2020 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට එහි තණතීරු හා කාලගුණික තත්වය වෙනුවෙන් හැඩගැසීමට තිබෙන ඉතාමත් හොඳ තරගාවලියක් ලෙස මේ තරගාවලිය හඳුන්වා දීමට අපට හැකිය.

විස්සයි විස්ස තරග තුනකින් සමන්විත මේ තරගාවලිය ඔක්තෝබර් 27 වැනිදා සිට නොවැම්බර් 1 දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරග කාලසටහන නිකුත් වෙයි

සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට එකිනෙකා මුණගැසී ඇත්තේ 2017 වසරේ වන අතර ශ්‍රී ලංකාව එම විස්සයි විස්ස තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.

මුහුණට මුහුණ

2007 වසරේ සිට පැවත එන ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉතිහාසය තුළ මේ දක්වා අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් තරග 13ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 8ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. 

ගෙවී ගිය ලෝක කුසලාන තරගාවලි 11 තුළ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 9ක් පවත්වා තිබෙන අතර එහි තරග 7ක්ම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ. තවත් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇති අතර ජයගෙන තිබෙන එකම තරගය 1996 ලෝක කුසලාන අවසන් මහා තරගයයි.

සැඟවුණු හා වැදගත් දත්ත කිහිපයක්

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරග ඉතිහාසයේ ඔවුනොවුන් සහභාගී වී ඇති විස්සයි විස්ස තරග ප්‍රමාණය තුළ මෙතෙක් වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ෂාන්. 

ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස  තරග 10ක් ක්‍රීඩා කරමින් ලකුණු 252ක් ලබාගෙන ඇත්තේ 28.00ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇති ක්‍රීඩකයින් අතරේ අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග හා  ජේම්ස් ෆොල්ක්නර් යන තිදෙනාම කඩුලු 10 බැගින් දවාගෙන ඇත. නමුත් මෙන්ඩිස් එම කඩුලු 10 දවා ගැනීම සඳහා ක්‍රීඩා කර තිබෙන්නේ තරග 5ක් පමණි .

ප්‍රහාරාත්මක පිතිකරුවන්

  • දනුෂ්ක ගුණතිලක 

ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිටින දක්ෂ ආරම්භක පිතිකරුවෙකු වන දනුෂ්ක ගුණතිලක මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 19ක දී ලකුණු 420ක් රැස්කර ගෙන ඇත්තේ අර්ධ ශතක 2ක් සමඟ 122.27ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි. 

එසේම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තවමත් එකදු විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති ගුණතිලක අවසන් වරට පැවති ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්ස තරගාවලියේ දී ඉතාමත් හොඳ දස්කම් දක්වන ලදි. 

  • ස්ටීව් ස්මිත්

වසර දෙකකට ආසන්න විරාමයකට පසුව නැවතත් ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස කණ්ඩායමට පැමිණ තිබෙන ස්මිත් ඕස්ට්‍රේලියානු පිතිකරණය සවිමත් කළ හැකි සුවිශේෂී සහ ප්‍රබල පිතිකරුවෙකි.

දකුණතින් පිතිකරණයේ නිරත වන ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 30ක් තුළ ඔහු විසින් ලකුණු 352ක් ලබාගෙන ඇත්තේ ප්‍රහාරාත්මක වේගය 122.44ක් වැනි හොඳ මට්ටමක පවත්වා ගනිමිනි. ස්මිත් විස්සයි විස්ස අර්ධ ශතක 2කින් ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස ක්‍රිකට් තරග 4ක් ක්‍රීඩා කර තිබේ.

ආබාධ රකුසාගේ නවතම ගොදුර!

ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා වන බංග්ලාදේශ සංචිතය…..

  • කුසල් ජනිත් පෙරේරා

ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් බහුල සහ පරිණත ක්‍රීඩකයෙකු වන කුසල් ජනිත්, ආරම්භක පිතිකරුවෙකු ලෙස ඕස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 4ක දී ලකුණු 74ක් ලබාගෙන ඇත්තේ 117.46ක් වැනි මට්ටමක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි.

කුසල් ජනිත්ගේ ඒ ලකුණු කිසිදු අර්ධ ශතකයක් හෝ ශතකයක් ඇතුළත් වන්නේ නැත. කෙසේ නමුත් වමතින් පිත්ත හසුරුවන ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල විස්සයි විස්ස තරග 39ක් ක්‍රීඩා කරමින් ලකුණු 1071ක් වාර්තා කරගෙන ඇත්තේ අර්ධ ශතක 10ක් ද සමඟයි. 

