චලිත නවසීලන්තයත් ආක්‍රමණය කරයි

657
Chalitha Ranjana

මේ මස 5 වැනිදා සිට 15 වැනිදා දක්වා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ දී පැවැත්වෙන නවසීලන්ත විවෘත මේසපන්දු තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක K. S. T. චලිත රංජනට ආරාධනා ලැබ ඇත.

35 හැවිරිදි චලිතට ලැබුණ මේ අවස්ථාව මෙරට ක්‍රීඩකයෙකුට මෙම තරගාවලිය නියෝජනය කිරීමට ලද ප්‍රථම අවස්ථාව ද වන්නේය. එබැවින්ම ඉතා කාර්ය බහුල පුහුණුවීම් කාලසටහනක නිරත වන චලිතගේ වටිනා කාලයෙන් බිඳක් ගෙන ඔහුව හමුවීමෙන් පසුව ThePapare.Com තබන සටහනකි මේ.

තෙවන විනිසුරු තාක්ෂණය ලොවට දායාද කළ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රාඥයා

වසර ගණනාවක් පුරා මහත්වරුන්ගේ ක්‍රීඩාව විවිධ වෙනස්වීම් සහ දියුණු වීම් රැසකට භාජනය විය…

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් මේසපන්දු පිටියට පිවිසි චලිත රංජන 1997 වසරේ සිටම මේ දක්වා ශ්‍රී ලංකා මේසපන්දු ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේය. පාසල් ක්‍රීඩකයෙක් ලෙස 1999 වසරේ දී ජාතික කනිෂ්ඨ ශූරයා ලෙස ප්‍රථම වරට අභිෂේක ලබන චලිත, 2000 වසරේ දී  ප්‍රථම වරට ජාතික ශූරයා ලෙස අභිෂේක ලබන්නේය. මේසපන්දු පිටියේ ආක්‍රමණකාරී සටන්කාමියෙකු සේ හැඳින්වෙන චලිත නැවත 2003 වසරේ දී ජාතික කනිෂ්ඨ ශූරයා ලෙසත් සහ 2002, 2004 සහ 2009 වසරවල ජාතික ශූරයා ලෙසත් අභිෂේක ලබන්නේය.

චලිත විසින් දිනා ඇති පදක්කම් අතුරින් වඩාත් ඉහළින් ම කියවෙන දක්ෂතාව වන්නේ 2004 වසරේ දී මැලේසියාවේ දී පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ දී දිනා ගත් සහනදායී ඉසව්වේ ලෝකඩ පදක්කමයි. ඊට අමතරව එක් තරගාවලියක දී ක්‍රීඩකයෙක් ලබා ඇති වැඩිම පදක්කම් ප්‍රමාණය ලබා ගැනීමට චලිත සමත් වන්නේ ය. ඒ 2010 වසරේ බංග්ලාදේශයේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මේසපන්දු තරගාවලියේ දී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමයි.

චලිතගේ මේසපන්දු පැටිකිරියෙන් බිඳක් එසේ දිගහැරෙද්දී මේ අවස්ථාව ඔහු වෙත හිමි වන්නේ ජර්මනියේ දී නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී චලිත පෑ දක්ෂතාවන්ය. ඒ බැව් පවසන්නේ මෙම තරගාවලිය සඳහා චලිත වෙත ආරාධනා කරනු ලබන නවසීලන්තයේ ජාතික මේසපන්දු කණ්ඩායම නියෝජනය කරන රජිත සමරවීර ය.

රජිත සමරවීර යනු කලක් ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ මේසපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඔහු මේ වන විට නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන අතර එරට ශ්‍රේණිගත කිරීමේ 7 වැනි ස්ථානය හිමි ක්‍රීඩකයා ය.

“චලිතගේ සුවිශේෂී දක්ෂතා අප දුටුවේ ජර්මනියේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී. ඔහු එම තරගාවලියේ පළමු වටයේ දී ප්‍රතිවාදියෙක් පරාජය කරනවා. මේ දක්ෂතාව සුවිශේෂීයි. මේ නිසාම චලිතට හැකි වෙනවා ලෝක ශ්‍රේණිගත කිරීමේ ක්‍රීඩක ලැයිස්තුවේ ස්ථානයක් දිනා ගන්න. ශ්‍රී ලංකාවෙන් එම ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නේ චලිත. මේ නිසාත් ඔහුගේ පසුගිය කාලයේ දක්ෂතාත් සැලකිල්ලට ගනිමින් අප චලිතට ආරාධනා කළා මේ තරගාවලිය සහභාගී වෙන්න කියලා.” රජිත සමරවීර පැවැසුවේය.

නවසීලන්ත විවෘත මේසපන්දු තරගාවලියට රටවල් 24ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  සහභාගී වන බවකි පැවසෙන්නේය. මොවුන් අතර ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද වෙති. මේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නවසීලන්ත මේසපන්දු සංගමයේ අධි තාක්ෂණික කමිටුවක සුපරීක්ෂාකාරීත්වයකින් පසුව ආරාධනා ලැබූවෝය.

එසේ ආරාධනා ලැබූ චලිත රංජන මෙම තරගාවලියේ දී කණ්ඩායම් ඉසව්ව, විවෘත ඒකල ඉසව්ව, විවෘත යුගල සහ විවෘත මිශ්‍ර යුගල යන ඉසව්වන් ද වයස අවුරුදු 30න් ඉහළ කාණ්ඩයේ ඒකල, යුගල සහ මිශ්‍ර යුගල ඉසව්වන් ද නියෝජනය කිරීමට නියමිතය.

විවෘත යුගල ඉසව්වේ දී චලිතයේ සහායකයා වන්නේ නවසීලන්ත ක්‍රීඩක රජිත සමරවීර ය. වයස අවුරුදු 30න් ඉහළ යුගල ඉසව්වේ සහායකයා වන්නේ බල්ගේරියානු ජාතික වැඩ්මයර් ඉවනොවූ () ය. විවෘත මිශ්‍ර යුගල සහ වයස අවුරුදු 30න් ඉහළ ඉසව්වේ සහායිකාව වන්නේ චීන ක්‍රීඩිකා ගීනා ලියූ (Gina Liu) ය.   

“මට ලැබූ මේ අවස්ථාව ගැන තියෙන්නේ කිව නොහැකි තරමේ සංතෝෂයක්. මොකද මට මෙහිදි මගේ සහායකයන් සේ හමුවන්නේ විදෙස් ක්‍රීඩකයන්. මේ අත්දැකීම මා මීට පෙර ලබල නැහැ. ඒක අලුත් ම අත්දැකීමක්. ඒ වගේ ම මේ තරගාවලිය ඉතා ඉහළ තරගකාරීත්වයකින් යුත් තරගාවලියක් ලෙසයි සැලකෙන්නේ. මේ තරගාවලියේ දී මම මගේ උපරිමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.” චලිත රංජන පැවැසුවේය.

මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් අතුරින් ඇතැම් ඉසව්වලින් චලිත 2 වැනි සහ 5 වැනි ස්ථානවල ස්ථාපිත කර තිබෙන බවක් ද පැවැසෙනවා.

“විවෘත යුගල ඉසව්වේ මා සිටින්නේ පළමු 5 දෙනා අතර. එම ඉසව්වට මම සහභාගී වෙන්නේ රජිත සමරවීර සමඟ. ඔහු සමඟ මෙරට දී මීට පෙර ක්‍රීඩා කර තිබුණත් දැනට වසර කිහිපයකින් අප හමුවෙලා නැහැ. ඒ වුනත් නවසීලන්ත ශ්‍රේණිගත කිරීමේ 7 වැනි ක්‍රීඩකයා ලෙස ඔහුත් සමඟ එක් වී මෙම ඉසව්ව නියෝජනය කිරීමට ලැබීම වාසනාවක්. ඒ වගේම වයස අවුරුදු 30න් ඉහළ යුගල ඉසව්වේ මට හිමිවෙලා තිබෙන්නේ දෙවැනි ස්ථානය. එහි දී මම තරගයට සහභාගී වෙන්නේ බල්ගේරියානු ක්‍රීඩකයා සමඟ. ඔහු මට මෙතෙක් හමුවී නැහැ. නමුත් මෙම තරගාවලියට මීට පෙර වසරවලදීත් ඔහු සහභාගී වෙලා අත්දැකීම් ලබලා තිබෙනවා. මම විශ්වාස කරනවා ඔවුන්ගේ උපරිම සහයෝගය මට ලැබෙයි කියලා. ඒ අනුව ඔවුන් සමග එක් වී තරගාවලියේ සුවිශේෂී යමක් කිරීමයි මගේ බලාපොරොත්තුව.”  චලිතට ඇත්තේ එවන් විශ්වාසයකි.

තරගාවලියේ චලිත සහභාගී වන අනෙකුත් ඉසව්ව වන්නේ මිශ්‍ර යුගල ඉසව්වයි. එම ඉසව්වේ දී චීන ක්‍රීඩිකාවක හා එක්ව තරග වැදීමට ලැබීම ද චලිත දකින්නේ තමන් වෙත ලැබූ ඉතා අනගි අවස්ථාවක් ලෙසයි.

“මිශ්‍ර යුගල ඉසව්වේ දී චීන ක්‍රීඩිකාවක හා එක්ව තරග වැදීමට ලැබීම කලාතුරකින් කෙනෙක්ට ලැබෙන අවස්ථාවක්. මේසපන්දු ක්‍රීඩාවේ දී ජාත්‍යන්තර තලයේ ඉහළ දක්ෂතා දක්වන රටවල් අතුරින් චීනයට හිමිවෙලා තිබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඉතිං ඒ වගේ රටක තරග අත්දැකීම් ඇති ක්‍රීඩිකාවකගෙන් මට ලබා ගත හැකි දේ බොහොමයක් තිබෙනවා. මම විශ්වාස කරනවා මේ තරගාවලියේ තරගකාරීත්වයට වඩා මේ තරගවලට සහභාගීත්වයෙන්ම වූවත් අපේ වගේ රටක ක්‍රීඩකයෙක්ට ලබා ගත හැකි අත්දැකීම් වටිනවා කියලා. ඒ නිසාම රජිත සමරවීරට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් අපේ රටට ලබා දීම සම්බන්ධයෙන්.” චලිත අප සම්මුඛව පැවැසුවේ ය.

සුවිශේෂී තරගාවලියක, සුවිශේෂී අත්දැකීම් ද සමඟින් අප රට නියෝජනය කිරීමට තවත් වරක් වරම් ලැබූ චලිත රංජනයට සුබ පැතුම් එක් කරමින් ThePapare.Com චලිතගෙන් සමුගත්තේ ඔහු නැවත තම පුහුණුවීම්වලට යොමු වෙද්දී ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<