ගෙවුණු දවස ජනවාරි 05 – ක්‍රිකට් සහ රග්බි පිටිය උණුසුම්

168

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

පළමු දිනයේ වැඩි ගෞරවය මිලින්දට සහ කමිඳුට

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී ඊයේ (05) ආරම්භ වූ නිල නොලත් පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දවස නිමාවේ දී පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 185ක් ලබා සිටිය හ.

කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 153ක් පමණි.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිමේ දී කඩුලු 4ක් දැවී ලකුණු 46ක් ලබා අසරණව සිටි ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන සහ කමිඳු මෙන්ඩිස් එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු .139ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිස ඔසවා ක්‍රීඩා පිටියේ රැදී සිටීමට අවස්ථාව උදාකර දුන් හ.

සම්පූර්ණ වාර්තාව: මිලින්ද සහ කමිඳු A ඉනිම ගොඩදායි


තිසරගෙන් වාර්තාගත ඉනිමක්

නවසීලන්ත ක්‍රිකට් රණබිමේ හුදකලා සටනක නිරත වූ තිසර පෙරේරා ඊයේ (05) තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ මංගල ශතකය රැස් කර ගත්ත ද ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් සටන් සඟයන්ගේ දුර්වල විලාශයන් හේතුවෙන් නවසීලන්තය සමඟ පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිමි වූයේ ලකුණු 21ක පරාජයකි.

මේ අනුව තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලිය තවත් තරගයක් තිබිය දී ම ජයග්‍රහණය කිරීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

තිසර පෙරේරා තමන් මුහුණ දුන් 57 වැනි පන්දුවේ දී තම ශතක ලකුණ ලබා ගත් අතර ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යන විට ඔහු පන්දු 74කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 13ක් සමඟින් ලකුණු 140ක් ලබා සිටියේ ය. අවසන් පන්දුවාර කිහිපයේ දී නවසීලන්ත පන්දු යවන්නන් සසල කළ තිසරගේ උත්සාහක ඉනිමට ගෞරවයක් ලෙසින් ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.


    රග්බි    

ප්‍රිමේෂ්ගේ වික්‍රමයෙන් CR පරාජය වේ

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ ආරම්භක සති අන්තයේ තවත් තරගයක් ඊයේ (5) පැවැත්වුණේ CR&FC කණ්ඩායම හා පොලිස් ක්‍රීඩා සමාජය අතරයි. එම තරගයෙන් පොලිස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය හිමිකර ගත්තේ 21-18ක් ලෙස තියුණු සටනකින් පසුවයි. තරගයේ පැවැත්වුණේ CR&FC ක්‍රීඩාංගණයේ දී යි.

.

සම්පූර්ණ වාර්තාව: ප්‍රිමේෂ් ධනුෂ්ක අවසන් මිනිත්තුවේ දී CR ආරක්ෂක වළලු සුනුවිසුනු කරයි

දිනයක නිමාව