ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලියට ඩයලොග් සවි බලය

394

පළමු වරට සංවිධාන කෙරෙන ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියට සවි බලය සැපයීමට, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා ප්‍රවර්ධක ආයතනය වන ඩයලොග් ආසිආටා සමාගම ඉදිරිපත් වී සිටියි. මෙම තරගාවලිය අගෝස්තු 5 වැනිදා කොළඹ තුරග තරග පිටියේදී  ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මගින් සංවිධාන කෙරෙන ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සහ, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වී ඇත.

2014 වසරේ සිට අක්‍රීයව ඇති කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලියේ අඩුව පිරවීමට සමත් මේ ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ සමාරම්භය සනිටුහන් කිරීම සඳහා ඊයේ පැවති උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

මම දන්නවා ගරු දයාසිරි ජයසේකර අමතිතුමා මේ රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට දැඩි කැපවීමක් කරන බව. මෙරට රග්බි ක්‍රීඩාවට ඉතා දිගු ඉතිහාසයක් මෙන්ම ඉතා පොහොසත් සංස්කෘතික පසුබිමක්ද හිමියි. අපි උත්සාහ කරන්නේ අතීතයේ තිබු තත්ත්වය නැවත ගොඩනගන්නයි.

මෙය මෙරට රග්බි ක්‍රීඩාවට ඉතා හොඳ කාලයක් වෙයි. මේ තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයන් 100 දෙනෙක් පමණ ඇතුලත් වනවා. එය අපේ රටේ යොවුන් ක්‍රීඩකයන්ට ලැබෙන ඉතා හොඳ අවස්තාවක් වෙයි.

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. පළමු අදියර අගෝස්තු 5 – 6 දිනවලදී කොළඹ තුරග තරග ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර, දෙවන අදියර එම ක්‍රීඩාංගනයේදීම පැවැත්වෙන්නේ අගෝස්තු 12 සහ 13 දිනවලදීයි.

කාල්ටන් සුපර් සෙවන්ස් තරගාවලිය මෙන්ම මෙම තරගාවලියත් විවිධ සමාගම් විසින් හිමිකාරීත්වය දරන (Franchise) කණ්ඩායම් හරහා ක්‍රියාත්මක වෙයි. මේ වසරේ පැවැත්වෙන පළමු ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 08කි. එම කණ්ඩායම් වලට විදෙස් ක්‍රීඩකයන්ද සහභාගී කර ගැනීමේ අවස්තාව පවතින බැවින් මේ තරගාවලිය වඩාත් තරගකාරී සහ වර්ණවත් වනු ඇත.

මේ අවස්ථාවට පැමිණ සිටි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මෙම තරගාවලිය නීති විරෝධී සහ විනය විරෝධී ක්‍රියා වලින් තොරව සහ ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරගනිමින් පැවැත්වෙනු දැකීම තම ඒකායන බලාපොරොත්තුව බවයි.

හරීන් ප්‍රනාන්දු සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ගේ සහයත් මේ තරගාවලිය සංවිධාන කිරීමේදී විශාල ශක්තියක් වුනා. අපි තුන්දෙනා මේ පිලිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අපිට අවශ්‍ය වුණේ මේ තරගාවලිය ඉතාම සාර්ථකව කිසිවෙකුගේ චෝදනාවකට ලක් නොවී අවසන් කිරීමටයි. එම නිසා තමයි අපි මේ තරගාවලිය සඳහා රටේ පිළිගත් ආයතන සම්බන්ධ කර ගත්තේ. තරගාවලියේ සෑම ගනුදෙනුවක්ම සිදුවන්නේ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය හරහායි.

මෙවර ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියට සහභාගී වන කණ්ඩායම් මෙසේයි.

1. කාර්ගිල්ස් ග්ලැඩියේටර්ස් (Cargills Gladiators)
2.ඇක්සෙස් කිංග්ස් (Access Kings)
3.වෝකර්ස් CML වයිපර්ස් (Walkers CML Vipers)
4.මොබිටෙල් ඊගල්ස් (Mobitel Eagles)
5. ජස්ට් ඉන් ටයිම් ඩ්‍රැගන්ස් (Just in Time Dragons)
6. සොෆ්ට්ලොජික් වොරියර්ස් (Softlogic Warriors)
7. EZY වුල්ෆ්ස් (EZY Wolves)
8. එටිසලාට් පැන්තර්ස් (Etisalat Panthers)

තරගාවලි සංවිධාන කමිටුවේ ප්‍රධානී සහ රග්බි සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න මහතා තරගාවලිය පැවැත්වෙන ආකාරය විස්තර කරමින් පැවසුවේ අදියර දෙකේම පළමු දිනයේ තරග ලීග් ක්‍රමයට පැවැත්වෙන බවයි. ඒ අනුව කණ්ඩායම් 4 බැගින් වූ කාණ්ඩ (POOLS) දෙකකට වර්ග කෙරෙන කණ්ඩායම්, පළමු දිනයේදී තම කාණ්ඩයේ සියලුම කණ්ඩායම් සමග (Round Robin) තරග වැදීය යුතු වෙයි.

පළමු දිනයේ ප්‍රතිඵල අනුව කණ්ඩායම් 8 කුසලාන (Cup), පළඟ (Plate) සහ පළිහ (Shield) ශූරතා සඳහා වර්ගීකරණය කෙරෙනු ලබයි. එම තරග ප්‍රතිඵල අනුව ප්‍රසාද ලකුණු පිරිනැමෙන අතර, දෙවන අදියර සඳහා කණ්ඩායම් කාණ්ඩ ගත කෙරෙන්නේ පළමු වටයේ ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුවයි.

දෙවන වටයේ තරගත් පළමු වටයේ තරග පැවැත්වෙන ආකාරයටම ක්‍රියාත්මක වීමෙන් පසු අදියර දෙකේම ප්‍රසාද ලකුණු එකතුව අනුව ඉහලින්ම සිටින කණ්ඩායම ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි ශූරයන් ලෙස අභිෂේක ලබනු ඇත.

මෙම තරගාවලියට සමගාමීව වයස අවුරුදු 18න් පහල පාසල් සත් සාමාජික රග්බි තරගාවලියක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. ප්‍රධාන තරගාවලිය පැවැත්වෙන දින වලදී එම ක්‍රීඩාංගනයේම පැවැත්වෙන මෙම පාසල් තරගාවලියටද, ප්‍රධාන තරගාවලියේ නීති රීති අදාළ වනු ඇති. ඊට එක්වන පාසල් සංඛ්‍යාව 08ක්.

1. ශා. තෝමස් විද්‍යාලය – ගල්කිස්ස
2. ඩී.එස්. සේනානායක විද්‍යාලය – කොළඹ
3. ශා. ජෝසප් විද්‍යාලය – මරදාන
4. සහිරා විද්‍යාලය – කොළඹ
5. ශා. පීතර විද්‍යාලය – බම්බලපිටිය
6. ශා. අන්තෝනි විද්‍යාලය – කටුගස්තොට
7. ඉසිපතන විද්‍යාලය – කොළඹ
8. වෙස්ලි විද්‍යාලය – කොළඹ.

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පවසන්නේ ශ්‍රී ලංකාවට සත් සාමාජික රග්බි ක්ෂේත්‍රයේ තවත් ඉහලට යාම සඳහා මෙම සුපර් සෙවන්ස් තරගාවලිය මහඟු අවස්තාවක් වනු ඇති බවයි.

සුපර් සෙවන්ස් රග්බි තරගාවලි හේතුවෙන් ජාත්‍යන්තර සත් සාමාජික රග්බි කරලියේ අපේ දස්කම් සැලකිය යුතු මට්ටමින් වර්ධනය වුනා. මම බලාපොරොත්තු වෙනවා මේ තරගාවලියෙන් ලැබෙන අත්දැකීම්ද සමග ආසියානු තරගාවලියෙන් ලෝක ශූරතා සත් සාමාජික තරගාවලි මට්ටමට යන්නට අපේ ක්‍රීඩකයන්ට හැකි වෙයි කියලා.”

සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් පැවසුවේ රග්බි ක්‍රීඩාවේ අනාගතය සුභදායී වීමට නම් පාසල් සහ ජාතික රග්බි සංගම් එක් අරමුණක් ඇතිව කටයුතු කල යුතු බවයි.

අපි එක්ව කටයුතු නොකළහොත් අපිට ඉදිරි ගමනක් නැහැ, අපිට කිසිදු ඉලක්කයක් සපුරා ගැනීමට හැකිවන්නේද නැහැ.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සිදු කරන්නේ තරගාවලි කිහිපයක් සංවිධාන කිරීම පමණක් නම්, රටේ රග්බි ක්‍රීඩාවට අනාගතයක් නැහැ. එමනිසා අපි අනිවාර්යයෙන්ම එක්ව කටයුතු කළ යුතුයි.

බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ සති දෙකකටත් අඩු කාලයක් පමණයි. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (23) පැවැත්වීමට නියමිතයි. එම ක්‍රීඩක වෙන්දේසියෙන් පසු තරගාවලියට එක්වන සංචිත ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට