“සංචිතයේ ලොකු වෙනසක් කරන්න බැහැ” – දිමුත්

2387

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයට පසුව ශ්‍රී ලංකාව සහභාගී වන ප්‍රථම අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා සිට 31 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන්නේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟිනි.

මාලිංග සිය අවසන් තීරණය නිල වශයෙන් ප්‍රකාශ කරයි

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම ……..

නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු පුවරුවේ 6 වැනි ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකාව, බංග්ලාදේශයට වඩා ස්ථානයන් දෙකක් ඉදිරියෙන් සිටිමින් තරගාවලිය නිමා කරන්නට සමත් විය. ලෝක කුසලානයේ දී මෙම කණ්ඩායම් දෙක එකිනෙකා හමුවීමට නියමිතව තිබූ නමුත් එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නොපැවැත්වීමට සංවිධායකයින් තීරණය කළේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ දිමුත් කරුණාරත්න මෙම තරග සංචාරයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර දිමුත් හා කුසල් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තරග තුනකින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද මූලික සංචිතය උපයෝගී කරගෙන එක් එක් තරගය සඳහා සංචිත තුනක් තෝරා ගැනීමට අපේක්ෂාවෙන් පසුවේ. 

කෙසේ නමුත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා සංචිතයේ නොසිටි ලහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, අකිල දනංජය හා ශෙහාන් ජයසූරිය වැනි ක්‍රීඩකයින් නැවතත් සංචිතයට කැඳවා තිබේ. 

“ලෝක කුසලානයක් ඉවර වුනු ගමන් අපේ සංචිතයේ ලොකු වෙනස්කම් කරන්න  බැහැ. ඊළඟ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තව අවුරුදු 4ක් තියෙනවා. තරුණ ක්‍රීඩකයින් හා අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගේ සම්මිශ්‍රණයක් තියාගෙන සංචිතය තෝරාගන්න අපි බලන්න ඕන.” යැයි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මෙහිදී පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ දිමුත්,

“මාලිංග අයියා (ලසිත් මාලිංග) එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත්තාට පස්සේ, අපිට ඉන්න කඩුලු ගන්න පුළුවන් හොඳ වේගපන්දු යවන්නෝ කවුද කියලා අපි ඉක්මනටම හොයාගන්න එක තමයි දැන් අපිට තියෙන ලොකුම අභියෝගය. ඒ ගැටලුව ඉතාමත් ඉක්මනින්ම විසඳගන්න ඕන.”

ගාලු ජයෙන් ලොහාන්ගේ කඩුලු ත්‍රිත්වයේ රැස් බසී

ගාල්ලේ ක්‍රිකට් ගැසූ ලොහාන් ද සොයිසා නුවරට එක් …….

මෙම එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතව සිටි බංග්ලාදේශ නිත්‍ය  නායක මෂ්රෆි මෝර්ටාසා ආබාධයකට ලක්වීම නිසාවෙන් ඔහුට මේ තරගාවලිය මග හැරී ගියේය. ඒ නිසාවෙන් ආරම්භක පිතිකරුවෙක් වන තමිම් ඉක්බාල් හට කණ්ඩායම් නායකත්වය පිරිනැමීමට එරට ක්‍රිකට් බලධාරීන් පසුගිය දා (20) තීරණය කරන ලදි. 

මීට අමතරව බංග්ලාදේශ පන්දු යවන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් සයිෆුදීන් ද පිටකොන්ද ආශ්‍රිතව ඇතිව තිබූ ආබාධ තත්වය නැවත වර්ධනය වීම නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වී තිබෙන අතර ඔවුන් සතුව සිටින තවත් ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ශකිබ් අල් හසන් හා ලිට්න් ඩාස් ද මේ තරගාවලිය සඳහා සහභාගී  වන්නේ නොමැත.

“අපි පසුගිය දා අවසන් වුනු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉතාමත් හොඳින් තරග වැදුණා කියලා මම හිතනවා. මොකද අපි හොඳ තරග  කිහිපයක්ම දින්නා. හැබැයි ප්‍රසාද ලකුණු පුවරුව බැලුවහනම් එහෙම කියන එක බොරු කියලා ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන්, මොකද අපි තරගාවලිය අවසන් කළේ 8 වැන්නා ලෙස.” යැයි මෙම තරගාවලියේ දී බංග්ලාදේශ වැඩ බලන නායකයා ලෙස කටයුතු කරන තමිම් පැවසීය. 

>>Sri Lanka v Bangladesh 2019<<

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල මෙම කණ්ඩායම් දෙක මේ දක්වා එක්දින ක්‍රිකට් තරගාවලි 7කට මුහුණ දී තිබෙන අතර ඉන් තරගාවලි 6කම ජය තහවුරු කරගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. කෙසේ නමුත් බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පමණක් සඳහා තරග වැදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවසන් අවස්ථාවේ දී (2017) එම තරගාවලිය තරග 1-1ක් ලෙස සමව නිමාවට පත්විය. 

එක්දින තරග 3කින් සමන්විත මෙම තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම දින 10ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. මේ මස 26, 28 සහ 31 යන දිනයන්හි පැවැත්වීමට නියමිත මෙම තරග තුනම දිවා/රාත්‍රි තරග වශයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකා මූලික එක්දින සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු මදුසංක, ලහිරු තිරිමාන්න, ශෙශාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, අකිල දනංජය, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, අමිල අපොන්සු, දසුන් ශානක, තිසර පෙරේරා, ඉසුරු උදාන, ලසිත් මාලිංග, කසුන් රාජිත, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්.

බංග්ලාදේශ එක්දින සංචිතය – තමිම් ඉක්බාල් (නායක), මුෂ්ෆිකර් රහීම්, සබීර් රෙහ්මාන්, සෞම්‍ය සර්කාර්, මොහොමඩ් මිතුන්, මහමදුල්ලා රියාද්, මොසදික් හුසේන්, රුබෙල් හුසේන්, මස්ටෆිසුර් රෙහ්මාන්, මෙහෙදි හසන් මිරාස්, එනමුල් හක්, ටයිජුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, ෆර්හාඩ් රීසා

තරග කාලසටහන

  • ජූලි 23 – පුහුණු එක්දින ක්‍රිකට් තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී
  • ජූලි 26 – පළමු එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී (දිවා/රාත්‍රි)
  • ජූලි 28 – දෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී (දිවා/රාත්‍රි)
  • ජූලි 31 – තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී (දිවා/රාත්‍රි)

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<