කළුතර සිරි කුරුස විදුහලෙන් හඳුනා ගනු ලැබූ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කල යොවුන් ක්‍රීඩකයෙක් වන ප්‍රවීන් ජයවික්‍රම, මේ වන විට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ බැබලෙන තරුවක් ලෙසින් පැහැබර අනාගතයක පෙර ලකුණු ප්‍රකඨ කරමින් සිටියි.

මම පිතිකරණයේ යෙදෙන හැටි: කුමාර් සංගක්කාර

මම කැමතියි දඟ පන්දුවට මුහුණදීම පිලිබඳව මුලින්ම දැනගන්න. පන්දුව දඟ කැවෙන විට හොඳ පිතිකරුවෙකුගේ ක්‍රීඩා විලාශයේ විශේෂ ලක්ෂණ මොනවාද? එවැනි ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා…

මෙරට බෙහෝ ක්‍රිකට් විශිෂ්ටයන් සහ අප බොහෝ දෙනෙකුට ද මෙන්ම ප්‍රවීන් හටද ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය වී ඇත්තේ තම නිවසේ ම සොහොයුරන් සමඟ ක්‍රීඩා කිරීමයි. අනතුරුව ක්‍රිකට් ඇකඩමියකට සම්බන්ධ වීමත් සමඟ ඔහුගේ ක්‍රිකට් දිවියේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් විය.

කුඩා ක්‍රීඩකයෙකු ලෙස ප්‍රවීන් දඟ පන්දු යැවීම තෝරා ගත් අතර එතැන් පටන් කිසිදු ලෙසකින් ආපසු හැරී බැලීමක් නොවීය.

නව යොවුන් ක්‍රීඩකයකු ලෙස කනිෂ්ඨ ක්‍රිකට් තරග වලදී තමන් දැක්වූ දක්ෂතා, ප්‍රවීන් නැවත සිහි කලේ මෙලෙසයි.

”මට මතකයි මම හැම තරගයකදී ම වගේ කඩුලු 2ක් වත් දවා ගන්නට සමත් වුනා. 2014 වසරේ දී වයස අවුරුදු 15න් පහල අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දී මම දක්ෂතම පන්දු යවන්නා සම්මානය දිනා ගත්තා.”

සිරි කුරුස විද්‍යාලයේ දී දැක්වූ ඉහල දස්කම් හේතුවෙන් ප්‍රවීන් හට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් කැඳවීමක් ලැබුනේ තම පාසලට ඇතුලත් වන ලෙසයි. ඔහු එම ආරාධනය හිස් මුදුනෙන් පිළිගත්තේ තම අනාගත ක්‍රිකට් ජීවිතයට ලැබෙන පිටිවහල පිළිබඳව ද ඉහල බලාපොරොත්තුවක් සමගින්. එම තීරණයෙන් ලැබුණු ප්‍රතිඵල පිලිබඳ ඔහු පල කලේ මෙවන් අදහසක්.

Praveen Jayawickrama”අවාසනාවට සිරි කුරුස විද්‍යාලය, ක්‍රිකට් කණ්ඩායමක් ලෙස එතරම් ඉහල දස්කම් අතර නැහැ. නමුත් මේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දී අපේ කණ්ඩායම ඉතාමත් ඉහල තැනක ඉන්නවා. ඉතින් එම නිසා, එම කණ්ඩායමේ සිටින අපි දස්කම් දක්වන විට ඉතා ඉක්මනින් අවශ්‍ය පුද්ගලයන්ගේ අවධානයට ලක් වෙනවා. මම හිතන්නේ එම නිසා තමයි සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පැමිණිලා වසරක් ගත වන්නටත් මත්තෙන් ජාතික කනිෂ්ඨ කණ්ඩායමට මාව තෝරා ගන්න හේතු වුනේ.”

සිරි කුරුස විද්‍යාලයේදී දැක්වූ දක්ෂතා පිළිබඳව විමසු විට ප්‍රවීන් පිළිතුරු දුන්නේ මෙලෙසින්.

”වයස 14ක් වෙද්දී තමයි මම ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. මගේ පළමු වසරේදී (2012/13) මට හැකිවුනා කඩුලු 17ක් දවා ගන්න. දෙවෙනි වසරේදී එය 52ක් වුනා. තුන්වන වසරේ මගේ කඩුලු සංඛ්‍යාව 65ක් දක්වා වර්ධනය වුනා. සාමාන්‍යයෙන් එහෙදී එක් තරග වාරයකට අපි තරග 13ක් පමණ ක්‍රීඩා කළා.”

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පැමිණීමත් සමඟ පසුගිය තරග වාරයේදී (2015/16) කඩුලු 89ක් දවා ගනිමින් විශිෂ්ට ගනයේ දක්ෂතාවක් පෙන්නුම් කරන්නට ප්‍රවීන් සමත් විය. ඔහුගේ පාසල් තරග දිවියේ හොඳම පන්දු යැවීම ද එහිදී සටහන් වීම අරුමයක් නොවේ.

”2015/16 තරග වාරයේදී මම තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පැවති තරගයක එක් ඉනිමකදී ලකුණු 81කට කඩුලු 8ක් දවා ගන්නට සමත් වුනා. එය මගේ පෞද්ගලික හොඳම දක්ෂතාවයි.”

ප්‍රවීන්, දඟ පන්දු රජු ලෙස පිළිගැනෙන මුත්තයියා මුරලිදරන්ගේ ප්‍රබල අනුගාමිකයකු වන අතර ප්‍රවීන්ගේ ක්‍රිකට් ජීවිතයේ පරමාදර්ශී චරිතය ලෙස සලකන්නේද ඔහුවයි. දකුණත් පිට දඟ පන්දු යවන්නෙකු වන මුරලිගේ ශෛලිය ප්‍රවීන්ගේ පන්දු යැවීමේ රටාවට සම්පූර්ණ වෙනස් වුවත්, එය ඔහුට ගැටළුවක් නොවේ.

”මම කැමතියි මුරලිට. ඔහු පන්දු යවන විදිහට, ඔහුගේ  උපක්‍රම වලට. ඔහු තමයි මගේ අභිප්‍රේරණය.”

දිගින් දිගටම ඔහුගේ කඩුලු පැස බර වෙද්දී ජාතික 19න් පහල කණ්ඩායමට කැඳවීමක් ලැබූ ප්‍රවීන් ජාතික තලයේද තම වර්ණ ප්‍රකඨ කරන්නට සමත් විය.

”ජාතික කනිෂ්ඨ තලයේ මගේ හොඳම දක්ෂතාව ආසියානු කුසලාන තරගාවලියේදී මම බංගලාදේශයට එරෙහිව ලකුණු 25කට කඩුලු 4ක් දවා ගැනීම. දකුණු අප්‍රිකාවට එරෙහි තරගයකදීත් මම ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත්තා.”

Praveen Jayawickrama

වයස අවුරුදු 19න් පහල කණ්ඩායම සමඟ එංගලන්ත තරග සංචාරයට එක්වූ ප්‍රවීන් හට එහිදී සාර්ථක තරග කිහිපයකින් පසු තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමේ ගෞරවයට හවුල් වන්නට හැකියාව ලැබුණි. එම තරගාවලියේ අත්දැකීම් පිලිබඳ අප ඔහුගෙන් විමසා සිටියා.

”අපි ඉතාම සතුටු වුනා. වෙන කිසිදු කණ්ඩායමකට එවන් දස්කමක් දක්වන්නට හැකි වෙලා තිබුනේ නැහැ, අපි අතිශයින්ම ප්‍රීතියෙන් කුල්මත් වෙලා හිටියේ. ඒ වගේම ඉතාම ගෞරවාන්විත හැගීමක් තිබුනා, අපේ මවුබිමට එවන් කීර්තියක් ගෙන දීමට හැකිවීම පිළිබඳව.”

වමත් දඟ පන්දු යවන්නෙකු ලෙස ඔහුගේ දක්ෂතා තවදුරටත් ඉහල ගියේ පසුගියදා අවසන් වූ වයස අවුරුදු 19න් පහල ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමත් සමඟයි.

”මට හැකිවුනා කඩුලු 10ක් ලබා ගනිමින් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා වෙන්න. අපිට තරගාවලිය දිනන්න බැරි වුනත් එය අපිට සෑහෙන්න හොඳ තරගාවලියක් වුනා.”

ක්‍රීඩාවෙන් මදක් ඔබ්බට ගොස්, ක්‍රීඩාව සහ අධ්‍යාපන කටයුතු සමබර කරගන්නා ආකාරය පිලිබඳව අප කල විමසීමකදී ප්‍රවීන් පැවසුවේ, තමන්ට වැඩි කාල සීමාවක් පන්ති කාමරයෙන් පිට ගත කරන්නට සිදු වුවත්, තම අධ්‍යාපන කටයුතු කිසිවක් අතපසු නොකර සම්පූර්ණ කර ගැනීම සඳහාද විශාල වෙහෙසක් දරන බවයි.

2018 වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන තරගාවලිය පෙනෙන තෙක් මානයේ ඇති පසුබිමක් තුල ප්‍රවීන් පවසන්නේ, මේ වන විට තම මූලික ඉලක්කය සහ බලාපොරොත්තුව වන්නේ ලෝක කුසලාන සංචිතයට ඇතුලත් වීම බවයි.

”මගේ ඉලක්කය තමයි මුලින්ම එළඹෙන 19න් පහල තරග වලදී හොඳින් ක්‍රීඩා කරලා, ඒ වගේම එළඹෙන පාසල් තරග වාරයේදී හොඳ දස්කම් දක්වලා ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා හොඳ සූදානමකින් සිටීම.”

අවසන් වශයෙන්, ක්‍රිකට් කරලියේ  මෙතෙක් දුරක් පැමිණි ගමන් මග තුළ තමන්ට නන් අයුරින් උපකාර කල සියල්ලන්ටම තුති පුද කරන්නටත් ප්‍රවීන් අමතක කලේ නැහැ.

”මුලින්ම මම කැමතියි මගේ අම්මාට ස්තූති කරන්නට. මගේ පියා නැතිවුණ දිනයේ පටන් මගේ ශක්තිය සහ මට උපකාරයක් වුනේ ඇය යි. මගේ සහෝදරයාට සහ පවුලේ අනිත් සාමාජිකයන්ටත් මට ලබා දුන් සහයෝගය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ පුහුණුකරුවන්ට, හිටපු සහ වත්මන් පුහුණුකරුවන් සියල්ලන්ම මට ලබා දුන් දැනුම වෙනුවෙන් මම හැමදාමත් ඔවුන්ට මගේ ප්‍රණාමය පුද කරනවා.”

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න