ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා යොවුන් ටෙස්ට් ගැටුමට පෙර

414

ශ්‍රී  ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එකම යොවුන් ටෙස්ට් තරගය ජනවාරි 10වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SCC) පිටියේ දී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම යොවුන් ටෙස්ට් තරගය කණ්ඩායම් දෙකටම ඉතාමත්ම වැදගත් තරගයක් වන්නේ මෙම කණ්ඩායම් දෙක වසර 33කට පසුව ශ්‍රී ලංකාවේ දී යොවුන් ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කිරීමයි. නමුත් ශ්‍රී ලංකාවේ දී එලෙස පැවති යොවුන් ටෙස්ට් තරගයට අමතරව ඕස්ට්‍රේලියාවේ දී යොවුන් ටෙස්ට් තරග 6කට සහභාගි වී ඇති මෙම කණ්ඩායම් දෙක ක්‍රීඩාකර ඇති සමස්ත යොවුන් ටෙස්ට් තරග ප්‍රමාණය 7කි.

දඟපන්දුවේ බලයෙන් තෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන…

එම නිසාම මෙම කණ්ඩායම් දෙක අතර පැවති යොවුන් ටෙස්ට් තරගාවලිවල යටගියාව මෙන්ම මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් දෙක පිළිබඳව මෙම ලිපිය තුළින් කතා කිරීමට බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා යොවුන් ටෙස්ට් තරගවල යටගියාව

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර ටෙස්ට් තරග ඉතිහාසය ආරම්භ වන්නේ 1984 වසරෙනි. 1984 වසරේ සිට මේ දක්වා කණ්ඩායම් දෙක අතර ටෙස්ට් තරග 7ක් පවත්වා ඇති අතර එහි දී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ටෙස්ට් තරග 4කින් ජයග්‍රහණය කරන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ජය ගැනීමට හැකි වූයේ එක ටෙස්ට් තරගයකින් පමණි.

1983/84 යොවුන් ටෙස්ට් තරගාවලිය

1984 වසරේ මුල භාගයේ දී අරවින්ද ද සිල්වාගේ නායකත්වය යටතේ යොවුන් ටෙස්ට් තරග 3කට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පසුකලෙක ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ අරවින්ද ද සිල්වා, අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම, දොන් අනුරසිරි සහ ගාමිණී වික්‍රමසිංහ ඇතුළත් වන විට ඔවුන් සමඟ තරග වැදුණු ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට පසුකලෙක ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ප්‍රබලයන් වූ මාක් ටේලර්, ස්ටීව් වෝ, මාක් වෝ සහ ක්‍රේග් මැක්ඩර්මට් ඇතුළත් වීම සුවිශේෂී සිදුවීමක් විය.

අරවින්ද ද සිල්වා, මාක් වෝ, ස්ටීව් වෝ (gettyimages)

එලෙස ප්‍රබල තරුණ ක්‍රීඩකයන් සමඟින් තරගාවලිය සඳහා කණ්ඩායම් දෙක අවතීර්ණ වුවත් තරග 3කින් සමන්විත යොවුන් ටෙස්ට් තරගාවලිය ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කළේ 1-0ක් ලෙසිනි. එහි දී පළමු ටෙස්ට් තරගයේ දී ක්‍රේග් මැක්ඩර්මට් ලකුණු 113/8ක් ලෙසින් සමස්ත තරගය පුරාවටම පන්දුවෙන් දැක්වූ දස්කම් නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඉනිමක පරාජයක් උරුම විය.

නවසීලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට යද්දී එක්කෙනෙක් හැලේ

ජනවාරි මස 24 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් …

නමුත් දෙවන යොවුන් ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම වෙනුවෙන් මාක් වෝ ලකුණු 123ක් ලබා ගන්නා විට අරවින්ද ලබා ගත් අගනා ලකුණු 145 නිසා තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකි විය.

ඉන් අනතුරුව පැවති අවසන් යොවුන් ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම වෙනුවෙන් ස්ටීව් වෝ ලකුණු 187ක් සහ මාක් ටේලර් ලකුණු 86ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දක්වන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනිමේ අරවින්ද 95ක් ද, දෙවන ඉනිමේ මාලන් වොන්හාට් නොදැවී ලකුණු 121ක් සහ මහානාම ලකුණු 78ක් ලබා ගත්තේ එම තරගය ද ජය පැරදුමෙන් තොරව අවසන් කරගනිමිනි.

1984/85 ටෙස්ට් තරගාවලිය

1985 වසරේ දී ශ්‍රී ලංකාවේ දී පැවති මෙම ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කළ  ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ රොෂාන් මහානාම,අසංක ගුරුසිංහ, හෂාන් තිලකරත්න, රොෂාන් ජුරන්පති, දොන් අනුරසිරි, ගාමිණී වික්‍රමසිංහ සහ සංජීව වීරසිංහ පසුකලෙක ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ අතර මෙම තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට ඇතුළත් වූ ටොම් මූඩි සහ ගැවින් රොබට්සන් ද පසුකලෙක ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලැබීය.

රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ (gettyimages)

ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමක් ජයග්‍රහණය කළ එකම ටෙස්ට් තරගය වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දඟපන්දු යවන්නෝ විශාල දායකත්වයක් දැක්වූහ.

එහි දී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 157කට සීමා කිරීම සඳහා පා දඟපන්දු යවන්නෙකු වූ සංජීව වීරසිංහ කඩුලු 4ක් ලබා ගන්නා විට වමතින් දඟපන්දු යැවූ දොන් අනුරසිරි සහ පිට දඟොපන්දු යැවූ රොෂාන් ජුරන්පති කඩුලු 3 බැගින් ලබා ගත්හ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ප්‍රියලාල් රොද්‍රිගෝ ලකුණු 86ක්, ගාමිණී වික්‍රමසිංහ ලකුණු 77ක් සහ ජෙරොම් ජයරත්න ලකුණු 64ක් ලෙස පිත්තෙන් දැක්වූ දස්කම් නිසා ශ්‍රී ලංකා යොවුන් පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 312ක් ලබා ගත්තේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට වඩා ලකුණු 155ක් ඉදිරියෙන් සිටිමිනි.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 155ක් පිටුපසින් සිට දෙවන ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ජේම්ස් පයික් පමණක් ලකුණු 72ක් ලබා ගන්නා විට අනුරසිරි කඩුලු 4ක් සහ සංජීව වීරසිංහ කඩුලු 3ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම 237කට සීමා කළේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 83ක පහසු ඉලක්කයක් හඹා යාමට අවස්ථාව ලබා දෙමිනි. එහි දී ඕස්ට්‍රේලියානුවන් ලබා දුන් එම ඉලක්කය ඉතාමත් පහසුවෙන් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 8ක ජයග්‍රහණයක් හිමිකර ගත්තේ ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් තරග ඉතිහාසයේ දී ම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමක් ලබාගත් මුල්ම යොවුන් ටෙස්ට් තරග ජයග්‍රහණය වාර්තා කරමිනි.

2000/01 ටෙස්ට් තරගාවලිය

තිළිණ කණ්ඩම්බිගේ නායකත්වය යටතේ 2001 වසරේ දී තරග 3කින් සමන්විත යොවුන් ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පසුකලෙක ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ දිල්රුවන් පෙරේරා සහ කෞෂාල් ලොකුආරච්චි ඇතුළත් වන විට ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට පසුකලෙක ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ෂෝන් මාෂ්, මිචෙල් ජොන්සන්, නේතන් හවුරිස්ට් සහ කැමරූන් වයිට් ඇතුළත් විය.

ෂෝන් මාෂ් (gettyimages)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම 3-0ක් ලෙස පරාජය වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට විශාලම හේතුව වූයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පිතිකරුවන් පෙන්වූ අසාර්ථක පිතිකරණ රටාවයි. එහි දී ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් ඉනිම් 6න් 4ක දී ම ලකුණු 200ට අඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා විට ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ෂෝන් මාෂ් වැනි පිතිකරුවන් ශතක පවා ලබා ගත්තේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමිනි.

මෙවර පැවැත්වෙන යොවුන් ටෙස්ට් තරගයේ වැඩි වාසිය කාට ද?

අවසන් වරට ශ්‍රී ලංකාවේ දී පැවති ශ්‍රී ලංකා – බංග්ලාදේශ යොවුන් ටෙස්ට් තරගාවලියේ දී දෙපිලේම දඟපන්දු යවන්නන්ගේ දස්කම් ඉස්මතු වූ නිසා මෙම තරගය සඳහා සැකසෙන SSC තණතීරුව ද බොහෝ විට දඟපන්දු යවන්නන් හට උචිත එකක් වනු ඇත.

දෙපිලේම දඟපන්දු යවන්නන්ගේ සටනක් නිර්මාණය වනු ඇත්ද?

බංගලාදේශ තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කළ දෙවන ටෙස්ට් තරගයේ දී ලකුණු 113කට කඩුලු 10ක් දවා ගත් වමතින් දඟපන්දු යවන රොහාන් සංජය මෙවර ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට විශාල තර්ජනයක් විය හැකි ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙස නම් කළ හැකිය.

ඔහුට අමතරව බංගලාදේශයට එරෙහිව පැවති යොවුන් ටෙස්ට් තරගාවලියේ දී කඩුලු 12ක් දවාගත් පිට දඟපන්දු යවන්නෙකු වන අශේන් ඩැනියල් ද තරගාවලිය පුරාවටම රොහාන් සමඟ එක්ව ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ව භීතියට පත්කරනු ඇත.

ශ්‍රී ලංකා දඟපන්දු සමඟ සංසන්දනය කරන විට ඕස්ට්‍රේලියානු පා දඟපන්දු යවන්නෙකු වන තන්වීර් සංගා සහ පිට දඟපන්දු යවන්නෙකු වන ජැරොඩ් ෆ්රීමන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට ඉඩ ඇතත් මෙම තණතීරු ඔවුන්ට හුරුපුරුදු ඒවා නොවන නිසා ඔවුන්ගෙන් ආරක්ෂා වීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පිතිකරුවන්ට හැකි වනු ඇත.

සාන්ත පීතර විද්‍යාලය හමුවේ ලුම්බිණි විද්‍යාලය අසරණ වෙයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (8)…

පිතිකරණයේ දී වාසිය කුමන කණ්ඩායමට ලැබෙනු ඇත්ද?

බංග්ලාදේශය සමඟ පැවති යොවුන් ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ නවෝද් පරණවිතාන සහ සොනාල් දිනූෂට අමතරව යොවුන් එක්දින තරගාවලියේ දී ලකුණු අතරට පිවිසි නායක නිපුන් සහ කමිල් මිෂාර මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රබලම පිතිකරණ බලාපොරොත්තු ලෙස දැක්විය හැක.

නමුත් ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන්ට වඩා එක්දින තරගාවලියේ දී ලකුණු අතරට පිවිසි ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ පිතිකරුවන් වන විල් සදර්ලන්ඩ්, කීගන් ඕට්ස්, ඔලිවර් ඩේවිස් සහ සෑම් ෆැනින්ග්ස් වැනි පිතිකරුවන් මෙම තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට පීඩනයක් එල්ල කිරීමට ඉඩ ඇතත් 3 වැනි යොවුන් එක්දින තරගයේ දී ඔවුන් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ දැක්වූ දුර්වල පිතිකරණය නිසා තණතීරුව දඟපන්දු යවන්නන් හට වාසිදායක වුවහොත් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ පිතිකරුවන්ට වඩා වාසියක් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පිතිකරුවන්ට ලැබීමට හේතුව වන්නේ ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් හුරුපුරුදු තණතීරු වල ක්‍රීඩා කිරීම නිසාය.

වසර 33කට පසු මව්බිමේ දී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම සමඟ යොවුන් ටෙස්ට් තරගයකට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මව්බිමේ දී තවත් යොවුන් ටෙස්ට් තරග ජයක් ලැබීමට හැකි වනු ඇත්ද?

ජනවාරි 10 වැනිදා සිට ආරම්භ වන තරගයේ තොරතුරු දැන ගැනීමට දිගටම  රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<