ගෙවුණු දවස ජනවාරි 24 – මිනෝද්ගේ ශතකය සමඟින් ලංකාව ගොඩයයි

281

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ වේලාසන තරගාවලිය ජය ගනී

මිනෝද් භානුක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම හා එක්වෙමින් ලබා ගත් මංගල ශතකය නොමියෙන මතකයක් බවට පත්වෙමින් සංචාරක අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම සමඟ ඊයේ (24) කොළඹ, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී නිමා වූ තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයකින් සැමරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

එම තරග ජයග්‍රහණයත් සමඟින් දෙරට අතර තරග 5කින් සමන්විත නිල නොලත් එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ජයග්‍රණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ සමත් වූහ.

>>සම්පූර්ණ වාර්තාව: මිනෝද් භානුකගේ ශතකය ජයග්‍රහණයෙන් සැමරේ

කෞෂාල් සිල්වා දෛවෝපගත ඉනිමක් ගොඩනගයි

වෝන් – මුරලි කුසලානය අරඹමින් ක්‍රියාත්මක වූ පළමු දිනයේම ශ්‍රී ලංකා පිතිපෙළ ලකුණු 144කට දැවී ගිය බව ඔබ මේ වන විටත් දන්නවා ඇත. නමුත් අප මේ කතා කරන්නට යන්නේ ඒ ගැන නොවේ.

කලක් ශ්‍රී ලංකා පිළේ ටෙස්ට් ආරම්භක පිතිකරණ භූමිකාවට පණ පෙවූ නමුත් පසුව කණ්ඩායමෙන් ඉවතට විසිවී ගිය කෞෂාල් සිල්වා ඊයේ දිනයේම (24) ශ්‍රී ලංකාවේ සිට ගොඩ නැගූ ලකුණු 197ක දෛවෝපගත ඉනිමක් පිළිබඳවයි. කෞෂාල් ක්‍රීඩා කළ මෙම තරගයට අමතරව ප්‍රිමියර් ලීග් සුපිරි 8 වටයේ තවත් සිව්දින තරග 3ක් ඊයේ ආරම්භ විය.

>>සම්පූර්ණ වාර්තාව: ඕස්ට්‍රේලියා නොගිය කෞෂාල්ගෙන් අතිදැවැන්ත ඉනිමක්!

දික්වැල්ල සටන් කරද්දී ඕස්ට්‍රේලියාව පෙරටම

ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විත ඕස්ට්‍රේලියානු තරග සංචාරය අරඹමින් ඊයේ (24) පළමු දිවා – රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. කෙසේ වෙතත් එම තරගයේ මුල් දිනය නිමාවට පත්වන විට පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද වැඩි දක්ෂතා ප්‍රකට කිරීමට සමත් වූයේ සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. මේ වන විට ඔවුන් කඩුලු 8ක් අතැතිව ශ්‍රී ලංකා ඉනිමට වඩා ලකුණු 72ක් පමණක් පිටුපසින් සිටියි.

ඊයේ තරගය සඳහා තරමක් තණකොළ සහිත තණතීරුවක් සකසා තිබූ අතර කණ්ඩායම් දෙකම තම පන්දු යැවීමේ සංකලනය වේගපන්දු යවන්නන් තිදෙනෙකු සහ එක් දඟපන්දු යවන්නෙකු ඇතුළත් වන පරිද්දෙන් සකසා ගෙන තිබුණි. ඕස්ට්‍රේලියානුවන් ඊයේ තරගය සඳහා නවක ක්‍රීඩකයින් දෙදෙනෙකුට මංගල ටෙස්ට් වරම් හිමිකර දී තිබීම ද කැපී පෙනෙන කරුණක් විය. ඒ දෙරට අතර පැවති පුහුණු තරගය අතරතුරේ දී ශතක දෙකක් වාර්තා කළ කර්ටිස් පැටර්සන් සහ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ජේ රිචඩ්සන් කණ්ඩායමට ඇතුළත් කරමිනි.

>>සම්පූර්ණ වාර්තාව: දික්වැල්ල ජාමෙ බේරයි; දිනය නිමා වෙද්දී කැන්ගරුවන් ඉදිරියෙන්!

රග්බි –

රාජකීය විදුහලට නව රග්බි නායකයෙක්

පසුගිය වසරේ සිංගර් පාසල් රග්බි ලීගයේ අපරාජිතව ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නායකත්වය මෙවර අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන තුලෙයිබ් හසන් හට හිමිවී ඇත.

රාජකීය විද්‍යාලයේ සිව්වැනි වසරේ වර්ණ ලාභියෙකු වන තුලෙයිබ් පසුගිය වසර දෙක තුළ රාජකීයයන් ජයග්‍රහණය කරා ගෙන ඒමට වැඩි දායකත්වයක් දැක්වූ බව නිසැකය. මේ වන විට පාසල් රග්බි ලීගයේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් අතර මුල් ස්ථානයක් ගන්නා ඔහු, පසුගිය වසර දෙක තුළ දී ජනිඳු දිල්ෂාන් සමඟ රාජකීයයන්ට ශූරතා සිහිනය සැබෑ කරවීමට සාධකයක් විය.

>>සම්පූර්ණ වාර්තාව: රාජකීය බලඇණියේ සුක්කානම නව අතකට

දිනයක නිමාව

>>අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්<<