ශූරයින්ගේ කුසලානයට පෙර දියතලාව සහ මහනුවර දී පුහුණු සැසියක්

3397
Sri Lanka to train in Diyatalawa

පුංචි ලෝක කුසලානය නමින් සමස්ත ලෝකයේම අවධානය දිනා ගෙන ඇති ශූරයින්ගේ කුසලානය එළඹෙන ජුනි මාසයේ දී එංගලන්තයේ දී සහ වේල්සයේ දී අතිශය උණුසුම් අයුරින් ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් වෙමින් පවතියි. ඊට පෙරාතුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කුසලතා වර්ධනය කරවීම පිණිස සය දින පුහුණු සැසියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර ඇත.

තුන් ඉරියව් දක්ෂතා සමඟින් මුම්බායි ඉන්දියන්ස් නොනවතින ගමනක

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන විට ප්‍රබලතම කණ්ඩායම බවට පත්ව සිටින මුම්බායි ඉන්දියන්ස්…

ජාතික කණ්ඩායම් නායක ඇන්ජෙලෝ මැතිව්ස් මෙම පෙර සූදානම පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කර සිටියේ තාක්ෂණය සහ සම්පත් අතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන මෙම සහයෝගය අගය කළ යුතු මට්ටමක පවතින බවයි.

“ශ්‍රී ලංකාව සංක්‍රාන්ති සමයක සිටින මෙවන් අවධියක පැවැත්වෙන අයි.සී.සී. ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සැබවින්ම අපිට ඉතාම වැදගත් තරගාවලියක් බවට පත්වේවි. කණ්ඩායම සතුව සිටින්නේ බොහෝමයක් තරුණ ක්‍රීඩකයින් වුවත්, ඔවුන් දක්ෂතා අතින් පරිපූර්ණයි. ජාත්‍යන්තර තලයේ අභියෝගයන් වලට මුහුණ දිය යුතු ආකාරය ඔවුන් වේගයෙන් ඉගෙන ගනිමින් සිටිනවා. මට විශ්වාසයි ඔවුන් මෙම පුහුණු සැසිය අත්දැකීම් ලබා ගැනීමටත්, අවස්ථාවන් දිනා ගැනීමටත් භාවිතා කරනු ඇතැයි කියා. එය ශූරයින්ගේ කුසලානය සඳහා යන ගමනේ දී මාහැඟි උපකාරයක් බවට පත්වේවි.”

ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ග්‍රැහැම් ෆෝඩ් ද තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ සෑහෙන විශ්වාසයක් තබා ගෙන සිටියි. ඔවුන්ට ශූරයින්ගේ කුසලානයේ දී ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීම සඳහා අවශ්‍ය වන කුසලතාවය සහ ශක්තිය ඔවුන්ට ඇති බවත්, අවශ්‍ය වන්නේ ඔවුන්ව ජයග්‍රාහී රිද්මයට ගෙන ඒම පමණක් වන බවත් ඔහු සඳහන් කර සිටියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන සහයෝගය අගය කර සිටි ඔහු කණ්ඩායම සතුව සම්පත් අතින් අඩුවක් නොමැති බවත් වැදගත් වන්නේ ක්‍රීඩකයින්ගේ මානසික තත්වය ගොඩනගා ගැනීම බවත් ප්‍රකාශ කර සිටියේය.

මේ අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මෙන්ම තේරීම් කමිටු නිලධාරියෙකු ද වන අසංක ගුරුසිංහ කියා සිටියේ කණ්ඩායම පුහුණුවීම් සඳහා තෝරා ගෙන ඇති මහනුවර සහ දියතලාව ප්‍රදේශ ආශ්‍රිතව ඇති කාලගුණික තත්වයන් සහ ඔවුන් එංගලන්තයේ දී තරග වදින කාලගුණික තත්ත්වයන් බොහෝ සෙයින් එක සමාන වන බවයි. එයිනුත් කණ්ඩායමට අවශ්‍ය කරන උපරිම පහසුකම් ආදිය මහනුවර දී ලබා ගත හැකි බව ඔහුගේ අදහස විය.

“ස්කොට්ලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග වැදීම සඳහා කණ්ඩායම දින 8කට පෙරාතුව ශ්‍රී ලංකාවෙන් පිටත් වේවි. ඒ සඳහා වන සම්පූර්ණ පිරිවැය ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය සපයා දෙනු ලබනවා. ක්‍රිකට් ආයතනයේ මෙම මුල පිරීම එක්සත් රාජධානියේ ඇති තණ තීරු සහ කාලගුණික තත්වයන් පිළිබඳ ක්‍රීඩකයින්ට අවබෝධයක් ලබා ගැනීමට ඉතාමත් වැදගත් වේවි. ඒ වගේම තරගාවලියේ දිගු දුරක් ගමන් කිරීමට එය ඔවුන්ට පිටුවහලක් බවට පත්වේවි.”

ස්කොට්ලන්තය සමඟින් පැවැත්වෙන මෙම තරග දෙක අයි.සී.සී.ය මගින් ශූරයින්ගේ කුසලාන තරගාවලියට පෙර ඒ සඳහා සහභාගි වන සියලුම කණ්ඩායම් සහභාගි කරවා ගෙන පවත්වනු ලබන අනෙකුත් පුහුණු තරග වලට පරිබාහිරව ක්‍රියාත්මක වෙයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට