මහනුවර කිංස්වුඩ් විද්‍යාලය ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරග මාලාවේ දෙවන අදියරේ පාසල් කොටසේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය. මෙහි දී ඔවුන් හමුවේ ලකුණු 7 – 5ක් ලෙස පරාජය වූයේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයයි.

සාන්ත ජෝසප් විද්‍යාලයට ඔවුන්ගේ රග්බි ඉතිහාසයේ වැදගත්ම අවුරුද්ද මෙය ලෙස දැක්විය හැකිය. ඔවුන් තවත් වරක් ප්‍රමුඛ පෙලේ රග්බි තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර මෙවර ඔවුන්ගේ වයස අවුරුදු 16න් පහළ කණ්ඩායම එම දස්කම දැක්වීය.

මොබිටෙල් ඊගල්ස් ශූරතාවය ඩැහැ ගනී

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරග මාලාවේ කොළඹ අදියරේ තරග ඊයේ සහ පෙරේදා (16 සහ 17) දිනයන් හි දී කොළඹ…

ඔවුන් තම අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ දී ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ලකුණු 12-5ක් ලෙස පරාජය කළ අතර අවසන් පූර්ව වටයේ දී වෙස්ලි විද්‍යාලය ලකුණු 29 – 7ක් ලෙස පරාජය කළහ. කිංස්වුඩ් විද්‍යාලය ද තම අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ දී කොළඹ ඉසිපතන විද්‍යාලය ලකුණු 29-05ක් ලෙස පරාජය කළ අතර අවසන් පූර්ව වටයේ දී ප්‍රබල සාන්ත පීතර කණ්ඩායම ලකුණු 15-12ක් ලෙස පරාජය කරන ලදි.

අවසන් මහා තරගය අන්තිම තත්පරය දක්වා ක්‍රියාත්මක වූ බව කීම නිවැරදිය. සාන්ත ජෝසප් කණ්ඩායමේ සුදාරක දේවප්‍රිය ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. තරගය අතිශය තියුණු මුහුණුවරක් ගත් නමුත් දෙපිලේම පන්දු පාලනයේ දුර්වලතා හේතුවෙන් ප්‍රථම අර්ධයේ කණ්ඩායම් දෙකටම ඉන් පසු ලකුණු ලබා ගැනීමට නොහැකි විය.

එසේ ප්‍රථම අර්ධය ලකුණු 5-0ක් ලෙස සාන්ත ජෝසප් විද්‍යාලය පෙරමුණේ පසු විය. දෙවන අර්ධය ද ඊට නොදෙවනි තියුණු මුහුණුවරක් ගත්තේය. සාන්ත ජෝසප් කණ්ඩායම ආරක්ෂාකාරී ක්‍රීඩා පිළිවෙතක් අනුගමනය කරනු දක්නට ලැබුණු අතර කිංස්වුඩ් කණ්ඩායම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් අනුගමනය කළේය. කෙසේ වෙතත් දක්ෂිණ අතුකෝරලගේ අගනා උත්සාහක දිනුම හේතුවෙන් කිංස්වුඩ් කණ්ඩායම තරගයේ පෙරමුණට පැමිණියේය.

කෙසේ වෙතත් විනිසුරු ආකිල් ජමල්ඩීන් මහතා කිංස්වුඩ් ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් ලබා දුන් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයන් දැඩි උත්සාහයක නිරත විය. නමුත් කිංස්වුඩ් විද්‍යාලය ඉතාමත් හොඳින් තම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කරමින් තරගයේ ජයග්‍රහණය ලබා ගන්නා ලදි.

අවසන් ලකුණු තත්ත්වය: කිංස්වුඩ් විද්‍යාලය 07-05 සාන්ත ජෝසප් විද්‍යාලය

පලිහ සඳහා අවසන් තරගය

සාන්ත අන්තෝනි විද්‍යාලය සහ සහිරා විද්‍යාලය

මෙම තරගය අපේක්ෂා කළ මට්ටමේ තියුණු තරගයක් නොවූ අතර කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයීය කණ්ඩායම තරගය පුරාම තම අණසක ක්‍රියාත්මක කිරීමට සමත් විය. ප්‍රථම අර්ධය තුල දී ලකුණු 26ක් ලබා ගත් ඔවුන් ප්‍රතිවාදී සහිරා විද්‍යාලයට එම අර්ධය තුල කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩ නොදුනි. දෙවන අර්ධය තුල දී සහිරා ක්‍රීඩකයන් අන්තෝනි විද්‍යාලයේ ලකුණු පුවරුව අඩාල කිරීමට සමත් වූ අතර උත්සාහක දිනුමක් ලබා ගැනීමට ද සමත් විය. කෙසේ වෙතත් සහිරා ක්‍රීඩකයින් එම තරගයේ දැක්වූ දක්ෂතා ප්‍රබල සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය.

අවසන් ලකුණු තත්ත්වය: සාන්ත අන්තෝනි විද්‍යාලය 33-07 සහිරා විද්‍යාලය

බඳුන සඳහා වන අවසන් තරගය

ඉසිපතන විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය

විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම තරගයට පිවිසියේ දැඩි ආක්‍රමණකාරී ස්වභාවයකිනි. විද්‍යා විද්‍යාලයට තරගයේ අවාසිසහගත තත්ත්වයක් උදා කරමින් 2වන මිනිත්තුවේ දී විනිසුරුවරයා ඔවුන්ගේ ක්‍රීඩකයෙකුට කහ කාඩ් පතක් ලබා දුනි.

කෙසේ නමුත් ප්‍රතිවාදී එක් ක්‍රීඩකයෙකු අඩු වීමෙන් ප්‍රයෝජනය ගැනීමට ඉසිපතන විද්‍යාලයට නොහැකි විය. විද්‍යා විද්‍යාලය ඉසිපතනයට වඩා ප්‍රබල ලෙස ක්‍රීඩා කළ අතර එහි දී ඔවුන් උත්සාහක දිනුම් දෙකක් ලබා ගත්ත ද ඉසිපතනයට ප්‍රථම අර්ධය තුල ලබා ගත හැකි වූයේ එක් උත්සාහක දිනුමක් පමණි.

ඉසිපතන විද්‍යාලය දෙවන අර්ධයේ දී මනා සංවිධානාත්මක ක්‍රීඩා රටාවකට එළඹි අතර ඒ අවසරයෙන් අගනා උත්සාහක දිනුමක් සමඟ ලකුණු තත්ත්වය සමකිරීමට ද සමත් විය. එතැන් පටන් දෙපිලම ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ අතර විද්‍යා විද්‍යාලය අවසන් මිනිත්තුවේ දී ලබා ගත් උත්සාහක දිනුමත් සමඟ එම ශූරතාව ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සතු විය.

අවසන් ලකුණු තත්ත්වය: ඉසිපතන විද්‍යාලය 12 – 19 විද්‍යා විද්‍යාලය

පලඟ ශූරතාවය සඳහා අවසන් තරගය

සාන්ත පීතර විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

මෙම තරගය ද උණුසුම් තරගයක් වේ යැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූ නමුත් වෙස්ලි ක්‍රීඩකයන් සම්පූර්ණයෙන් තම අණසකට නතු කර ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් විය.

ප්‍රථම අර්ධය ආරම්භයේ දී ම වෙස්ලි විද්‍යාලයේ එරන්ද හර්ෂණ හට කහ කාඩ්පතක් ලැබීම හේතුවෙන් වෙස්ලි කණ්ඩායම දැඩි අසීරු තත්ත්වයකට මුහුණ දුනි. එම අවසරයෙන් අශෙල් රණසිංහ විසින් සාන්ත පීතර කණ්ඩායමට ප්‍රථම උත්සාහක දිනුම ලබා දෙන ලදි.

එරන්ද හර්ෂන් හට නැවත වරක් කහ කාඩ්පතක් ලැබීම හේතුවෙන් වෙස්ලි කණ්ඩායම නැවත වරක් සාන්ත පීතර කණ්ඩායමේ ගොදුරක් බවට පත් වන සෙයක් දක්නට ලැබිනි. ඒ අවසරයෙන් සාන්ත පීතර කණ්ඩායම තවත් ප්‍රවර්තනය කරන ලද උත්සාහක දිනුමක් ලබා ගන්නා ලදි.

දෙවන අර්ධයේ දී තවත් ලකුණු 22ක් එක් කර ගැනීමට සාන්ත පීතර කණ්ඩායමට හැකි විය. ඒ චන්දිම සඳරුවන්, ස්ටෙලෝන් අර්ඩ්ලි හා චරිත් සසික මඟිනි. වෙස්ලි විද්‍යාලය අවමානයෙන් ගැලවීම සඳහා දැඩි සටනක් දුන් අතර එම නිසා එක් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ඔවුන් සමත් විය.

අවසන් ලකුණු තත්ත්වය: සාන්ත පීතර විද්‍යාලය 36-05 වෙස්ලි විද්‍යාලය

  >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට <<