ගෙවුණු දවස ජූලි 28 – 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ උණුසුම

380

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

මලින්ද කඩුලු 6ක්; කෞෂාල් නොදැවී 84ක්

කටුනායක මේරියන් ක්‍රිකට් සමාජ පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය වූ ඊයේ (28) දිනය තුල කඩුලු 6ක් දවා ගත් දඟපන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර හා නොදැවී ලකුණු 84*ක් ලබාගත් කෞශාල් සිල්වා ඉතාමත් හොඳින් දස්කම් දක්වන ලදි.

තෙවන දිනය සඳහා තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට තරගයේ වැඩි වාසිය හිමිව තිබුණේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 210ක් ඉදිරියෙන් සිටීම නිසයි.

දිනය ආරම්භ කරමින් පිටියට අවතීර්ණ වූ ටෝනි ඩී සොර්සි හා කගීසෝ රපුලානා ඔවුන්ගේ ලකුණු සටහන ලකුණු 31ක් වෙද්දී දවා ගැනීමට පුෂ්පකුමාර සමත් විය. ඒ වන විට දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 31 වෙද්දී දැවී ගොස් තිබුණි. රයන් වෑන් ටොන්ඩර් හා ටෙෂ්පැන්ග් දිතොලේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක් සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළේය.

සම්පූර්ණ වාර්තාව: පුෂ්පකුමාරගේ නොනවතින කඩුලු දඩයම නිසා ශ්‍රී ලංකාව ජයක් අබියස


විද්‍යා ක්‍රීඩකයින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පරදා අවසන් 8ට

සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (28) කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ වූ අතර එහි දී මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් හට ලකුණු 05-12ක අමිහිරි පරාජයක් හිමි කර දුන් ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.  

අද (29) දිනයේ පැවැත්වෙන ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ තරගවල දී කොළඹ රාජකීය විද්‍යාලය සිය සුපුරුදු ප්‍රතිවාදියා වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ තරග කිරීමට නියමිත අතර තවදුරටත් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය ද අවසන් පූර්ව වටයේ ස්ථානයක් සඳහා සටන් වඳිනු ඇත.

සම්පූර්ණ වාර්තාව: විද්‍යා ක්‍රීඩකයින්ගෙන් සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට අමිහිරි පරාජයක්

දිනයක නිමාව