ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් කිරුළ කා හට ද?

793
Sri Lanka super 7s 2nd leg day 1

ශ්‍රී  ලංකා සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරග මාලාවේ කොළඹ අදියරේ තරග ආරම්භ වීමත් සමඟ පසුගිය සතියේ මහනුවර අදියරේ පෙරමුණේ පසු වූ කණ්ඩායම්වලට මෙම අදියරේ දී තම ස්ථානය ආරක්ෂා කර ගැනීමට දැඩි ප්‍රයත්නයක් යෙදීමට සිදුවනු දක්නට ලැබුණි.

මහනුවර අදියරේ ජය පසුගිය වසරේ ශූර මොබිටෙල් ඊගල්ස්ට

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් හිටපු ශූරයන් ලෙස මෙවර තරගාවලියට එක්වූ මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම…

එතරම් උණුසුම් ස්වභාවයක් ගත් මෙම තරගාවලියේ දී වෙළඳ අනුග්‍රාහක භවතුන්ගේ කණ්ඩායම් මෙන්ම පාසල් කණ්ඩායම් ද ඉතා උද්වේගකාරී ලෙස තරග වදිනු දක්නට ලැබුණි. මෙම තරගාවලිය දින දෙකක් පුරාවට කොළඹ පැරණි තුරඟ තරග පිටියේ දී පැවැත්වෙනු ඇති.  

මෙම තරගාවලියේ ඇති විශේෂතම කරුණ නම් මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අනෙකුත් රග්බි තරගාවලින් වෙනස් ව, ක්‍රීඩාව නව මානයකට ගෙන යන තරගාවලියක් වීමයි. විශේෂයෙන් ම ඉතාමත් උත්සවශ්‍රියෙන් පැවැත්වෙන මෙම තරගාවලිය තුල වෙළඳ අනුග්‍රාහකයින්ගේ කණ්ඩායම් 8ක් හා පාසල් කණ්ඩායම් 8ක් ලෙස කාණ්ඩ ගත කර තිබූ අතර තවද කාන්තා කණ්ඩායම් 4ක් ද ක්‍රීඩා පිටිය පුරාවට තම දස්කම් දක්වමින් ක්‍රීඩාව ප්‍රිය කරන ක්‍රීඩාලෝලීන්ට ඉතාමත් හොඳ තරග දැක ගැනීමේ අවස්ථාව ලබා දුනි.

මෙම තරගාවලිය සඳහා දේශීය මට්ට්මේ සුපිරි ක්‍රීඩකයින් මෙන්ම අත්දැකීම් බහුල විදෙස් ජාත්‍යන්තර ක්‍රීඩකයින් ද සහභාගී විය. එහි මා දකින විශේෂතම සුබ සලකුණ නම් දේශීය ක්‍රීඩකයන් සංවර්ධනය වීමයි. එහි දී පාසල් කණ්ඩායම්වල මෙම තරගවාරයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ  ක්‍රීඩකයන් ද එක් කොට තිබීම තුල අඩු වයසින් ක්‍රීඩාවේ ඉහළ තලයකට යාමට ඔවුන්ට මග පෑදෙනු ඇති.

තරගාවලියේ ප්‍රධාන කොටස කණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වූ අතර එහි දී A කාණ්ඩය යටතේ පසුගිය වසරේ ශූරයන් මෙන්ම පසුගිය සතියේ මහනුවර අදියරේ ද ජයග්‍රහණය වාර්තා කළ මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම තරග වැදුණු අතර ඔවුන් සමඟ වෝකර්ස් CML වයිපර්ස්, EZY  වුල්ව්ස් සහ කාර්ගිල්ස් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් තරග වැදිනි.

>> ඡායාරූප ඇල්බමය <<

එමෙන්ම පසුගිය මහනුවර අදියරේ අනු ශූරයන් වූ සොෆ්ට්ලොජික් වොරියර්ස්, ඇක්සස් කින්ග්ස්, KBSL ඩ්‍රැගන්ස් සහ එටිසලාට් පැන්තර්ස් කණ්ඩායම් B කොටස යටතේ තරග වැදිනි. මෙම සියලු තරගවල විශේෂත්වය වනුයේ ඔබට බොහෝ දුරට තරග ආරම්භයේ දී තරගයේ ප්‍රතිඵලය කිව නොහැකි තරමට ඉහළ මට්ටමක දස්කම් දක්වමින් කණ්ඩායම් සියල්ල උරෙනුර ගැටෙනු දක්නට ලැබීමයි.

A කාණ්ඩයේ කාගේත් අවධානය දිනා ගත් මොබිටෙල් ඊගල්ස් කණ්ඩායමට ප්‍රථම දිනය තුල එතරම් හොඳ ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර ඔවුන් ක්‍රීඩා කළ තරග 3න් 2ක් ම පරාජය වීම කැපී පෙනිනි. කෙසේ වෙතත් ඔවුන් හමුවේ පරාජයට පත් වූ EZY වුල්ව්ස් කණ්ඩායම A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය. එම කාණ්ඩයේ දෙවන ස්ථානය වෝකර්ස් CML වයිපර්ස් කණ්ඩායම හිමි කර ගත් අතර තුන් වැනි හා සිව් වැනි ස්ථාන පිළිවෙළින් මොබිටෙල් ඊගල්ස් හා කාර්ගිල්ස් ග්ලැඩියේටර්ස් කණ්ඩායම්වලට හිමි විය.

B කාණ්ඩයේ ද එම ආකාරයේම තරග රටාවක් ක්‍රියාත්මක වූ අතර සොෆ්ට්ලොජික් වොරියර්ස් කණ්ඩායම ද තම ප්‍රථම තරග දෙකම පරාජය වීම කැපී පෙනෙන සිදුවීමක් විය. කෙසේ නමුත් දිනයේ තම අවසන් තරගයේ දී එතෙක් අපරාජිතව සිටි ඇක්සස් කින්ග්ස් කණ්ඩායම ලකුණු 24-12ක් ලෙස පරාජය කරමින් ඔවුන් තවමත් බලවත් කණ්ඩායමක් බව පෙන්වීමට සමත් විය. B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඇක්සස් කින්ග්ස් කණ්ඩායම සමත් වූ අතර 2 වන ස්ථානය KBSL ඩ්‍රැගන්ස් කණ්ඩායමට හිමි විය. එම කාණ්ඩයේ තුන්වැනි හා සිව් වැනි ස්ථාන පිළිවෙළින් එටිසලාට් පැන්තර්ස් හා සොෆ්ට්ලොජික් වොරියර්ස් කණ්ඩායම්වලට හිමි විය.

කාන්තා කණ්ඩායම් අතර පෙරමුණ ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර 2 වන ස්ථානය යුද හමුදාවට හිමි විය. 3 වැනි හා 4වැනි ස්ථාන පිළිවෙළින් ගුවන් හමුදාවට සහ CR & FC කණ්ඩායම්වලට හිමි විය.

පාසල් අංශයේ තරග ද ඉතා උණුසුම්කාරී වූ අතර ඉතා විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ නම් මේ සඳහා වයස අවුරුදු 16න් පහළ ක්‍රීඩකයන් සහභාගී වනු දක්නට ලැබීමයි. මෙහි දී ඉතා විශිෂ්ට ලෙස ක්‍රීඩා කරනු දැකිය හැකි පාසල් ක්‍රීඩකයන් රැසක් දක්නට ලැබුණු අතර ක්‍රීඩාවේ අනාගතයට එය සුබදායක වනු ඇත. කෙසේ වෙතත් පසුගිය අදියරේ දී ජයග්‍රහණය වාර්තා කළ විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම මෙම අදියරේ දී යම් කිසි පසුබෑමකට ලක් ව ඇති බවක් පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත් සාන්ත ජෝසප් හා කිංග්ස්වුඩ් කණ්ඩායම් ඉහළ දස්කම් දක්වමින් ප්‍රථම දිනය තුල අපරාජිතව රැඳී සිටීමට සමත් විය.

කිංස්වුඩ් විද්‍යාලය ලකුණු 33-07ක් ලෙස වෙස්ලි විද්‍යාලයත්, 31-07ක් ලෙස විද්‍යා විද්‍යාලයත්, 33-05ක් ලෙස සාන්ත අන්තෝනි විද්‍යාලයත් පරාජය කිරීමට සමත් විය. ඒ අනුව ඔවුන් ක්‍රීඩා කළ කාණ්ඩයේ පෙරමුණ කිංස්වුඩ් කණ්ඩායමට හිමි වූ අතර B කාණ්ඩයේ පෙරමුණ ගත් සාන්ත ජෝසප් කණ්ඩායම ලකුණු 17-15ක් ලෙස ඉසිපතන කණ්ඩායම ද, 21-12ක් ලෙස සාන්ත පීතර කණ්ඩායම ද, 33-00ක් ලෙස සහිරා විද්‍යාලයීය කණ්ඩායම ද පරාජය කිරීමට සමත් විය. අද (16) දිනය තුල කාගේත් අවධානය දිනා ගන්නා කණ්ඩායම් ලෙස කිංග්ස්වුඩ්, සාන්ත ජෝසප්, සාන්ත පීතර හා වෙස්ලි කණ්ඩායම් දැක්විය හැකිය.

පාසල් තරග මාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග,

QF1 – කිංස්වුඩ් විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය
QF2 – වෙස්ලි විද්‍යාලය හා සහිරා විද්‍යාලය
QF3 – සාන්ත අන්තෝනි විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය
QF4 – සාන්ත ජෝසප් විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට <<