දෙවන ආසියානු 23න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය නිමා වුණේ පසුගිය 21 වැනිදා යි. මේ, ඉන් උගත් පාඩම් සහ වොලිබෝල් ක්‍රීඩාවේ ඉදිරිය කෙසේ විය යුතු දැයි විග්‍රහ කර ගැනීමට ThePapare.com අප දරන උත්සාහයකි.

කණ්ඩායම් 13ක් එක්වූ තරගාවලිය තුළ ඉහළටම නැගගත් ජපානයට ශූරතාවය හිමි වූ අතර ශ්‍රී ලංකාව, අවසන් ස්ථානය පමණක් ඉක්මවමින් 12 වැනි තැනට පත්විය.

“හෙළ” වොලිබෝලයේ පදනම

ශක්තිය, උස, වේගය සහ ජවය ඉහළින්ම අවශ්‍ය වන වොලිබෝල් ක්‍රීඩාව, උපතින්ම ශක්තිමත් ජාතීන් වන ඇමරිකානු, රුසියානු හෝ යුරෝපීය ජාතීන්ට ලියා දෙන ලද්දක් බව කිව හැකි අතරම මෙහි නිර්මාපකයා වන්නේ ද ඇමරිකානු ජාතිකයෙකි.

වේගය අතින් ලොව ඉදිරියෙන්ම සිටින මොන්ගලොයිඩ් වර්ගයේ මානවයන් (චීන, ජපාන, කොරියානු) මීට තම වේගය සහ ඉපිලීමේ හැකියාව උපයෝගී කර ගනිමින් වර්ණ එක්කරන අතර එය හඳුනා ගත් බොහෝ රටවල් මෙම ක්‍රීඩාව තමන් විසින් ප්‍රගුණ කළ යුත්තක් බව වෙන්කොට දැනගෙන ඊට තාක්ෂණික අංශයේ සහය ද ලබා ගනියි. ඊට හොඳම උදාහරණය වන්නේ ශීඝ්‍රයෙන් ආසියානු වොලිබෝල් පිටිය ආක්‍රමණය කරන තායිලන්තයයි. 90 දශකයේ දී ශ්‍රී ලංකාවෙන් බැට කෑ තායිලන්තය මෙම තරගාවලියේ දී අනුශූරතාවය දිනා ගැනීම එහි දී සිහිපත් වේ.

වේගය අතින් පමණක් ඉදිරියෙන් සිටින ලාංකික ජාතිය ඊට තම සිතීමේ හැකියාව එක්කරගත් බව නොවූයේ නම්, අද මෙරට වොලිබෝලය මෙවන් මට්ටමක හෝ තිබේ දැයි යන්න ප්‍රශ්නාර්ථයකි.  

50, ‘60 දශකවල දී ශ්‍රී ලංකාව නියෝජනය කළ “ආසියාවේ  දක්ෂතම ප්‍රහාරකයා” නම් වූ ගම්පහ සිරා (ඩබ්. එල්. සිරිවර්ධන) ගැනම පාරම්බෑම විනා, අප ලොව හෙල්ලිය හැකි නවක ප්‍රහාරකයන් නිෂ්පාදනය කොට ඇත්ද, එසේත් නැත්නම් දක්ෂයින් රැක බලාගෙන ඇත්ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම වටියි. අද ආසියාවේ පිරිමි වොලිබෝල් දැවැන්තයන් වන ඉරානය ද එදා ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව හා සම මට්ටමක සිටියේය. එය, හරියටම කිවහොත් වසර 2500කට එපිට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ගැන කියවන ශ්‍රී ලංකාවේ වර්තමානය වැනි ය.   

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් ක්‍රීඩාව වූවත් ලොව වොලිබෝල් ජනප්‍රිය අනෙකුත් රටවල් සමඟ සැසඳීමේ දී ශ්‍රී ලංකාව ඊට නිසිතැන ලබා දී ඇත්දැයි තර්ක කළ හැක. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ ජනප්‍රිය විය යුතුව තිබූ වොලිබෝල් ක්‍රීඩාව අද වන විට ජනප්‍රියව ඇත්තේ වයඹ සහ බස්නාහිර උතුර ප්‍රදේශයේත්, මුහුදුබඩ පළාත්වලත් පමණි. කොටින්ම තරග ආදායමක් පවා රහිතව ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවනුත්, වැටුප් රහිතව වොලිබෝලය රැක ගැනීමට වෙහෙසෙන ජ්‍යෙෂ්ඨයන්, පුහුණුකරුවන් සහ නිලධාරීන් කිහිප දෙනෙකුත් නොවන්නට මෙරට “ජාතික ක්‍රීඩාව” කොහි තිබෙන්නට තිබුණේ දැයි අපි නොදනිමු.

