පාකිස්තානුවන්ට එරෙහි වන ශ්‍රී ලංකා යොවුන් සංචිත නම් කරයි

509

පාකිස්තානු  වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ මේ මස 26 වැනිදා ආරම්භ වන තරගාවලියේ යොවුන් එක්දින ක්‍රිකට් තරග පහ සඳහා තරග කරන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සංචිතයන් දෙකක් ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අද (23) නම් කරන ලදි.

ඔහු ලෝක කුසලානයට හොඳ බලාපොරොත්තුවක් ගෙනාවා – දිමුත්

ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්ත අතර පසුගිය (21) පැවැත්වුණු………….

සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය දරනු ලබන්නේ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් ධනංජය විසිනි. නමුත් ඒ පළමු තරග තුන සඳහා පමණි. අවසන් තරග දෙකේ නායකත්වය දරනු ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ කමිල් මිශාරයි. ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව විසින් මෙම යොවුන් සංචිතය තෝරගෙන ඇත්තේ 2020 දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ඉලක්ක කර ගනිමිනි.

රට තුල ඇති වී තිබෙන තත්ත්වය සලකා පාකිස්තාන යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා තීරණය කර තිබූ නමුත් දෙරටේ ක්‍රිකට් ආයතන අතර දින කිහිපයක් තිස්සේ පැවැත්වුණු සාකච්ඡා කිහිපයකට පසුව තරගාවලිය මැයි මස 26 වැනිදා සිට ජුනි මස 5 වැනිදා දක්වා පැවැත්වීමට තීන්දු වී තිබේ.

මීට පෙර තරගාවලිය මැයි මස 3 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ සඳහා යොවුන් සිව්දින තරග දෙකක් හා යොවුන් එක්දින තරග 5ක් අන්තර්ගතව තිබුණි.

නමුත් තරගාවලියේ දිනවකවානු වෙනස් වීමත් සමඟම තරග කාලසටහනේ තිබුණු සිව්දින තරග දෙක ඉවත් කර ඒ වෙනුවට යොවුන් එක්දින ක්‍රිකට් තරග දෙකක් ඊට ඇතුළත් කර ඇත.

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තානු යොවුන් කණ්ඩායම රොහායිල් නසීර්ගේ නායකත්වය යටතේ අද (23) දිවයිනට පැමිණීමට නියමිත අතර ඔවුන් තරගාවලිය අවසන් වූ වහාම එනම්  ජුනි 6 වැනිදා දිවයිනෙන් පිටවත් යාමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ප්‍රබලයෝ 5ක් කැරිබියන් සටනට වෙන්දේසි වෙයි

2019 කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි – විස්ස ක්‍රිකට් ……….

නිමා වූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ දී පිළිවෙළින් බංග්ලාදේශය, හොංකොං, පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය පරාජය කරමින් අපරාජිතව අවසන් මහා තරගයට පැමිණි නමුත් අවසානයේ දී ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවේ අවසන් මහා තරගයෙන් පරාජයට පත්විය.

අවසන් වරට පැවති ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යොවුන් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම යොවුන් එක්දින තරගාවලිය 2-1ක් ලෙස පරාජය වූයේ තියුණු සටනක් ලබා දීමෙන් අනතුරුවයි.

නිමා වූ ඕස්ට්‍රේලියානු යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීන් ද සිල්වා හා ලක්ෂාන් ගමගේ ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මෙවර පාකිස්තානය සමඟ පැවැත්වෙන යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට තෝරාගෙන නොමැත.

ඒ  අතර සිටින තුන් ඉරියව් ක්‍රීඩක ලක්ෂාන් ගමගේ හට සංචිතයේ දොර වැසී තිබෙන්නේ පසුගිය දිනවල කණ්ඩායම තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වුණු පුහුණුවීම් අතරතුර ආබාධයට ලක්වීම නිසාවෙනි.

සංචිතයේ ස්ථානය අහිමි වූ ක්‍රීඩකයින් වෙනුවෙන් පවන් රත්නායක, නවීන් ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, කවිඳු නදීෂාන්, රවිඳු ද සිල්වා, චමිඳු වික්‍රමසිංහ, කවිඳු නදීෂාන් හා සඳුන් මෙන්ඩිස් යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා යොවුන් සංචිතයන් දෙක සඳහා තෝරාගෙන ඇත.

