අප්‍රිකානු බිමක දී නැවතත් පෙරළියක් කිරීමට ශ්‍රී ලංකාව සූදානමින්

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය 2020

146

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය හෙට (27) හරාරේ හිදී පැවැත්වීමට නියමිතයි. 

හරාරේ හිදී ශ්‍රී ලංකාවට දැවැන්ත ටෙස්ට් ජයක්!

ඊයේ දිනයේ ඇන්ජෙලෝ මැතිව්ස් වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකයත්, අවසන් දිනයේ දී සුරංග ලක්මාල් ප්‍රමුඛ පන්දු…..

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ නිසා නොකඩවා දෙවන වතාවටත් අප්‍රිකානු බිමක දී පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් වෙත ගමන් කිරීම් භාග්‍ය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත උදා වී තිබෙනවා. 

ඒ 2019 පෙබරවාරි මාසයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ඔවුන්ගේ රටේ දී ශ්‍රී ලංකාව ලබා ගත් 2-0 ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයට පසුවයි.

මුහුණට මුහුණ

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් තරග 19ක් පවත්වා ඇති අතර එයින් තරග 14ක ජය ශ්‍රී ලංකා  කණ්ඩායම සතු වන විට ශ්‍රී ලංකාවට එරෙහිව එකඳු ටෙස්ට් තරගයක් හෝ ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වී නොමැත. තවත් තරග 5ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත. 

දෙපිලේම සුපිරි ප්‍රහාරාත්මක තරු

  • දිමුත් කරුණාරත්න 

නායකත්වයේ වගකීම ද ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න වමතින් පිත්ත හසුරුවන දක්ෂ පිතිකරුවෙකි. 

ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එදිරිව ජාත්‍යන්තර ටෙස්ට් තරග 4ක ඉනිම් 8ක දී ලකුණු 401ක් රැස්කර ගෙන ඇත්තේ ලකුණු 57.28ක හොඳ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. 

ඊට අමතරව ඔහු ශතකයක් සහ අර්ධ ශතක 2ක් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වාර්තා කර ඇත. ඒ අතරට 4 පහර 33ක් ඇතුළත්. ඔහුගේ එක් ඉනිමක ප්‍රතිවාදී සිම්බාබ්වේට එරෙහිව රැස්කර ගෙන ඇති වැඩිම ලකුණු ප්‍රමාණය ලකුණු 110කි. 

  • ක්‍රෙයිග් ඒර්වින්  

සිම්බාබ්වේ කණ්ඩායමේ දැනට සිටින පිතිකරුවන් අතර ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කර ගෙන තිබෙන පිතිකරුවා වන්නේ මොහුයි. 

ක්‍රෙයිග් ඒර්වින් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 16ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී ලකුණු 1033ක් රැස්කර ගෙන ඇත්තේ ලකුණු 34.43ක පමණ සාමාන්‍ය මට්ටමේ ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙනයි. ඒර්වින්ගේ එම ලකුණු අතරට ශතක 2ක් සහ අර්ධ ශතක 4 ක් ඇතුළත්ය. 

එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මණින්ම වෙනස් විය හැකි සුවිශේෂී ක්‍රීඩකයෙකු ලෙස ද ඒර්වින් හැඳින්වීමට හැකිය. ඒර්වින් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ඉනිම 8ක දී ලකුණු 405ක් රැස්කර ගෙන ඇත්තේ 50.62ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. 

  • ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් දකුණතින් පිත්ත හසුරුවන මැදපෙළ නියෝජනය කරන දක්ෂ පිතිකරුවෙකි. මෙම පිතිකරුවා ද සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ඉනිම 2ක් සඳහා සිය දායකත්වය දක්වමින් පිත්තෙන් ලකුණු 66ක් රැස්කර ගෙන ඇත. 