“දැන් බලන්න ඉරානය. ඔවුන් ලොකු ක්‍රීඩාංගණ හදලා, ප්‍රේක්ෂකයන්ට වොලිබෝල් ගැන ආදරයක් ඇතිකරවලා, ක්‍රීඩකයන්ට හොඳට ගෙවලා ඒක ජනප්‍රිය ක්‍රීඩාවක් කරලා තියෙනවා. ඒකයි එයාලා දියුණු වෙන්නේ. ක්‍රිකට් වගේම මේ ක්‍රීඩාව දියුණු කරන්න ඕනෙ නම් අපිත් ඒ වගේ ක්‍රීඩා ප්‍රතිරූප බිහි කරන්න ඕන.”

පිරිමි 23න් පහළ වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්න ජයසේකර මහතා කියා සිටියේ ද එවැන්නක්.

ලක් වොලිබෝල් ලලනාවන්ගේ මෑත අතීතය

ආසියානු වොලිබෝල් පිටියේ දී වැඩි දස්කම් පා ඇත්තේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම් වුවත් කාන්තා කණ්ඩායම් ද  සෑම විටකම ආසියානු මට්ටමේ ඉහළම කණ්ඩායම් 10 අතරේ රැඳීමට වග බලාගෙන ඇත. 2014 වසරේ කනිෂ්ඨ ආසියානු වොලිබෝල් ශූරතාවලියේ දී ආසියාවේ පළමු කණ්ඩායම් 8 අතර රැඳුණු ශ්‍රී ලංකා කාන්තාවන් 2016 වසරේ ඉන්දියාවේ දී පැවති සාග් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් ගෙනවිත් දී ඇත.

මෙවර කණ්ඩායමට තිලිණි වාසනාගේ නායකත්වය සහ තක්ෂිලා මධුරංගිගේ උපනායකත්වය හිමි වූ අතර ඊට සඳුනි දිනේෂිකා, අනුත්තරා සඳමාලි, විනෝදි කෞශල්‍යා, කවීෂා ලක්ෂානි, අනුරිෂා චතුනි, අමානි කෞශල්‍යා, රිද්මි සකුන්තලා, සචිනි චාරුකා, අප්සරා සෙව්මාලි, චමරි සංජුලා යන දක්ෂ ක්‍රීඩිකාවන් ද එක්විය.

ආසියානු කාන්තා 23න් පහළ වොලිබෝල් ශූරතාවය    

ඉතිහාසයේ දෙවන වරට පැවැත්වූ තරගාවලිය වෙනුවෙන් සත්කාරකත්වය දැරුවේ තායිලන්තයයි. නාකොන් රචසිමා හිදී පැවති තරගාවලිය තුළ ශ්‍රී ලංකා කාන්තාවන්ගේ පළමු අභියෝගය වූයේ චීන තායිපේ කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා චීන තායිපේ කාන්තා කණ්ඩායම අතර පසුගිය 13 වැනිදා පැවැත්වූ මූලික වටයේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වට 3-0ක් (25-15, 25-14, 25-10) ලෙස පරාජයට පත්විය. චීන තායිපේ, ආසියාව ජය ගත් තවත් වේගවත් කණ්ඩායමකි.

මීළඟ තරගය, ප්‍රබල කසකස්තානය හමුවේ වට 3 -0ක් (25-14, 25-08, 25-12) ලෙස පරාජය වූ ලක් වොලිබෝල් යෞවනියන්, ඕස්ට්‍රේලියාවට එරෙහිව 25-16, 25-23ක් වශයෙන් පළමු වට දෙක පරාජය වී 21-25ක් ලෙස තෙවන වටය ජය ගත්තේය. නමුත් සිව්වන වටය 25-14ක් වශයෙන් පරාජය වූ බැවින් 3-1ක් ලෙස එම තරගයේ ද පරාජයෙන්ම සෑහෙන්නට ඔවුන්ට සිදු විය.SLvs AUS

ගෘහස්ථ ක්‍රීඩාංගණයක දැඩි ශීත මධ්‍යයේ අපේ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කරන්න වුනේ පළමු වතාවට. මෙහේ දී (ශ්‍රී ලංකාවේ) කරන ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම එක්ක එහේදි ක්‍රීඩා කරන්න අමාරුයි. ඕස්ට්‍රේලියාවට ගහන්න අපට හැකියාව තිබුණා. එක වටයක් අපි ගැහුවට ලොකු සීතලක් යටතේ තමයි ක්‍රීඩා කරන්න වුණේ.” කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජානක ඉන්ද්‍රජිත් මහතා එසේ පැවසුවේය.

පසුව ශ්‍රී ලංකාව ජය ගත් එකම තරගය මැකාවූ රාජ්‍යයට එරෙහිව පැවැත්විණි. එහි දී ශ්‍රී ලංකාව ජය ගත්තේ 23-25ක්, 26-24ක්, 21-25ක්, 24-26ක් වශයෙන් වට 3-1ක් ලෙසයි.

