ලෝක අනුශූරයින් මෙල්ල කරන ශ්‍රී ලංකා යොවුන් සංචිතය මෙන්න

2275

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ලෝක අනුශූර ඕස්ට්‍රේලියානු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර හෙටින් (3) ආරම්භ වීමට නියමිත තරගාවලිය වෙනුවෙන් තරග වදින 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ජාතික තේරීම් කමිටුව විසින් තෝරාපත් කරගෙන ඇත.

මෙම යොවුන් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්දින ක්‍රිකට් තරග තුනක් හා තෙදින ටෙස්ට් ක්‍රිකට් තරගයක් ඇතුළත් අතර තරගාවලිය ජනවාරි 3 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වේ.

මහීෂ් තීක්ෂණ සහ තරිඳු කෞෂාල් දක්ෂ පන්දු යැවීමක

නිමා වූ 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ දී පිළිවෙළින් බංග්ලාදේශය, හොංකොං, පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය පරාජය කරමින් අපරාජිතව අවසන් මහා තරගයට පැමිණි නමුත් අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

ඉන්දීය යොවුන් කණ්ඩායම හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගාවලිය, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හා බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් නායකත්වය ඉසිළු වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විදුහලේ නිපුන් ධනංජය මෙම තරගාවලිය සඳහා ද නායකයා වශයෙන් කටයුතු කරයි. එම තරගාවලිවල දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කළේ පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කරමිනි.

Photos: Sri Lanka U19 vs Australia U19 – Pre Series Media Briefing

ඉන්දීය යොවුන් කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ ටෙස්ට් තරග දෙක ඉන්දීය කණ්ඩායම පහසුවෙන්ම ජයග්‍රහණය කළේය. එක්දින ක්‍රිකට් තරගාවලිය 3-2ක් ලෙස අවසන් වූ නමුත් ප්‍රබල ඉන්දීය යොවුන් කණ්ඩායමට තියුණු සටනක් ලබා දීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකි විය.

ඉන්පසුව පැවැත්වුණු බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී තරුණ ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමවුවත් තරුණ එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.

2014 ලෝක ශූරයින් 2020 ලෝක කුසලානයේ පළමු අටට නැහැ

කෙසේ නමුත් ජාතික තේරීම් කමිටුව විසින් මෙම සංචිතය තෝරාපත් කරගෙන ඇත්තේ 2020 දී දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමිනි.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ දිලුම් සුධීර, තවීෂ අභිෂේක් හා හුංගම විජයබා ජාතික පාසලේ ඩිල්ශාන් මදුසංක පළමු වතාවට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනාගෙන ඇත.

කෙසේ නමුත් නිමා වූ බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ සඳුන් මෙන්ඩිස්, නවීන් ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, ජනිෂ්ක පෙරේරා, දිනෙත් ජයකොඩි, විජයකාන්ත් වියස්කාන්ත්, සඳුන් මෙන්ඩිස්, අශේන් දිල්හාර හා චිහාන් කළිඳු ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මෙවර සංචිතයට තෝරාපත් කරගෙන නැත.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් වන හෂාන් තිලකරත්න මහතායි. ඔහුට අමතරව චමින්ද වාස් මහතා වේගපන්දු පුහුණුකරු හා සහාය ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන අතර පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ක්‍රියා කරන්නේ උපුල් චන්දන මහතායි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරග 7න් එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇති අතර තවත් තරග 4ක් ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ ජය පරාජයෙන් තොරව අවසන් වූ ටෙස්ට් තරග දෙකට අමතරවයි. ඕස්ට්‍රේලියානු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමක් සමඟ අවසන් වරට ටෙස්ට් තරගය ක්‍රීඩා කර ඇත්තේ 2000/01 වර්ෂවල දී ය.

එසේම මෙම කණ්ඩායම් දෙක අතර එක්දින ක්‍රිකට් තරග 29ක් මේ දක්වා පවත්වා තිබෙන අතර එහි වැඩි වාසිය හිමිකරගෙන තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ක්‍රිකට් තරග 14ක් ජයග්‍රහණය තිබෙන්නේ යොවුන් එක්දින ක්‍රිකට් තරග 12ක් පමණක් ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වෙමිනි. එසේම තරග තුනක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතය

ශ්‍රී ලංකා 19න් පහළ නිපුන් දනංජය (නායක – වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), කමිල් මිශාර (කොළඹ රාජකීය විද්‍යාලය), සොනාල් දිනූෂ (කොළඹ මහානාම විද්‍යාලය), අශේන් ඩැනියල් (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), රොහාන් සංජය (කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය), ප්‍රවීන් ද සිල්වා (කැලණිය ගුරුකුල විද්‍යාලය), අවිශ්ක තරිඳු (වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය), දිලුම් සුධීර (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), චමිඳු විජේසිංහ (කොළඹ නාලන්දා විද්‍යාලය), තවීෂ අභිෂේක් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), රවීන් ද සිල්වා (කොළඹ නාලන්දා විද්‍යාලය),  මොහොමඩ් ශමාස් (කොළඹ සහිරා විද්‍යාලය), නවෝද් පරණවිතාන ( ගාල්ල මහින්ද විද්‍යාලය), ඩිල්ශාන් මදුසංක (හුංගම විජයබා ජාතික පාසල), ලක්ෂාන් ගමගේ (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය)

තරග කාලසටහන  

  • පළමු තරුණ එක්දින තරගය – ජනවාරි 3  – කොළඹ පී. සරා ඕවල්
  • දෙවන තරුණ එක්දින තරගය –  ජනවාරි 5 – කොළඹ පී. සරා ඕවල්
  • තෙවන තරුණ එක්දින තරගය –  ජනවාරි 7 – කොළඹ පී. සරා ඕවල්
  • එකම තෙදින ටෙස්ට් තරගය – ජනවාරි 10 -12 – SCC ක්‍රීඩා පිටිය

මේ ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග වාර්තා, සේයා රූ හා එසැණ තොරතුරු ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<