ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් හිටපු ශූරයන් ලෙස මෙවර තරගාවලියට එක්වූ මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම මෙවර තරගාවලියට ද සුපිරි ආරම්භයක් ලබා ගත්තේ පළමු අදියරේ ජයග්‍රහණය තහවුරු කර ගනිමිනි. මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් 2017 පළමු අදියරේ අවසන් මහා තරගයේ දී ඔවුන් හමුවේ පරාජය වූයේ සොෆ්ට්ලොජික් වොරියර්ස් කණ්ඩායමයි.

උකුස්සන් සහ ග්ලැඩියේටර් පෙරමුණේ

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ පළමු අදියර ඊයේ (08) උදෑසන නිත්තවෙල දී ආරම්භ විය. ‘Dialog’ විසින් බලගැන්වෙන..

අවසන් තරග ප්‍රතිඵලය – ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ඊගල්ස් 19 – 05 සොෆ්ට්ලොජික් වොරියර්ස්

ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් සංවිධාන කරන ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලියේ පෞද්ගලික සමාගම් ක්‍රීඩා සමාජ අංශයේ දෙවන දිනයට අදාළ තරග 8 වැනි දා නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ පළමු දිනයේ දී කණ්ඩායම් ස්ථාන ගත වූ ආකාරයට අනුව පැවැත්වුණු අර්ධ අවසන් පූර්ව තරග වටයෙනුයි.

පළමු දිනයේ තම කාණ්ඩයට අදාළව පැවති තරග සියල්ල පරාජය වූ සොෆ්ට්ලොජික් වොරියර්ස් කණ්ඩායම තරගාවලියේ දෙවන දිනයේ පෙරළිකාරයන් බවට පත් වූයේ කුසලාන අවසන් මහා තරගය දක්වා පැමිණෙන්නට සමත්කම් දක්වමිනුයි.

ජේසන් දිසානායකගේ නායකත්වයෙන් පිටියට පිවිසි සොෆ්ට්ලොජික් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයේ දී කාර්ගිල්ස් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 24 – 14ක් ලෙස පරාජය කරන්නට සමත් වූ අතර අර්ධ අවසන් තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ වෝකර්ස් CML වයිපර්ස් කණ්ඩායමයි.

මේ අතර SLT මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේ දී EZY වුල්ෆ්ස් කණ්ඩායමෙන් එල්ල වූ දැවැන්ත අභියෝගය තියුණු සටනකින් පසුව ජය ගත්තේ ලකුණු 7-5ක් ලෙසයි.

බොහෝ දෙනා දෑස් දල්වා බලා සිටි අවසන් මහා තරගයේ දී ද පළමු ප්‍රහාරය එල්ල වූයේ දිනයේ පෙරළිකරුවන් වූ සොෆ්ට්ලොජික් වොරියර්ස් කණ්ඩායමෙනුයි. ඔවුන්ගේ විදෙස් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මැනවින් ප්‍රදර්ශනය කරමින් එඩ් ෆිඩෝ පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

අනතුරුව දක්ෂ ලෙස ආරක්ෂක පෙළ ක්‍රීඩා විලාශයක් මගින් මිනිත්තු 7ක් පමණ ගත වන තුරු සිය ලකුණු 5ක වාසිය ආරක්ෂා කර ගැනීමට වොරියර්ස් කණ්ඩායම සමත් වුවද, පළමු අර්ධය අවසන් වීමට මොහොතක් තිබිය දී මුලිපා ලෙසෝෆා මොබිටෙල් කණ්ඩායම වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථකව එල්ල කළ මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම ලකුණු දෙකක වාසියක් ද තමන් සතු කර ගන්නා ලදි.

දෙවන අර්ධය තුල සම්පූර්ණයෙන්ම තරගය සිය පාලනයට නතු කර ගත් මොබිටෙල් කණ්ඩායම තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර එහි පළමුවැන්න ඔවුන්ගේ අනෙක් විදෙස් ක්‍රීඩකයා වන යෝසේවාග්‍රීන් බීලෝ නමින් සටහන් වෙද්දී ශම්රි බූරාහ් අවසන් උත්සාහක දිනුමට හිමිකම් කීය.