  • ඩේවිඩ් වෝනර්

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සතුව සිටින ජාත්‍යන්තර අත්දැකීම් බහුල ආරම්භක පිතිකරුවෙකු වන ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 70ක දී ලකුණු 1792ක් ලබාගෙන ඇත්තේ 26.74ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ඔහුගේ එම ලකුණු අතරට අර්ධ ශතක 13ක් ඇතුළත්ය.

ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරග 9ක් ක්‍රීඩා කර තිබෙන වෝනර් එහි දී ලකුණු 230ක් වාර්තා රැස්කර ගෙන තිබෙන්නේ 127.77ක පමණ වේගයක් රඳවා ගෙනයි නිමා වූ තරගයේ දී ද පාකිස්තානයට එරෙහිව ශතකයක් ලබාගෙන නැවතත් සිය සුපුරුදු රිද්මය සොයාගත් වෝනර් ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකිය.

තර්ජනාත්මක පන්දු යවන්නන්

  • ලසිත් මාලිංග

දකුණතින් වේගපන්දු යවන ලසිත් මාලිංග ප්‍රබල පන්දු යවන්නෙකි. මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග පමණක් ක්‍රීඩා කරන  මාලිංග සිය ප්‍රබලතම අවිය වන යෝකර් (Yorker) පන්දුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 76ක දී කඩුලු 104ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ දැනට ලොව වැඩිම විස්සයි විස්ස කඩුලු දවාගෙන තිබෙන ක්‍රීඩකයා ද බවට පත්වෙමිනි. මාලිංග දල වශයෙන් එක් පන්දුවාරයකට 7.32ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත.

මේ වන විට වයස අවුරුදු 36ක් වන මාලිංග ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස ක්‍රිකට් තරග 9ක දී කඩුලු 10ක් දවාගෙන තිබෙන්නේ 25.00 පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

  • පැට් කමින්ග්ස්

ඕස්ට්‍රේලියානු වේගපන්දු බල ඇණිය සවිමත් කරන කමින්ග්ස් වයස අවුරුදු 26ක් පමණ වන අත්දැකීම් බහුල ජව සම්පන්න ක්‍රීඩකයෙකි. ජාත්‍යන්තර විස්සයි විස්ස  තරග 20ක දී කඩුලු 25ක් දවා ගැනීමට සමත් වී ඇති ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 21.24ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක පවතියි.

පැට් කමින්ග්ස් එක් පන්දු වාරයකට පිතිකරුවන්ට දළ වශයෙන් 8.98ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. දකුණතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයාගේ හොඳම විස්සයි විස්ස  පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ ලකුණු 15කට කඩුලු 3ක් ලෙසයි. ඔහු ශ්‍රී ලංකාව සමඟ මේ දක්වා පවත්වා තිබෙන ජාත්‍යන්තර විස්සයි විස්ස තරග තුනක් ක්‍රීඩා කර තිබේ.

ශූරයින් සමඟ එකම කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව 19න් පහළ ලෝක කුසලානයට

13 වැනි වතාවට පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජනවාරි 17 වැනිදා…..

  • නුවන් ප්‍රදීප්

පසුගිය දා පැවැත්වුනු පාකිස්තානු – ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානයට අමිහිරි පරාජයක මතකයක් එක්කළ තවත් තරගාවලියක් බවට පත් කිරීමට සහයක් වූ ක්‍රීඩකයින් අතරේ නුවන් ප්‍රදීප් ද ඉහලින්ම සිටින ලදි.

දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සැලකිය යුතු මට්ටමක වේගයකින් පන්දුව යැවීමට හැකි ක්‍රීඩකයෙකි. ඒ අතරින් ඔහුගේ ප්‍රබලතම අවිය වන්නේ වේගවත්ව පිටතට දෝලනය වන පන්දුවයි.

නුවන් ප්‍රදීප් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 11ක දී කඩුලු 14ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දළ වශයෙන් 9.94ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත.

ඕස්ට්‍රේලියාව සමඟ එකඳු විස්සයි විස්ස තරගයක් හෝ ක්‍රීඩා කර නොමැත. වයස අවුරුදු 33ක් වන ප්‍රදීප් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙස ද හඳුන්වා දිය හැකිය.

  • මිචෙල් ස්ටාර්ක්

උස අඩි 6 අඟල් 2ක් වන වමතින් වේගපන්දු යවන මිචෙල්  ස්ටාර්ක්, ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 23ක දී කඩුලු 31ක් දවා ගැනීමට සමත් වී ඇත. ලකුණු 11කට කඩුලු 3ක් දවා ගැනීම, එක් කණ්ඩායමකට එදිරිව යැවූ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති ඔහු එක් පන්දුවාරයකට දළ වශයෙන් 6.76ක් පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබාදී ඇත. එසේම මොහුගේ ශ්‍රී ලංකාවට එදිරිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 22.40ක් වැනි හොඳ මට්ටමක පවතී.