මහේලට මෙවර ලෝක කුසලානයේ දී අලුත් තනතුරක්

2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වූ නිල සන්නාම ………….

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන හෂාන් තිලකරත්නයි. අමතරව වේගපන්දු පුහුණුකරු රවින්ද්‍ර පුෂ්පකුමාර සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන කටයුතු කරනු ලැබේ.

මීට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේ චමින්ද වාස් ය. පසුව ඔහු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරන ලදි.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා යොවුන් එක්දින තරග 35ක් (ලෝක කුසලාන හා ආසියානු කුසලාන තරග හැර) මේ දක්වා පවත්වා තිබෙන අතර ශ්‍රී ලංකාව ඉන් තරග 14ක් ජයග්‍රහණය කර ඇත. පාකිස්තානය ඉන් තරග 19ක් ජය ගෙන තිබෙන අතර තවත් තරග  2ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.

පාකිස්තානු යොවුන් කණ්ඩායමක් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමක් සමඟ අවසන් වරට යොවුන් එක්දින තරගාවලියක දී එකිනෙකා මුණගැසුණේ 2015/16 යන වර්ෂවල දී ය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ එක්දින සංචිතය (පළමු තරග 3 සඳහා)

නිපුන් දනංජය (නායක – වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), කමිල් මිශාර (කොළඹ රාජකීය විද්‍යාලය), සොනාල් දිනූෂ (කොළඹ මහානාම විද්‍යාලය), අශේන් ඩැනියල් (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), අවිශ්ක තරිඳු (වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය), දිලුම් සුධීර (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), චමිඳු විජේසිංහ (කොළඹ නාලන්දා විද්‍යාලය), රොහාන් සංජය (කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය), රවීන් ද සිල්වා (කොළඹ නාලන්දා විද්‍යාලය),  මොහොමඩ් ශමාස් (කොළඹ සහිරා විද්‍යාලය), නවෝද් පරණවිතාන ( ගාල්ල මහින්ද විද්‍යාලය), ඩිල්ශාන් මදුසංක (හුංගම විජයබා ජාතික පාසල), සඳුන් මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), පවන් රත්නායක (කොළඹ මහානාම විද්‍යාලය), නවීන් ප්‍රනාන්දු (මීගමුව මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය), රවිඳු ද සිල්වා (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය)

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ එක්දින සංචිතය (අවසන් තරග  2 සඳහා)

කමිල් මිශාර (නායක – කොළඹ රාජකීය විද්‍යාලය), නිපුන් දනංජය (වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), තවීෂ අභිෂේක් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), චමිඳු වික්‍රමසිංහ (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය), අවිශ්ක තරිඳු (වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය), දුනිත් වෙල්ලාලගේ (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), කවිඳු නදීෂාන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය), චමිඳු විජේසිංහ (කොළඹ නාලන්දා විද්‍යාලය), රොහාන් සංජය (කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය), පවන් රත්නායක (කොළඹ මහානාම විද්‍යාලය), රවිඳු ද සිල්වා (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), නවීන් ප්‍රනාන්දු (මීගමුව මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය), රවීන් ද සිල්වා (කොළඹ නාලන්දා විද්‍යාලය), ඩිල්ශාන් මදුසංක (හුංගම විජයබා ජාතික පාසල), සඳුන් මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය)

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය: මැයි 26
  • දෙවන එක්දින තරගය: මැයි 28
  • තෙවැනි එක්දින තරගය: මැයි 31
  • සිව්වැනි එක්දින තරගය: ජුනි 2
  • පස්වැනි එක්දින තරගය: ජුනි 5

තරග සියල්ල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

තරග සියල්ලම ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ, ඩයලොග් ටීවී හා MyTv ඔස්සේ සජීවීව විකාශනය කරනු ඇත. මෙම තරගාවලියේ සියලුම තරග වාර්තා, ලකුණු සටහන්, ඡායාරූප ඇතුළු තවත් බොහෝ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<