මොබිටෙල් කණ්ඩායම සිය ලකුණු එකතුව 19 දක්වා ඉහළ දමා ගැනීමෙන් පසු සොෆ්ට්ලොජික් කණ්ඩායමට කිසිදු ජයග්‍රහණ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නොහැකි වූ අතර ඔවුන්ට සිදු වූයේ පළමු අදියරේ අනුශූරතාවෙන් සෑහීමකට පත් වන්නටයි.

අවසන් ප්‍රතිඵලය :

SLT මොබිඉටෙල් ඊගල්ස් 19 (උත්සාහක දිනුම් 3, ප්‍රවර්තන 2) – සොෆ්ට්ලොජික් වොරියර්ස් 5 (උත්සාහක දිනුම් 1)

පසුගිය වසරේ මෙන්ම මේ වසරේ දී ද ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලියේ පළමු අදියර ජය ගත් SLT මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම කොළඹ පැවැත්වෙන දෙවන අදියරට පිවිසෙනු ඇත්තේ පසුගිය වසරේ මෙන්ම සමස්ත ශූරතාව ද යළිත් තමන් සතු කර ගැනීමේ අරමුණ ඇතිවයි.

පළඟ ශූරතාව ඇක්සස් කිංග්ස් කණ්ඩායමට.

ධනුෂ්ක රංජන්ගේ නායකත්වයෙන් යුතු වෝකර්ස් CML වයිපර්ස් කණ්ඩායම ලකුණු 31 – 07ක් ලෙස පහසුවෙන් පරාජය කළ ඇක්සස් කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් කුසලාන අර්ධ අවසන් තරගයේ දී SLT මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම හමුවේ ලකුණු 5-7ක තියුණු පරාජයක් ලබමින් කුසලාන අවසන් තරගයේ බලාපොරොත්තු බොඳ කර ගන්නට ඇක්සස් කිංග්ස් කණ්ඩායමට සිදුවුවද ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය තහවුරු කර ගැනීමත් සමඟ සමස්ත ශූරතාව සඳහා තවදුරටත් බලාපොරොත්තු රඳවා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිව තිබේ.

බඳුන EZY වුල්ෆ්ස්ට : පලිහ එටිසලාට් පැන්තර්ස්ට.

EZY වුල්ෆ්ස් කණ්ඩායම පළමු අදියරේ බඳුන ශූරතාව දිනා ගත්තේ KBSL ඩ්‍රැගන්ස් කණ්ඩායම ලකුණු 19 – 14ක් ලෙස පරාජය කරමිනුයි. මොබිටෙල් කණ්ඩායම හමුවේ ලද තියුණු පරාජය හේතුවෙන් අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු සිඳගත් වුල්ෆ්ස් කණ්ඩායමට බඳුන ශූරතාව සැනසිලි ත්‍යාගයක් විය.

පසුගිය වසරේ දෙවන අදියරේ ශූරයන් මෙන්ම මෙවර පළමු දිනය අවසානයේ ‘A’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි කාර්ගිල්ස් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් අඩියටම ඇද දමමින් පලිහ ශූරතාව වෙනුවෙන් පැවති තරගය ලකුණු 17 – 00ක් ලෙස ජය ගත්තේ එටිසලාට් පැන්තර්ස් කණ්ඩායමයි.

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් 2017 – පළමු වටය අවසන් වන විට පෞද්ගලික සමාගම් ක්‍රීඩා සමාජ අංශයේ ස්ථාන ගත වීම්.

ස්ථානය කණ්ඩායම ප්‍රසාද ලකුණු
    1 SLT මොබිටෙල් ඊගල්ස් 08
    2 සොෆ්ට්ලොජික් වොරියර්ස් 07
    3 ඇක්සස් කිංග්ස් 06
    4 වෝකර්ස් CML වයිපර්ස් 05
    5 EZY වුල්ෆ්ස් 04
    6 KBSL ඩ්‍රැගන්ස් 03
    7 එටිසලාට් පැන්තර්ස් 02
    8 කාර්ගිල්ස් ග්ලැඩියේටර්ස් 01

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට