ගෙවුණු දවස සැප්තැම්බර් 06 – ඉන්දියාවට එරෙහිව ප්‍රබල සංචිතයක්

252

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

එක්දින ක්‍රිකට් තරග 3කින් හා විස්සයි විස්ස තරග 5කින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (6) නිල වශයෙන් මාධ්‍යට නිකුත් විය. ඒ කණ්ඩායමේ නායිකාව ලෙස පත් කර ඇත්තේ චමරි අතපත්තුය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග තුනකින් හා විස්සයි විස්ස ක්‍රිකට් තරග පහකින් සමන්විත කාන්තා ක්‍රිකට් තරගාවලියක් සැප්තැම්බර් මස 11 වැනිදා සිට 25 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායිකාව වන චමරි අතපත්තු මීට සති කිහිපයකට ඉහත දී නිමා වූ ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී නොවූයේ අසනීප වී සිටි නිසාවෙනි. ඊට අමතරව ඒ ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවූ තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන අමා කාංචාන හා අත්දැකීම් බහුල වමතින් මද වේගපන්දු යවන උදේශිකා ප්‍රබෝධනී නැවතත් කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත්ව ඇත.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නැවතත් අතපත්තුට


රාජකීයයන් සහ වේල්ස් කුමරුවන් සුපිරි 4ට

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටය ඊයේ (6) ආරම්භ වූ අතර එහි දී ජයග්‍රහණ ලබාගත් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා රාජකීය විද්‍යාලය අවසන් පූර්ව (සුපිරි 4) වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

සම්පූර්ණ වාර්තාව: වේල්ස් කුමර විද්‍යාලය හා රාජකීය විද්‍යාලය සුපිරි 4ට

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්