ගෙවුනු දවස ජූලි 26 – අසේලට ආබාධයක්

235

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

  ක්‍රිකට්  

ආරම්භයේ දී ම ඉන්දියාවෙන් රතු එළියක්

දීර්ඝ සහ අතිශයින්ම වැදගත් සංචාරයක සමාරම්භය සනිටුහන් කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (26) ආරම්භ වූ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නිවැරදිව ටෙස්ට් ඉනිමක් ගොඩ නගන අයුරු දැක බලා ගැනීමට අවස්ථාවක් උදාවිය. ඒ ප්‍රතිවාදී ඉන්දියානු කණ්ඩායම ඊයේ දිනයේ සියලු ගෞරව තමන් සතුකර ගනිමින් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 399ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගූ බැවිනි.

ඉන්දීය ප්‍රථම ඉනිම – කඩුලු 3ක් දැවී ලකුණු 399 (පන්දුවාර 90): ශිකර් ධවාන් 190, චෙටෙස්වර් පුජාරා 144*, අජින්ක්‍යා රහානේ 39*, අභිනව් මුකුන්ද් 12, විරාත් කෝලි 3, නුවන් ප්‍රදීප් 3/64.

සම්පූර්ණ වාර්තාව: ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පිතිකරණ පාඩමක්! 


අසේලට ටෙස්ට් තරගාවලිය මඟ හැරේ?

2017 ඉන්දියා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (26) ගාල්ලේ දී ඇරඹුණු අතර එහි දී සිය වමතේ මහපට ඇඟිල්ලේ පන්දුව වැදීම නිසා අස්ථි බිඳීමකට ලක්වූ අසේල ගුණරත්න, තරගාවලියේ මීළඟ තරග සඳහා සහභාගී වේද නොවේද යන්න පිළිබඳ සැකයක් පවතියි.

දිනයේ 14 වැනි පන්දු ඕවරය යැවූ ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ශිඛර් ධවාන්ගේ පිත්තේ පිටත දාරයේ වැදී ස්ලිප් කලාපයට ඇදීගිය උඩපන්දුවක් රැක ගැනීමට යාමේ දී පන්දුව අසේලගේ වම් මහපට ඇඟිල්ලේ වැදුණු අතර එහි දී එහි අස්ථි බිඳීයාමක් සිදු වී උඩපන්දුව ගිලිහී ගියේය.

ඒ මොහොතේම පිටියෙන් ඉවත්කර ගැනුණු අසේලව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට පිටත් කර හැරි පසු ශිඛර් ධවාන් පන්දු 168කදී වේගවත් ලකුණු 190ක් ලබා ගත්තේ සිය ආධිපත්‍ය පිටිය පුරා පතුරුවමිනි.

සම්පූර්ණ ලිපිය: අසේල ගුණරත්නගේ දායකත්වය අවිනිශ්චිතයි 


   රග්බි   

හේනකන්කානම්ගේ නායකත්වයට

පසුගිය අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිවල දී කැපී පෙනෙන දස්කම් දැක්වූ මෙන්ම ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායකත්වය දැරූ නවීන් හේනකන්කානම්ගේ වයස අවුරුදු 20න් පහළ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායකත්වයට තේරී පත් වී ඇත.  

සම්පූර්ණ වාර්තාව: නවීන් හේනකන්කානම්ගේට නායකත්වය

දිනයක අවසානය