ලකුණු සොයා ඉව අල්ලන සිංහයින්ට දකුණු අප්‍රිකාවෙන් අභියෝගයක්!

691

ඩර්බන් පිටියේ දී ඓතිහාසික ටෙස්ට් ජයක් ලබා ගැනීමෙන් අනතුරුව අද (21) ශ්‍රී ලංකාව කේප්ටවුන් හිදී දකුණු අප්‍රිකානුවන් සමඟ දෙවැනි ටෙස්ට් සටන ආරම්භ කළේ තරගාවලි ජයග්‍රහණය ස්ථිර කර ගැනීමේ අටියෙනි.

දිනය පුරාවට ශ්‍රී ලංකා පන්දු යවන්නන් දක්ෂතා පෙන්නුම් කළ නිසා මෙම තරගයත් ශ්‍රී ලංකා පිළේ ග්‍රහණයට නතු වුවද දිනය අවසානයේ ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙකුම ප්‍රතිවාදීන්ට බිලි වීම නිසා මේ වන විට තරගය ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතයේ නොසිතූ වෙනස්කම් රැසක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන….

අද තරගය සඳහා ඩර්බන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමම නම්කර තිබූ අතර ජයග්‍රාහී සංකලනයේ (Winning combination) කිසිදු වෙනසක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන නොතිබුණි. වෙනකක් තබා පුහුණුවීම් අතරේ ආබාධයකට ලක්වුණු කුසල් මෙන්ඩිස් ද ඉන් ඉක්මන් සුවය ලබා නැවතත් කණ්ඩායම සමඟ එක්වී තිබීම විශේෂත්වයකි. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර ආබාධයට ලක්වුණු වර්නන් ෆිලැන්ඩර් වෙනුවට දකුණු අප්‍රිකානු කණ්ඩායම නවක තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මුල්ඩර්ට ටෙස්ට් වරම් හිමිකර දීමට පියවර ගෙන තිබුණි.

Photos: Sri Lanka vs South Africa 2nd Test 2019 | Day 1

මෙවර තරගය සඳහා ඩර්බන් ටෙස්ට් තරගයට වඩා සජීවී තණතිල්ලක් කේප්ටවුන් හි නිර්මාණය කර තිබූ අතර කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය. නමුත් තරගය ආරම්භ වී වැඩි වේලාවක් යන්නට පෙර පසුගිය තරගයේ පුනරූපනයක් කේප්ටවුන් පිටියේ මවමින් දකුණු අප්‍රිකානු ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 15ක් වෙද්දී කඩුලු තුනක් ඉක්මනින් බිඳ හෙලන්නට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ සමත් වූහ. ඒ ඩීන් එල්ගාර්, හෂීම් අම්ලා සහ ටෙම්බා බවුමා යන දකුණු අප්‍රිකානු විශේෂඥ පිතිකරුවන් අසරණ කර දමමිනි. මේ අතරින් එල්ගාර් පමණක් ලකුණු 6ක් රැස්කර ගනිද්දී අනෙක් පිතිකරුවන් දෙදෙනා ලකුණු නොලබාම දැවී ගියහ.

මෙම අනපේක්ෂිත ප්‍රහාරයෙන් අන්දමන්ද වුනු දකුණු අප්‍රිකානු පිළ තරගාවලිය තුල දෙවැනි වතාවටත් පසු පාදයට ඇද වැටුණු අතර ඉතිරිව සිටි පිතිකරුවන් කිහිප දෙනාට ඉනිමේ වගකීම දරන්නට සිදු විය. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක් එක් කරමින් නායක ප්ලෙසිස් සහ ආරම්භක පිතිකරු ඒඩන් මාර්ක්‍රම් යම් උත්සාහයක් ගත්ත ද දිවා විවේකයට මොහොතකට පෙර අත්හදා බැලීමක් ලෙස පන්දු යැවූ දිමුත් කරුණාරත්නගේ පන්දුවක් හමුවේ නායක ප්ලෙසිස් තම කඩුල්ල බිඳ ගැනීමත් සමඟ නැවතත් ශ්‍රී ලංකා පිළ තරගයට අවතීර්ණ විය. ඒ වන විට දකුණු අප්‍රිකානු ඉනිම දැක්වුණේ ලකුණු 73ට කඩුලු 4ක් වශයෙනි.

කොදෙව්වන්ගේ වාර්තාගත ඉනිමට රෝයි සහ රූට් අකුල් හෙළයි

ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කළ ඉනිම…

දිවා විවේකය සහ තේ විවේකය අතර කාලයේ ශ්‍රී ලංකා පිළ තවත් කඩුලු තුනක් බිඳ හෙලීම නිසා දකුණු අප්‍රිකාවට ඇද වැටුණු තැනින් නැගී සිටින්නට පහසු වූයේ නැත. මේ දක්වා තරගයේ එකම කණගාටුදායක සිදුවීම වශයෙන් තේ පානයට පෙර පන්දුවාරය ක්‍රියාත්මක කළ ලසිත් ඇඹුල්දෙනිය ආබාධයකට ලක්වීම හැඳින්විය හැකිය.

එහි දී පන්දුවට පහර දුන් කාගිසෝ රබාඩා, පන්දු යැවූ ඇඹුල්දෙනිය වෙතටම පෙරලා උඩපන්දුවක් ලබා දුන් අතර එය කෙළින්ම ඔහුගේ ඇඟිල්ලේ වැදීම නිසා ඔහු දැඩි වේදනාවකට ලක්වූ බවක් පෙනෙන්නට තිබුණි. සමීප දර්ශන වලින් පෙන්නුම් කෙරුණේ ඔහුගේ මහපටැඟිල්ලෙන් ලේ දහරා ගලා යන බවයි. ඒ අනුව ඔහු පිටියෙන් ඉවත් වී රෝහල් ගතවූ අතර දිමුත් පන්දුවාරයේ ඉතිරි පන්දු කිහිපය සම්පූර්ණ කළේය.

තේ විවේකයෙන් අනතුරුව ශ්‍රී ලංකා පිළේ හිස මත අහක යන පිනක් කඩා වැටුණු අතර ලසිත් ඇඹුල්දෙනිය වෙනුවට පන්දු යැවීම සඳහා කැඳවූ ධනංජය ද සිල්වා පිටියේ හොඳින් ස්ථාවර වී සිටි ක්වින්ටන් ඩි කොක්ව දවා ගැනීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පිළේ ජය ගමනට හරස් කැපූ ප්‍රධානම බාධකය ඉවත් විය. පන්දුව කෙළින්ම කඩුල්ලේ ගැටී දැවී යන විට දකුණු අප්‍රිකානු කඩුලු රකින්නා හතරේ පහර 12ක් සමඟින් ලකුණු 86ක් රැස් කරගෙන සිටියේය. පසු පෙළ පිතිකරුවන් අතරින් තරමක හෝ සාර්ථකත්වයක් පෙන්නුම් කළ එකම පිතිකරු වූ කාගිසෝ රබාඩාව (22) දවා ගත්තේ ද ධනංජය ද සිල්වායි. ඔහු දැවී ගියේ කඩුලු රකින දික්වැල්ල අතට තියුණු උඩපන්දුවක් ලබා දෙමිනි.

ඩි කොක්ව පිටියෙන් ඉවත් කිරීමත් සමඟම දකුණු අප්‍රිකානු පිළේ අවසන් කඩුලු තුනම ලකුණු 6ක් තුල දී බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම ද විශේෂත්වයකි. ඒ නිසාවෙන්ම ප්‍රතිවාදීන්ගේ පළමු ඉනිම ලකුණු 222කට සීමා කිරීමට ද ඔවුන්ට හැකි විය. පන්දු යැවීමේ දී නවක වේග පන්දු යවන්නන් දෙපළ වන කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳ හෙලද්දී ධනංජය සිල්වා අර්ධ කාලීන පන්දු යවන්නෙකු ලෙස තම වගකීම අකුරටම ඉටු කරමින් කඩුලු ද්විත්වයක් දවා ගත්තේය. ඇත්තෙන්ම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින දකුණු අප්‍රිකානු පිතිකරුවන් තම උපන් බිමේ දී ම මෙලෙස තුන්වැනි වරටත් ඉක්මනින් දවා ගැනීමේ ගෞරවය මොවුන් තිදෙනා ඇතුළු සමස්ත පන්දු යැවීමේ බල ඇණියටම හිමි විය යුතුය.

ඒ අනුව අද සන්ධ්‍යා කාලයේ දී ශ්‍රී ලංකා පිළට පන්දුවාර 20ක් සඳහා පිතිකරණයේ යෙදෙන්නට සිදු වූ අතර එහි දී ඔවුන්ට මුල්පෙළ කඩුලු තුනක් අහිමි විය. දිමුත් කරුණාරත්න අද දකුණු අප්‍රිකානු පිළේ පළමු දඩයම ලෙස දැවී ගියේ රබාඩා යැවූ පන්දුවක් හමුවේ කඩුලු රකින ඩි කොක් අතට උඩපන්දුවක් ලබා දෙමිනි. පෙර තරගයේ ධනාත්මකව ලක්ෂණ රැසක් පෙන්නුම් කළ ඕෂධ ප්‍රනාන්දු අද ලකුණු නොලබාම දැවී ගියේ ඔලිවියර් යැවූ පන්දුවක් පිත්තේ ඇතුල් දාරයේ වැදී කඩුල්ල මතට ඇද වැටීමත් සමඟයි. කුසල් මෙන්ඩිස් ඉක්මනින් ලකුණු රැස් කිරීමට උත්සාහ දැරූව ද අවසානයේ ඔහුගේ ඉනිම ලකුණු 16කට නිමා විය.

ඒ දිනය නිමා වීමට එක් පන්දුවාරයක් පමණක් ඉතිරිව තිබිය දීයි. එවන් මොහොතක කුසල් මීට වඩා පරීක්ෂාකාරී වූවා නම් ඔහුට හෙට දිනයේ නැවුම්ව ඉනිම ආරම්භ කිරීමට ඉඩ තිබුණි. අවසානයේ ඔහු වෙනුවට රාත්‍රී රැකවලා (Night Watchman) ලෙස කසුන් රාජිතට පිටියට පැමිණෙන්නට සිදු විය. දැන් තරගය දෙපිළටම විවෘත වී ඇති අතර හෙට උදෑසන සැසිය දෙපිළටම ඉතාමත් තීරණාත්මක මුහුණුවරක් ගනු ඇත. ඒ ඉක්මන් කඩුලු කිහිපයක් නිසා තරගය දකුණු අප්‍රිකාව දෙසටත්, හොඳ ලකුණු සබඳතාවයක් මඟින් තරගය ශ්‍රී ලංකාව දෙසටත් දෝලනය විය හැකි බැවිනි.

වලියට බර ඕස්ට්‍රේලියානු පරෙවියා

2003 වසරේ දිනෙක කොදෙව්වන්ට එරෙහිව ඇන්ටිගුවාහී පැවති ටෙස්ට්…

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 222 (පන්දුවාර 61.2) : ක්වින්ටන් ඩි කොක් 86, ඒඩන් මාක්‍රම් 60, ෆැෆ් ඩු ප්ලෙසිස් 25, කාගිසෝ රබාඩා 22, වියාන් මුල්ඩර් 9, කසුන් රාජිත 3/67, විශ්ව ප්‍රනාන්දු 3/62, ධනංජය ද සිල්වා 2/15, දිමුත් කරුණාරත්න 1/12.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 60 (පන්දුවාර 20) : ලහිරු තිරිමාන්න 25*, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 16, ඩුවාන් ඔලිවියර් 2/25, කාගිසෝ රබාඩා 1/14.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<