පසුව ශ්‍රේණිගත කිරීමේ තරගයක දී නවසීලන්තය සමඟ තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර එය වට 3-1ක් ලෙස (25-16, 23-25, 20-25, 16-25) පරාජය වූ බැවින් ශ්‍රී ලංකා 23න් පහළ කාන්තාවන්ට හිමි වූයේ 12 වැනි ස්ථානයයි.

තරගාවලියෙන් පසු

කෙසේ වෙතත් දැන් එළඹී ඇත්තේ පශ්චාත් තරගාවලි විශ්ලේෂණයන් (Post tournament analysis) සිදු කළ යුතු කාලයයි. ක්‍රීඩිකාවන් උපරිම හොඳින් ක්‍රීඩා කළා ද?

“ජාතික කණ්ඩායමට එන්න ගොඩක් අමාරුයි. නමුත් එතෙන්ට ආවට පස්සේ හැමදේම ඉවරයි කියලා හිතන්න හොඳ නෑ. එතනින් පස්සේ මහන්සි වෙලා ක්‍රීඩා කරන්න ඕන. නමුත් වොලිබෝල් ක්‍රියාවලියේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි එක ක්‍රමයක් නැති එක.” ThePapare.com සමඟින් විශේෂයෙන් අදහස් දැක්වීමට එක්වූ සහාය පුහුණුකරු මොරිස් චමින්ද මෙසේ කී හේතුව අපි මෙසේ පැහැදිලි කර ගනිමු.

ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව, පාසල්, අන්තර් සමාජ සහ ජාතික මට්ටමේ දී එකම ක්‍රමවේදයක් අනුගමනය නොකරන්නකි. පාසල් පිටියේ දී එක් විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩිකාවක් හෝ ක්‍රීඩකයෙක් සමඟ තරග ජය ගන්නා අතර එවන් දක්ෂයන් කිහිප දෙනෙකු එක්කොට එක් තරගාවලියක් හෝ දෙකක් වෙනුවෙන් “අටවා ගන්නා” කණ්ඩායම් වලින් අන්තර් සමාජ කණ්ඩායම් නිර්මාණය වේ. නමුත් ජාතික සංචිතයක පුහුණුවීම් ලැබීම ඊට සම්පූර්ණයෙන්ම වෙනස් කාර්යයකි.

මොරිස් ද මීට උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ ඉරානය යි.

“බලන්න ඉරානය දිහා. ඔවුන් කනිෂ්ඨ සංචිතවල ඉඳන්ම පුහුණු වෙන්නේ එකම ක්‍රමයකට. එතකොට ජාතික සංචිතයේ දී එය ඔවුන්ගේ ඇඟටම කාවැදිලයි තියෙන්නේ. නමුත් අපේ ක්‍රීඩිකාවන්ට මාස 3කින් මේ හැමදේම කාවද්දන්න අමාරුයි.”

එය සත්‍යයකි. තරගාවලියක් සඳහා ඉලක්කගත කණ්ඩායමක් වසර එක හමාරක දෙකක සිට ඊට සැලසුම් සකස්කර ගනිමින් ක්‍රමවේදයන් නිර්මාණය කර ගත යුතුය. නමුත් අප රටේ දී සිදුවන්නේ ජාතික සංචිතය නියෝජනය කිරීමෙන් පසුව ක්‍රීඩිකාවන් නැවතත් අන්තර් සමාජ කරළියනම් වෙනස්ම තරග රටාවකට හැඩගැසීමයි.

“දැන් වොලිබෝල්වල මට්ටම ගොඩක් ඉහළ ගිහින් තියෙන්නේ. ඒක අපට තායිලන්තයෙන් පේනවා. ඉතින් පිටින් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ගෙනත් ලීග් තරගාවලියක් වගේ දෙයක් සංවිධානය කරන්න පුළුවන් නම් ඒක ක්‍රීඩාවට හොඳ දෙයක්. ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හොඳටම ප්‍රමාණවත්. එතකොට අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්දැකීම් ලැබේවි. දැන් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට යොදා ගන්නා ක්‍රමවේදයමයි තායිලන්තයේ වොලිබෝල්වලට තියෙන්නේ.” ප්‍රධාන පුහුණුකරු ජානක මහතා, අත්දැකීම් ලැබීමේ වැදගත්කම එසේ පැහැදිලි කළේය.