ඇඩිලේඩි තණතීරුව හා අවට කාලගුණය

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඩි පිටියේ දී මේ දක්වා එක් විස්සයි විස්ස තරගයක් පවත්වා තිබෙන අතර 2017 වසරේ පැවති එම තරගය ඕස්ට්‍රේලියාව ලකුණු 41කින් ජය ගන්නා ලදි. 

පන්දු යවන්නන්ට හා පිතිකරුවන්ට හිතකර ලෙස  ඇඩිලේඩි තණතීරුව හැසිරෙනු ඇතැයි අපේක්ෂා කිරීමට හැකිය. යම් හෙයකින් ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දු රැකීම වඩාත් සුදුසු වනු ඇත.

කාලගුණය දෙස බැලීමේ දී මේ තරගයට යම් ආකාරයකින් වර්ෂාවෙන් බාධා එල්ල වීමට තිබෙන ඉඩකඩ ඉතාමත් අවමය. එසේම තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 14-20 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.

බ්‍රිස්බේන් තණතීරුව හා අවට කාලගුණය

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්  පිටියේ දී මේ දක්වා කිසිදු විස්සයි විස්ස තරගයක් පවත්වා නොමැත. පන්දු යවන්නන්ට හා පිතිකරුවන්ට හිතකර ලෙස බ්‍රිස්බේන් තණතීරුව හැසිරෙනු ඇතැයි අපේක්ෂා කිරීමට හැකිය. යම් හෙයකින් ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වනු ඇත.

කාලගුණය දෙස බැලීමේ දී මේ තරගයට යම් ආකාරයකින් වර්ෂාවෙන් බාධා එල්ල වීමට තිබෙන ඉඩකඩ ඉතාමත් අවමය. එසේම තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 19 -28 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.

Video – නුවරින් බිහිවුණු පොඩි මාලිංග – මතීෂ පතිරණ – Powerplay

ත්‍රිත්ව විද්‍යාලයේ මතීෂ පතිරණ මේ දිනවල සමාජ ජාලවල ලොකුවට කතාබහට ලක්වෙච්ච චරිතයක්. ඒ ඔහුගේ පන්දු….

මෙල්බන් තණතීරුව හා අවට කාලගුණය

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙල්බන් පිටියේ දී මේ දක්වා එක් විස්සයි විස්ස තරගයක් පවත්වා තිබෙන අතර එම තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජයගෙන තිබේ. පන්දු යවන්නන්ට හා පිතිකරුවන්ට හිතකර ලෙස මේ මෙල්බන්  තණතීරුව හැසිරෙනු ඇතැයි අපේක්ෂා කිරීමට හැකිය. යම් හෙයකින් ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දු යැවීම වඩාත් සුදුසු වනු ඇත.

කාලගුණය දෙස බැලීමේ දී මේ තරගයට යම් ආකාරයකින් වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් ඉඩකඩක් තිබේ. එසේම තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 24 -30 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.

සංචිතයන්

ශ්‍රී ලංකාව ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, දනුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, වනිඳු හසරංග, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්.

ඕස්ට්‍රේලියාව ඒරන් ෆින්ච් (නායක), ඈෂ්ටන් අගර්, ඇලෙක්ස් කේරී, පැට් කමින්ස්, ග්ලේන් මැක්ස්වෙල්, බෙන් මැක්ඩර්මට්, කේන් රිචරඩ්සන්, ස්ටීව් ස්මිත්, බිලී ස්ටැන්ලේක්, මිචෙල් ස්ටාර්ක්, ඈෂ්ටන් ටර්නර්, ඇන්ඩෲ ටයි, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා.

අවසන් නිගමනය

ජාත්‍යන්තර විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම 5 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 5471ක් සමඟ ප්‍රසාද ලකුණු 261ක් දිනාගෙන වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 7 වැනි ස්ථානය දිනාගෙන සිටින්නේ ලකුණු 5777ක් සමඟ ප්‍රසාද ලකුණු 241ක් දිනාගෙනය.

ශ්‍රේණිගත කිරීම්වලින් ද ඕස්ට්‍රේලියාව පෙරමුණේ පසුවන නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුළ හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. 

තරග කාලසටහන,

  • ඔක්තෝබර් 27 – පළමු තරගය – ඇඩිලේඩි (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9ට)
  • ඔක්තෝබර් 30 – දෙවන තරගය – බ්‍රිස්බේන් (ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.40ට)
  • නොවැම්බර් 1 – තෙවැනි තරගය – මෙල්බන් (ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.40ට)

තරගාවලියේ සියලුම තරග වාර්තා, උණුසුම් පුවත්, විශේෂ  වීඩියෝ හා තරග සේයා රූ, ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<