පිහිනන්නටත් කලින් ඉතිහාසය අලුත් කළ අකලංක

198

අද (18) උදෑසන ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සූදානම් වුණේ 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය සඳහායි. මේ අතර ශ්‍රී ලංකාවේ උසස් පෙළ සිසු සිසුවියන් දහස් ගණනින් විභාග මධ්‍යස්ථාන වෙත ඇදෙමින් සිටියා.

කෙසේ වෙතත් මෙම සුවිශේෂී සිදුවීම් දෙකටම සම්බන්ධයක් ඇති විශේෂ පුද්ගලයෙක් අද උදෑසන පිය නැගුවේ ජකර්තා නුවර පිහිටි ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතයි.

ඔහු අන් කිසිවෙක් නොව, පාසලෙන් පිට වීමටත් පෙර ශ්‍රී ලංකා වාර්තා තුනක් වෙත සිය දිගු අත පය යොදා පිහිනා ගිය අකලංක පීරිස් නම් පිහිනුම් ක්‍රීඩකයායි.

ආසියානු ක්‍රීඩා උළෙල 2018 චාරිකා සටහන 01

ආසියාවේ මහා ක්‍රීඩා මංගල්‍යය අද (18) ආරම්භ වන්නේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර Gelora Bung Karno දැවැන්ත…

පසුපස ආර මීටර් 50 සහ 100 මෙන්ම මීටර් 50 සමනල ආර ඉසව්වේ ද ජාතික වාර්තාවලට හිමිකම් කියන ඔහුට මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සිහිනයක් පමණක් බවට පත් වන තත්ත්වයක් මතුව තිබුණේ සිය ජීවිතයේ ප්‍රධාන කඩඉමක් වන අ. පො. ස. උසස් පෙළ විභාගය ද එම කාල සීමාව තුළ දී ම යෙදී තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් ජාතික ඔලිම්පික් කමිටුවේ මැදහත් වීම මත අධ්‍යාපන බලධාරීන් වෙත යොමු වූ මෙම ගැටලුවට විසඳුමක් ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා දක්වා විවිධ  නිලධාරීන් සම්බන්ධ වූ අතර අවසන් ප්‍රතිඵලය ලෙස ඓතිහාසික අවස්ථාවක් හිමි විය.

ඒ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයකට විදෙස් රටක සිට පිළිතුරු සැපයීමේ අවස්ථාව හිමි වීමයි.

මේ සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ජාතික විභාග සහ පුනරීක්ෂණ සේවාවේ ඉහළම නිලධාරීන් දෙදෙනෙක් ඉන්දුනීසියාවට පිටත් කර එවන්නට අධ්‍යාපන බලධාරීන් කටයුතු කර තිබුණි.

ඔවුන් ශ්‍රී ලංකාවේ සිට ගෙනවිත් ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂිත සේප්පුවක් තුළ සුරැකිව තැන්පත් කර තිබූ ප්‍රශ්න පත්‍ර අතරින් අද දිනට නියමිත සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය ශ්‍රී ලංකාවේ විභාගය ආරම්භ වූ උදෑසන 8.30 නොහොත් ඉන්දුනීසියානු වේලාවෙන් උදෑසන 10.00ට අකලංක අතට පත් වුණේ ඔහු වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කළ විභාග ශාලාවක් තුළ දීයි.

මෙම අවස්ථාවට ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති දර්ශන එම්. පෙරේරා මහතා සහ ජාතික ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ද එක්ව සිටීම කැපී පෙනුණි.

අකලංක අනිද්දා (20) උදෑසන සිය පළමු ඉසව්ව සඳහා තරග වැදීමට නියමිත අතර එදිනම පස්වරුවේ තානාපති කාර්යාලයේ දී සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට ද පිළිතුරු ලිවීමට නියමිතයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<