“සංචිතයේ හිටපු හැමෝම වගේ කලින් විදෙස් සංචාර වලට එකතු වුණු අය. ඉතින් ඒ ක්‍රීඩකයන් හොඳින් හිතට ගන්න ඕන ජාතික සංචිතය නියෝජනය කිරීමේ වැදගත්කම. නමුත් ඒක මදි. ඊළඟ දකුණු ආසියානු තරගාවලිය ගත්තොත් අපි ඒකට දැන් ඉඳන් ලෑස්ති වෙන්න ඕන. ඒකට තව තරගාවලි අවශ්‍යයි.  ක්‍රීඩිකාවන්ට විදෙස් කණ්ඩායම් එක්ක තරග අත්දැකීම් දෙන්න ඕන.” මොරිස් ද ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබා දීමේ වටිනාකම පැහැදිලි කළේය.

තරගාවලි වල අඩුකම, ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළන ගැටලුවක් බව. අපට පැහැදිලි ය. එමෙන්ම තාක්ෂණික මට්ටමෙන් විශ්ලේෂණාත්මක පද්ධතිය දියුණු කර ගැනීමේ වැදගත්කම ද මෙහිලා සිහිකරන්නෙමු. ඕස්ට්‍රේලියාව, ජපානය වැනි කණ්ඩායම් ප්‍රතිවාදීන්ට පහර දෙන්නේ විශ්ලේෂණ හැකියාව උපයෝගී කර ගනිමිනි.

අපට දිනන්න බැරි ද?  

දක්ෂතාවය අතින් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුපසින් සිටින්නේ යැයි ThePapare.com අපි කිසිසේත්ම නොසිතමු. එහෙත් ඔවුන්ට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටාපිටාව නිර්මාණය කර දීම බලධාරීන්ගේ වගකීමයි. අනෙකුත් කණ්ඩායම් අපේ රට අභිබවා යන්නේ එම අංශයෙනි.

“අපට හොඳ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ හොඳ පුහුණුකරුවන් ඉන්නවා. ඒ හැමෝම එකතු කරලා වැඩමුළුවක් වගේ දෙයක් තියලා එකම ඉලක්කයකට, එකම ක්‍රියාවලියකට ඔවුන්ව සූදානම් කළ යුතුයි.” මොරිස් චමින්ද ගෙන හැර දැක්වූයේ ඵලදායී සැලැස්මකි.Asian U23 Women’s Volleyball Championship

“දකුණු ආසියාව නම් අනිවාර්යයෙන් දිනන්න පුළුවන්. නමුත් තරග අත්දැකීම් මේ දරුවන්ට අවශ්‍යයි. වෙනස් ක්‍රීඩා පරිසරයන් යටතේ, වෙනස් උන්නතාංශයන් යටතේ ක්‍රීඩා කිරීමේ අත්දැකීම ඔවුන්ට ලබා දෙන්න ඕන. අපට තියෙන්නේ රූපවාහිනී තරගාවලිය, ඩයලොග් ජනාධිපති රන් කුසලානය, සමස්ත ලංකා වගේ සුළු තරගාවලි ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. කාන්තා වොලිබෝල් ක්‍රීඩාව ගොඩක් ඉදිරියට ගිහින්. ඉතින් අපි මේ වෙනස්කම් අපේ පද්ධතියට ඇතුළත් කර ගත යුතුයි.” ප්‍රධාන පුහුණුකරු ජානක ඉන්ද්‍රජිත් මහතා ද ආසියාව ජය ගැනීමේ පළමු පියවර තැබීමට සූදානම් ය.

වරෙක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආසියාවේ පස්වැනි ස්ථානය දිනා ගත්තේය. තවත් වරෙක අටවැනි ස්ථානය දිනා ගත්තේය. ඔවුන් ලබන සාමාන්‍ය පුහුණුවෙන් පවා ඔවුන්ට යමක් කළ හැකි බව ඔවුන් ඔප්පු කර ඇත. නමුත් මෙවර ආසියානු 23න් පහළ පිරිමි තරගාවලියේ දී 10 වැනි ස්ථානයත්, කාන්තා තරගාවලියේ දී 12 වැනි ස්ථානයත් අත්වීමෙන් පෙනීයන්නේ අප එකතැනක පල්වන අතර අනෙකුත් කණ්ඩායම් දියුණු තාක්ෂණික උපක්‍රම සමඟින් ඉදිරියට යන බවයි.

අපට ආසියාව ජය ගැනීමට හැකිය. පුහුණුකරුවන්, ක්‍රීඩකයන්, සම්පත් පුද්ගලයන් යන සියල්ලන්ම සූදානම් ය. අවශ්‍ය වන්නේ නිසි අයුරින් සකස්කරන ලද පැහැදිලි පද්ධතියක් පමණි. එය සකස්කරදීමට බොහෝකල් ගතකිරීමෙන් අනෙකුත් කණ්ඩායම් වලට තවත් අප පසුකර යන්නට ඉඩ දෙනවා ද, නැතහොත් අප ඒ හා සමානව සන්නද්ධ වනවා ද යන්න තීරණය කළ යුත්තේ බලධාරීන් ය.

  තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට