අවසන් සංචිතයේ දිමුත් වෙනුවට උඩවත්තට ටෙස්ට් වරම්

2683

ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව එළඹෙන ජුනි මාසයේ යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩයමේ කොදෙව් සංචාරය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශක්තිමත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබේ.

කොදෙව් සංචාරයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය නිකුත් වේ

ලබන මස 6 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා…..

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් හා සුරංග ලක්මාල් ආබාධවලින් සුවය ලබා නැවත කණ්ඩායමට එක් වී ඇති අතර ආබාධයකට ලක් වී සිටින දිමුත් කරුණාරත්න වෙනුවට තිස්එක් හැවිරිදි ආරම්භක පිතිකරු මහේල උඩවත්ත කණ්ඩායමට නම් කර තිබේ.

මහේල උඩවත්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් 2008 දී ජාත්‍යන්තර වරම් හිමි කර ගත් නමුත් තවම ටෙස්ට් වරම් හිමි කර ගැනීමට සමත් වී නැත. නිමා වූ සුපිරි පළාත් සිව්දින තරගාවලියේ දී ලකුණු 56.60ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 283ක් රැස්කර ගැනීමට සමත් වූ ඔහු මේ දිනවල පැවැත්වෙන සුපිරි පළාත් එක්දින තරගාවලියේ දී ලකුණු 71ක හා 116ක විශිෂ්ට ඉනිම් ද්විත්වයක් ද ක්‍රියාත්මක කිරීමට සමත් විය.

“උඩවත්ත දිමුත් වෙනුවට හොඳ ආදේශකයක්, ඔහු හොඳින් ලකුණු රැස්කර ගනිමින් සිටින නිසා අනෙක් ක්‍රීඩකයින්ට වඩා ඔහුට අවස්ථාව හිමි වුනා, ඔහු එතරම් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර නොතිබුණත් දේශීය තරග බිමේ ඔහුට හොඳ අත්දැකීම් තිබෙනවා” ThePapare.com වෙත අදහස් දක්වමින් තේරීම් කමිටු ප්‍රධානි ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා පැවසිය.

නවක වේගපන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු හා කසුන් රාජිත ද දේශීය තරගාවලිවල ඔවුන් පෙන්වූ දස්කම් හේතුවෙන් කොදෙව් සංචාරයට සුදුසුකම් ලබා තිබේ.

කසුන් රාජිත ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග ත්‍රිත්වයකට ක්‍රීඩා කර ඇති අතර නිමා වූ සුපිරි පළාත් තරගාවලියේ දී තරග දෙකක් ක්‍රීඩා කර සාමාන්‍ය 20.50ක් ලෙස රඳවා තබා ගනිමින් කඩුලු 10ක් දවා ගැනීමට සමත් විය.

විසි හැවිරිදි අසිත එක එක්දින තරගයකට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර මේ දිනවල පැවැත්වෙන සුපිරි පළාත් එක්දින තරගාවලියේ තරග තුනක දී කඩුලු හයක් ද දවාගෙන, නිමා වූ පළමු පෙළ තරගාවලියේ දී වැඩිම කඩුලු ලබාගත් වේගපන්දු යවන්නා වෙමින් තරග අටක දී කඩුලු 33ක් ද දවා ගැනීමට සමත් විය.

“අපි කසුන් හා අසිත තෝරා ගත්තේ ඔවුන්ගේ දක්ෂතාවයන් මතයි, ඔවුන් නිමා වූ තරගාවලිවල දී ඔවුන්ගේ හැකියාවන් හොඳින්ම පෙන්වූවා, දුෂ්මන්ත චමීර හා නුවන් ප්‍රදීප් ආබාධවලට ලක්ව ඇති නිසා ඔවුන් දෙදෙනාට ලෝක කුසලානයට පෙර තරග අත්දැකීම උපරිම මට්ටමින් ලබා දිය යුතුයි.” තවදුරටත් අදහස් දක්වමින් තේරීම් කමිටු ප්‍රධානි පැවසිය.

උපුල් තරංග සමඟින් කෝඩුකාරයෝ ලකුණු අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපිරි සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ………

ප්‍රබල පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද සංචිතයට නම් කර ඇති අතර එක්දින තරග ක්‍රීඩා කළ නමුත් අවසාන වශයෙන් ඔහු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ 2016 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිවය. දඟපන්දු බල ඇණිය සවිමත් කිරීම සඳහා ජෙෆ්රි වැන්ඩර්සේ ද කණ්ඩායමට නම් කර තිබේ.

සම්පුර්ණ සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (ශරීර සුවතාවය අනුව), ඇන්ජෙලෝ මැතිව්ස් (ශරීර සුවතාවය අනුව), කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, මහේල උඩවත්ත, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ, ලහිරු ගමගේ, ලහිරු කුමාර, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු.

තරග සංචාරයේ කාලසටහන

  • පුහුණු තරගය: මැයි 30 – ජුනි 1, බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණය ට්‍රිනිඩෑඩ්.
  • පළමු ටෙස්ට් තරගය: ජුනි 6-10, කුවින්ස් පාක් ඕවල්, ට්‍රිනිඩෑඩ්
  • දෙවන ටෙස්ට් තරගය: ජුනි 14-18, කෙන්සින්ටන් ඕවල්, බාබඩෝස්
  • තෙවන ටෙස්ට් තරගය: ජුනි 23-27, ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණය, ශාන්ත ලුසියා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<