තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් යොවුන් සංචිතයක්

282

එළඹෙන මැයි මස 4 වන දින සිට 7 වන දින දක්වා තායිලන්තයේ දී පැවැත්වෙන තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සහභාගී කරවීමට නියමිතයි.

ඒ අනුව මෙම සංචිතය ක්‍රීඩකයින් 04ක් සහ ක්‍රීඩිකාවන් 04 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් තායිලන්තයේ දී සිය උපරිම දක්‍ෂතා අතරට ළඟාවීමේ අපේක්‍ෂාවෙන් පසුවනු ඇත. ඔලිම්පික් වරම් ලැබූ, පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන සුමේධ රණසිංහ ඔහු සහභාගී වූ පසුගිය තරගාවලි දෙක තුළ දී සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් වුවත්, මෙම තරගාවලියේ දී ඔහුට නැවතත් අවස්ථාවක් ලබා දීමට තීරණය කර ඇති අතර කාන්තා සත්ප්‍රයාම ඉසව්වේ දී ලකුණු 7000 සීමාව පසු කළ ප්‍රථම ක්‍රීඩිකාව වන ලක්‍ෂිකා සුගන්ධි හට ද මෙම තරගාවලියේ දී ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇත.

ඔවුන්ට අමතරව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් දෙවන කාණ්ඩයේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් මෙම තරගාවලිය සඳහා ඇතුළත් කර ඇත්තේ අනාගත ආයෝජනයක් ලෙස ඔවුන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීමේ අරමුණෙනි.

හිරුණි එකොළොස්වැනියා ලෙස තරගය නිමා කරයි

ශ්‍රී ලාංකීය මැරතන් ධාවන ක්‍රීඩිකා හිරුණි විජේරත්න අද (15) පොදු රාජ්‍ය මණ්ඩලීය…

මීටර 800 සහ මීටර 1500 ඉසව්වල නැඟී එන ක්‍රීඩකයෙක් වන ජාතික ශූර ඉඳුනිල් හේරත් හට ද දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත්ව සිටින කුපුන් කුෂාන්ත මෙම තරගාවලිය සඳහා ඇතුළත් කර ඇති අතර ඔහු එහි දී පදක්කමක් දිනා ගැනීමේ අභිප්‍රායෙන් පසුවන බව නොඅනුමාන ය.

එමෙන්ම මෙම වසරේ මුල භාගයේ දී පැවති යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ දී හොඳම මලල ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ, ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඇතුළු තවත් කලාපීය තරගාවලි කිහිපයක දී ම ජාත්‍යන්තර අත්දැකීම් ලබා ඇති ග්‍රේෂන් ධනංජය මෙම තරගාවලියේ දී මීටර 7.90ක දුරක් කරා ළඟා වීමට බලාපොරොත්තුවෙන් පසුවනු ඇති අතර ඔහු අනාගතයේ දී දුර පැනීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවට අතිශය වැදගත් ක්‍රීඩකයෙක් වනු නොඅනුමාන ය.

උස පැනීමේ ඉසව්ව සඳහා නැඟී එන ක්‍රීඩකයෙක් වන මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ උෂාන් තිවංක වයස අවුරුදු 18 දී මීටර 2.17ක දක්‍ෂතාවයක් දක්වමින් බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ අතර ඒ අනුව ඔහු ද මෙම තරගාවලියේ දී ඔහුට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමේ අරමුණින් පසුවනු ඇත.

4×100 ධාවන ශූරයෝ ඉතිහාසය නැවත ලියති

ශ්‍රී ලංකා පිරිමි 4×100 සහාය දිවීමේ කණ්ඩායම අද (14) දින පැවති විසිඑක්වන පොදුරාජ්‍ය මණ්ඩල…

කියුබාවේ ලුවිස් මිරැන්ඩා යටතේ පුහුණුවීම් කටයුතු කරන අංජානි පුල්වංස සිය පළමු ජාත්‍යන්තර පදක්කම දිනා ගැනීමේ අරමුණ ඇතිව මෙම තරගාවලිය සඳහා සහභාගී වන අතර ඇය 2013 වසරේ දී දරුණු ආබාධයකට ලක්වුවත් නැවතත් ඉන් සුවය ලබා 2016 වසරේ දී දුර පැනීම ජාතික ශූරිය බවට පත්ව ජාතික සංචිතය සඳහා තේරීපත්වීමට සමත් විය.

එමෙන්ම මීටර 400 ඉසව්ව සඳහා තරගාවලියට සහභාගී වන නදීෂා රාමනායක හට ද මෙම තරගාවලියේ දී ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන අතර ඇය එහි දී සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කර ගැනීමේ අරමුණින් පසුවනු ඇත.

ආසියානු යොවුන් තරගාවලියේ දී කාන්තා මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව සඳහා රන් පදක්කමකට හිමිකම් කියූ යමානි දුලාංජලී හට ද මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබී ඇති අතර එහි දී ඇය ද සිය උපරිම දක්‍ෂතා අතරට පැමිණීමේ අභිප්‍රායෙන් පසුවනු ඇත.

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය

පිරිමි සංචිතය

  • සුමේධ රණසිංහ – හෙල්ල විසිකිරීම
  • කුපුන් කුෂාන්ත – මීටර 800 සහ 1500
  • ග්‍රේෂන් ධනංජය – දුර පැනීම
  • උෂාන් තිවංක – උස පැනීම

කාන්තා සංචිතය

  • ලක්‍ෂිකා සුගන්ධි – සත්ප්‍රයාම
  • අංජානි පුල්වංස – දුර පැනීම
  • නදීෂා රාමනායක මීටර 400
  • යමානි දුලාංජලී – මීටර 400 කඩුලු මතින් දිවීම

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <