සන්තුෂ්ගේ පිතිකරණයෙන් ඉන්දීය සිහින බිඳ වැටේ

1523

ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ අභියෝගතා කුසලාන (Challenger Trophy) එක්දින තරගාවලියේ, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම හා ඉන්දීය රෙඩ් කණ්ඩායම අතර මුම්බායි නුවර පැවැත්වූ තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (28) සමත් විය.  

සභාපතිගේ යොවුන් කණ්ඩායමේ පළමු ඉන්දීය අභියෝගය අසාර්ථකයි

ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ චැලෙන්ජර්ස් කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට ඔවුන් සහභාගී…

කාසියේ වාසියේ ජයග්‍රහණය ලබාගත් ඉන්දීය රෙඩ් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඉන්දීය ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ඉන්දීය රෙඩ් නායක ප්‍රතිව් ෂෝ හා අත්රව් ටයිඩ් පළමු කඩුල්ල සඳහා ලකුණු 49ක් සබඳතාවයක් ගොඩනංවන ලදි.

එහි පළමු කඩුල්ල ලෙස ලකුණු 9ක් ලබා සිටි ටයිඩ් දකුණතින් මඳ වේගපන්දු යවන නිපුන් මාලිංගගේ පන්දුවකට විශ්ව චතුරංග අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. අනෙක් අන්තයෙන් වේගවත් පිතිකරණයක නිරත වූ නායක ප්‍රතිව් 4 පහර 11ක් හා 6 පහර දෙකක් සමඟින් ලකුණු 63ක් රැස් කරගෙන සිය කණ්ඩායමට අවශ්‍ය මූලික පදනම සකස් කරන ලදි. අවසානයේ ඉන්දීය රෙඩ් ඉනිමේ ලකුණු පුවරුව ලකුණු 79ක් ලෙස දැක්වෙද්දී ප්‍රතිව්ව දවා ගැනීමට හරීන් බුද්ධිල සමත් විය.

ඉන්දීය රෙඩ් ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 116ක් ලෙස සටහන් වෙද්දී ඔවුන්ගේ ඉනිම එතැන් සිට යම් මට්ටමකට ඔසවා තැබීමට දකුණත් පිතිකරුවන් වන කමලේශ් නාගර්කොටී හා රියාන් පැරග් සමත් විය.  එතෙක් වෙලා දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වෙමින් 4 පහර 4ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටි කමලේශ්ව හා 4 පහර 6ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටි  රියාන්ව දවා ගැනීමට වමතින් දඟපන්දු යවන බුද්ධිල සමත් විය. අවසානයේ ඉන්දීය රෙඩ් ඉනිම ලකුණු 226කට සීමා විය.

පන්දු යැවීමේ දී හරීන් බුද්ධිල හා අයන සිරිවර්ධන කඩුලු 4 බැගින් දවා ගනිමින් දස්කම් අතරට පැමිණියේ ය.

ලකුණු 227ක් ඉලක්කයක් හඹා යාම‍ට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලයට සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට නොහැකි වුවත් වමතින් පිත්ත හසුරුවන ධනංජය ලක්ෂාන් හා සන්තුෂ් ගුණතිලක  දෙවන කඩුල්ල සඳහා ලකුණු 70ක්  සබඳතාවයක් ගොඩනංවන ලදි.

අනතුරුව පිටියේ එක්වූ සන්තුෂ් හා නිපුන් දනංජය ඉන්දීය රෙඩ් පන්දු යවන්නන්ගේ පන්දු හොඳින් තෝරා බේරා ගෙන පන්දුවට පහර දෙමින් සිව්වැනි කඩුල්ලට ලකුණු 88ක සාර්ථක සබඳතාවයක් ගොඩනගා ගත්ත ද, එය ශතක සබඳතාවයක් කිරීමට ශිවා සිං අවස්ථාව දුන්නේ නැත. නිපුන් 4 පහර දෙකක් සමඟින් ලකුණු 43කට දැවී ගිය විට, 4 පහර 6ක් සමඟින් ලකුණ 80ක් ලබා ගෙන ශ්‍රී ලංකා ඉනිමට සවිමත් පදනමක් සකස් කළ සන්තුෂ් කමලේශ්ගේ පන්දුවකට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම අවදානමකට ඇඳ දමමිනි.

ජෙෆ්රි වැන්ඩර්සේට අවස්ථාවක්

කුණතින් පා දඟපන්දු යවන යොවුන් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ දිල්ලි හිදී ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා තෙවන හා අවසන් ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවනු ඇතැයි…

එම අවදානම තව දුරත් වැඩි කරමින් රවිඳු සංජන හා නායක අයන සිරිවර්ධන ව ද ඉක්මනින් දවාලු ඉන්දීය රෙඩ් පන්දු යවන්නන් හමුවේ දකුණත් පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු හා රන්ධීර් රණසිංහ දෙදෙනා එකතු වී 7 වන කඩුල්ල සඳහා නොදැවී ලකුණු 33*ක සබඳතාවයක් ගොඩනැංවූ නිසා කඩුලු 4ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට හැකි විය. නොදැවී ක්‍රීඩා කළ නුවනිඳු 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 34*ක්  රැස් කරගත්තේය. රන්ධීර් රණසිංහ ලකුණු 14*. පන්දු යැවීමේ දී කමලේශ් කඩුලු 2ක් දවාලන ලදි.

ඉන්දීය රෙඩ් කණ්ඩායම – 226/10 (46.3) : ප්‍රතිව් ෂෝ 63, කමලේශ් නාගර්කොටී 51, රියාන් පැරග් 50, හරීන් බුද්ධිල 4/30,  අයන සිරිවර්ධන 4/34.

ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම – 231/6 (48.4) : සන්තුෂ් ගුණතිලක  80, නිපුන් දනංජය 43, ධනංජය ලක්ශාන් 38, නුවනිඳු ප්‍රනාන්දු 34*, කමලේශ් නාගර්කොටී  2/44.

මීළඟ තරගය අනිද්දා (30) ඉන්දීය බ්ලු කණ්ඩායම සමඟින් පැවැත්වෙන අතර මෙහි අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට එම තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වෙනු ඇත.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න