන්දු යවන්නන් මාරු කරමින්, පන්දු රකින්නන් වෙනස් කරමින් කණ්ඩායමට සුපිරි නායකත්වයක් ලබා දුන්නේය. ශ්‍රී ලංකාව මෙම තරගය ලකුණු 8කින් ජය ගැනීමත් සමග තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට පත්විය. තරගාවලියේ තෙවැනි එක්දින තරගය ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 222 (පන්දුවාර 47.2): නිපුන සුමනසිංහ 42, ජෙහාන් ඩැනියෙල් 32, කමිඳු මෙන්ඩිස් 31, විශ්ව චතුරංග 27, තිසරු ඩිල්ශාන් 21, ලසිත් කෲස්පුල්ලේ 10, ලොයිඩ් පෝප් 3/51, ඕස්ටින් වෝ 2/27, පාරම් උප්පල් 2/29, විල් සදර්ලන්ඩ් 2/48.

ඕස්ට්‍රේලියානු යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 49.2): පාරම් උප්පල් 55, විල් සදර්ලන්ඩ් 54, ඕස්ටින් වෝ 33, ජේසන් සංගා 27, ලෙවින් මැලඩේ 23*, නිපුන් රංසික 2/42, තිසරු ඩිල්ශාන් 1/24, ජෙහාන් ඩැනියෙල් 1/25, කමිඳු මෙන්ඩිස් 1/29.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට