ගෙවුණු දවස ජනවාරි 03 – කුසල් සහ මිෂාරගේ ශතක දෙකම අපතේ යයි

215

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

කුසල්ගෙන් ශතකයක්

කුසල් පෙරේරාගේ සටන්කාමී ඉනිමට සහයෝගයක් දැක්වීමට අනෙක් ශ්‍රී ලංකා පිතිකරුවෝ අසමත් වීම හේතුවෙන් නවසීලන්තය සමඟ ඊයේ (3) මවුන්ට් මන්ගුවානි බේ ඕවල් පිටියේ දී නිමා වූ පළමු එක්දින දිවා රාත්‍රි තරගයෙන් නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 45ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරග තුනකින් සමන්විත තරගාවලියේ 1-0ක් සේ පෙරමුණ ගත් හ.

නවසීලන්තයට එරෙහිව තම මංගල එක්දින තරගයට සහභාගී වූ කුසල් පෙරේරා ඊයේ තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිව්වැනි අර්ධ ශතකය රැස් කිරීමට සමත් විය. කලකට පසුව කුසල්ගේ පිත්තෙන් එක්වූ මෙම ශතකය ඉක්මවූ ඉනිමට පන්දු 86ක් වැය වූ අතර හතරේ පහර 13ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් විය. ඔහු ඊයේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 102කි. කුසල් අවසන් වරට ශතකයක් රැස්කරගෙන සිටියේ 2016 වසරේ ජුනි මස අයර්ලන්තයට එරෙහි ව ය. ඉන්පසුව ක්‍රීඩා කළ ඉනිම් 27කට පසුවයි ඔහු මේ ශතකයක රැස් කළේ.

සම්පූර්ණ වාර්තාව: කලකට පසුව ලොකු කුසල් පිත්තෙන් වැඩ පෙන්වයි


මිෂාරගේ සුපිරි ශතකය ඵල රහිත වේ

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ඊයේ (03) කොළඹ පී සරා ඕවල් පිටියේ දී පැවැත්විය.

එහි දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කමිල් මිෂාර පන්දු 157කින් ලබාගත් ලකුණු 123ට අභියෝග කරමින් ඕස්ට්‍රේලියානු පිතිකරු සෑම් ෆැනින්ග් පන්දු 94කින් ලබාගත් ලකුණු 108 නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට කඩුලු 7ක පරාජයක් උරුම වූයේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම තරගාවලිය තුල 1-0ක් ලෙස පෙරමුණේ තබමිනි.

සම්පූර්ණ වාර්තාව: මිෂාරගෙන් සුපිරි ශතකයක්; තරගාවලියේ පෙරමුණ ඕස්ට්‍රේලියාවට


රග්බි –

CH&FC කණ්ඩායමට අලුත් ක්‍රීඩකයෙක්

සති දෙකකට ආසන්න කාලයක නිහැඬියාව බිඳ දමමින් හෙට (04) යළිත් ජීවය ලබන ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් සැමගේ අවධානය සොරා ගන්නා පෙරළිකාර වෙනසකට  CH&FC කණ්ඩායම මුල පුරා තිබේ.

එනම් ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ඕස්ටේලියානු ජාතික රග්බි ක්‍රීඩකයෙකු වන ඇඩම් ගාඩ්නර් මෙවර තරග වාරයේ දෙවන අදියර තරග සඳහා ජිම්කානා සමාජය නියෝජනය කරමින් සේවය ලබා දීමට දිවයිනට පැමිණ තිබීමයි.

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රිමියර් රග්බි තරගාවලිය නියෝජනය කරන බොන්ඩ් විශ්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම නියෝජනය කළ ඇඩම් ගාඩ්නර් ටෝක්යෝ ගෑස් කණ්ඩායම වෙනුවෙන් ද සියසේවය සපයමින් ඕස්ට්‍රේලියානු ෆූටී (Footy) ලීගයේ දී විශිෂ්ට දස්කම් පෙන්වීමට සමත් වී ඇත.

සම්පූර්ණ වාර්තාව: CH&FCට ඕස්ට්‍රේලියාවෙන් රග්බි ක්‍රීඩකයෙක්

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්