සිම්බාබ්වේ සමඟ එතරම් ටෙස්ට් තරග ක්‍රීඩා කර නොමැති වුවත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරග 84ක් ක්‍රීඩා කර තිබෙන මැතිව්ස් එහි දී ලකුණු 5704ක් රැස්කර ගෙන තිබෙන්නේ 43.87ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. 

  • ශේන් විලියම්ස්

සිම්බාබ්වේ කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල සහ පරිණත ක්‍රීඩකයෙකු ලෙසින් මැදපෙළ සවිමත් කරවන විලියම්ස්, ජාත්‍යන්තර ටෙස්ට් තරග 11කට ක්‍රීඩා කර ඇත. එහි දී ලකුණු 27.72ක් වැනි ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ක්‍රීඩා කරන විලියම්ස් ලකුණු 610ක් රැස්කර ගෙන ඇත. ඒ ලකුණු අතරට අර්ධ ශතක 2ක් සහ එක් ශතකයක් ඇතුළත් වේ. 

ප්‍රබල පන්දු යවන්නන්

  • ලහිරු කුමාර 

ශ්‍රී ලංකාව තුළ දැනට සිටින දක්ෂ වේගපන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන ලහිරු කුමාර වැඩි ජවයක් සහ වේගයක් සහිතව පන්දු යැවිය හැකි ක්‍රීඩකයෙකි. දැනට ටෙස්ට් තරග 20ක් සඳහා ක්‍රීඩා කර තිබෙන කුමාර, සිම්බාබ්වේට එදිරිව තවමත් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නොමැත. 

ටෙස්ට් ඉනිම් 34ක දී ලකුණු 2353ක් ලබා දී කඩුලු 65ක් දවා ගැනීමට ඔහු සමත්ව ඇත. කුමාර විසින් එක් ඉනිමක් තුළ යැවූ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 122කට කඩුලු 6ක් දවා ගැනීම ක්‍රිකට් වාර්තා පොතේ සටහන්ව තිබේ. 

  • කයිල් ජාර්වීස්  

දකුණතින් මද වේගපන්දු යවන්නෙකු ලෙස සිම්බාබ්වේ පන්දු බලඇණිය සවිමත් කරන කයිල් ජාර්වීස්, ටෙස්ට් තරග 13ක දී කඩුලු 46ක් දවා ගැනීමට සමත් වී ඇත. කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 29.43ක් ලෙසින් දක්වන මොහු, එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 3.23ක පමණක් ලබා දී ඇත. 

එක් ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව ලෙස ලකුණු 54කට කඩුලු 5ක් දවා ගැනීම සටහන් කර ගෙන තිබෙන කයිල් ජාර්වීස්, ශ්‍රී ලංකාවට එරෙහිව එක් තරගයක් ක්‍රීඩා කර ඇති නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සැලකිය යුතු මට්ටමක අත්දැකීම් තිබේ. 

  • දිල්රුවන් පෙරේරා  

දකුණතින් පිට දඟපන්දු යවන පෙරේරා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඉනිම් 6ක් සඳහා ක්‍රීඩා කරමින් ලකුණු 374ක් තුළ කඩුලු 12ක් දවා ගැනීමට සමත්ව ඇත. ඔහු එක් පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 3.34ක ලකුණු ප්‍රමාණයක් ලබා දෙමින් හොඳ මට්ටමක පසුවෙමින් පන්දු යවනු ලබයි. ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය දල වශයෙන් ලකුණු 31කට ආසන්නය. 

  • ඩොනල්ඩ්  ටිරිපානෝ

දකුණත් වේගපන්දු යවන්නෙකු ලෙසින් සිම්බාබ්වේ කණ්ඩායම සතුව සිටින ප්‍රබලතම තරුවක් වන ඩොනල්ඩ් ටිරිපානෝ ජාත්‍යන්තර ටෙස්ට් තරග 8ක දී කඩුලු 14ක් දවා ගැනීමට සමත්ව ඇත. ලකුණු 91කට කඩුලු 3ක් දවා ගැනීම කණ්ඩායමකට එදිරිව එක් ඉනිමක දී හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති ටිරිපානෝ, එක් පන්දුවාරයකට දල වශයෙන්  ලකුණු 2.89ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත. 

ඔහු සිය ක්‍රිකට් දිවියේ දවා ගෙන තිබෙන ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 14න් 6 ක්ම දවාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව වන අතර එක් ඉනිමක හොඳම පන්දු යැවීම ද වාර්තා කරගෙන තිබෙන්නේ ද ශ්‍රී ලංකාවට එරෙහිවයි. 

  • හරාරේ තණතීරුව සහ කාලගුණය  

මෙම ක්‍රීඩා පිටිය ප්‍රේක්ෂකයින් 10,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇත. මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් තරග 8ක් පවත්වා තිබෙන අතර ශ්‍රී ලංකාව ඉන් තරග 5ක් ජය ගෙන ඇත. 

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පිතිකරණයේ නිරත වීම වඩාත් සුදුසු වෙයි. 

කෝඩුකාර ජපානයට ශ්‍රී ලංකා පිළෙන් සැර පහරක්!

2020 වර්ෂය සඳහා පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග වලින් සැනසිලිදායක……

කාලගුණික තත්ත්වය පිරික්සා බැලූ විට හොඳින් සූර්යාලෝකය පතිත වන මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුණික තත්ත්වයක් ඇති නමුත් උදෑසන කාලයේ තරමක් වලාකුළින් බර වූ අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 13-24 ක් දක්වා සුළඟේ වේගයේ විචලනයක් ඇති විය හැකි අතර 22°C – 34°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ. 

වර්තමාන තත්ත්වය 

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර ශ්‍රී ලංකාව දැනට (ජනවාරි 18) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානයේ පසුවෙයි. 

ඔවුන් ලකුණු 3935ක් ලබා ගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 92 ක් සමඟයි. ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 140ක් සහ ප්‍රසාද ලකුණු 16ක් ලබා ගෙනයි. 

අවසන් නිගමනය

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග ඉතිහාසය පිරික්සා බලන විට පෙරමුණේ පසු වුවද එම තරගය තුළ අඩුපාඩු සහ දුර්වලතා අවම ලෙස පවත්වා ගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු බොහෝ සෙයින්ම අවිනිශ්චිතතාවය මත රැඳුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි. නමුත් තරගය ද ජයග්‍රහණය කරමින් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමේ වැඩි වාසියක් ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. 

සංචිතයන්

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත. 

සිම්බාබ්වේ – ශෝන් විලියම්ස් (නායක), ශිකන්ඩර් රාසා, රේගීස් චකබ්වා, ක්‍රෙයිග් ඒර්වින්, කයිල් ජාර්වීස්, කෙවින් කවුසා, ටයිමයින් සිම්රිමා, ප්‍රින්ස් මස්වාවුරේ, බ්‍රයන් මුඩ්සිගම්යානා, කාල් මුම්බා, එනසිලි එන්ඩ්ල්වූ, වික්ටර් ඉනියවුචි, බ්‍රෙන්ඩන් ටේලර්, ඩොනල්ඩ්  ටිරිපානෝ, කාල්ටන් ටිශුමා. 

දෙවන තරගයට අපේක්ෂිත සංචිතය

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්,  ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ලහිරු කුමාර. 

සිම්බාබ්වේ – ප්‍රින්ස් මස්වාවුරේ, බ්‍රයන් මුඩ්සිගම්යානා, බ්‍රෙන්ඩන් ටේලර්,ශෝන් විලියම්ස් (නායක), ක්‍රෙයිග් ඒර්වින්, ශිකන්ඩර් රාසා, රේගීස් චකබ්වා, ඩොනල්ඩ්  ටිරිපානෝ, කයිල් ජාර්වීස්, එනසිලි එන්ඩ්ල්වූ, වික්ටර් ඉනියවුචි.  

තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<