ගෙවුණු දවස ජනවාරි 09 – යොවුන් ටෙස්ට් කණ්ඩායමේ නායකයා නිපුන්

169

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් කණ්ඩායම නිකුත් වේ

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ලෝක අනුශූර ඕස්ට්‍රේලියානු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර අද (10) ආරම්භ වීමට නියමිත එකම තුන් දින ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙන් තරග වදින 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ජාතික තේරීම් කමිටුව විසින් තෝරාපත් කරගෙන ඇත.

එහි නායකත්වයත් සුපුරුදු ලෙස වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් දනංජය වෙත ලබා දී ඇති අතර පසුගිය දා නිමා වූ දෙරට අතර පැවති තරුණ එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

 සම්පූර්ණ වාර්තාව: කැන්ගරුවන්ට අභියෝගයක් වන ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් සංචිතය

රග්බි –

යොවුන් රග්බි නායකයාට දඬුවමක්

වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට සහභාගි වෙමින් ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායම මෙහෙයවීමේ කාර්‍යභරය ඉටු කළ ගැමුණු චේතිය තරගාවලිය අතරතුර දී  විනය විරෝධී ලෙස හැසිරීමේ චෝදනාවකට වරදකරු බවට ඔප්පු වීම නිසාවෙන් 2019 ජනවාරි මස 8 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර දෙකක දඬුවම් කාලයකට යටත්ව සහභාගී වන සියලුම තරග ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රීඩා කිරීමට ඔහුට සිදුවනු ඇත.

පසුගිය වසර අවසානයේ පැවති එම තරගාවලිය අතරතුර දී ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගත් හෝටලයේ කාර්යය මණ්ඩල සාමාජිකාවකගේ අතින් ඇල්ලීම ගැමුණු චේතිය හට එල්ල වූ චෝදනාව වන අතර එරට නීති රීතී සහ සම්ප්‍රදායන්ට අනුව එය බරපතළ වරදක් බැවින් තායිවාන රග්බි සම්මේලනය විසින් සිදු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ආසියානු රග්බි සම්මේලනය මෙම සිදුවීම පිළිබඳව ලිඛිතව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය දැනුම් දීමට පියවර ගන්නා ලදි.

සම්පූර්ණ වාර්තාව: යොවුන් රග්බි කණ්ඩායමේ නියමුවාට දඬුවමක්

 

2019 පාසල් රග්බි ලීගයේ කැලැන්ඩරය එළිදකී

ශ්‍රී ලංකා රග්බි පිටියේ ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබෙන “පාසල් රග්බි ලීගය” මේ වසරේ දී ද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව මෙවර පාසල් රග්බි ලීගය එළඹෙන පෙබරවාරි මස 25 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මෙම වසරේදීත් සිංගර් සමාගමේ අනුග්‍රාහකත්වයෙන් යුතුව පැවැත්වෙන පාසල් රග්බි තරගාවලියේ පළමු වටයේ තරග පෙබරවාරි මස අවසන් සතියේ සිට පුරා සති 5ක් පුරා පැවැත්වීමට නියමිතයි.

මෙම වසරේ දී පාසල් රග්බි ලීගයේ A කාණ්ඩයේ තරග කිරීම සඳහා කණ්ඩායම් 12ක් සුදුසුකම් ලබා ඇති අතර එම කණ්ඩායම් IA සහ IIA ලෙස අනුකාණ්ඩ දෙකක් යටතේ පළමු වටයේ දී තරග වැදීමට නියමිතයි. තරගාවලියේ පළමු වටයේ දී එක් අනුකාණ්ඩයක සිටින පාසලක් එම අනුකාණ්ඩයේ සිටින අනෙකුත් සියලුම පාසල් සමඟ තරග කිරීමට සිදු වේ.

සම්පූර්ණ වාර්තාව: පාසල් රග්බි ලීගයේ කාලසටහන නිකුත් වෙයි

දිනයක අවසානය

 >> අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින් <<