ගෙවුණු දවස ජූලි 20 – විනය කැඩූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට දඬුවමක්

315

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ඉන්දීය පොඩ්ඩෝ තරගය වේලාසන නිමා කරති

කොළඹ එන්. සී. සී. පිටියේ දී නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 21ක පහසු ජයක් ලබා ගැනීමට සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ ඊයේ (20) සමත් වූයේ සිව්දින තරග දෙකකින් යුත් තරගාවලියේ 1-0ක් සේ පෙරමුණ ගනිමිනි.

දිනය තුළ යැවිය යුතු පන්දුවාර 90න් 35 වැනි පන්දුවාරයේ දී තරගය නිමා කළ ඉන්දීය යෞවනයෝ  තරගයෙන් තුනෙන් දෙකක කාලයක් විවේකීව සිටීමට ලබා ගත්හ.

තරගයේ සිව්වැනි සහ අවසාන දිනය ක්‍රියාත්මක වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 168ක් ලබා ගත යුතු වූව ද ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 147ක් පමණි.  ඒ වෙනුවෙන් ඔවුන් කඩුලු 7ක් බිළි දුන්හ.

සම්පූර්ණ වාර්තාව: ඉන්දීය යෞවනයෝ වේලාසනින්ම තරගය අවසන් කරති


ප්‍රථම දිනයේ විශිෂ්ට සබඳතාවය

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ආරම්භ කරමින් ඊයේ (20) ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 277ක් ලබාගෙන සිටියි.

කොළඹ එස්. එස්. සී ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් නායක සුරංග ලක්මාල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ වමත් පිතිකරුවන් යුගලය වන දිමුත් කරුණාරත්න හා ධනුෂ්ක ගුණතිලක හට SSC තණතීරුව ඉතාමත් හුරුපුරුදු වන්නේ ඔවුන් දෙදෙනාගේම පළමුපෙළ ක්‍රීඩා සමාජයේ සත්කාරක ක්‍රීඩා පිටිය මෙය නිසාවෙනි.

සම්පූර්ණ වාර්තාව: මැදපෙළ අසාර්ථක වෙද්දී දනංජයගෙන් පැන් පොදක්


වැන්ඩර්සේට වැඩ වරදී

නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර විනය විරෝධී ලෙස හැසිරීම නිසා නැවත දිවයිනට හරවා එවුණු ජෙෆ්රි වැන්ඩර්සේ හට සියලු ආකෘතිවලට බලපාන සේ වසරක අත්හිටවූ තරග තහනමක් පනවා තිබේ.

වැන්ඩර්සේ හා තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් දෙවන ටෙස්ට් තරගයේ අවසාන දිනය නිමාවීමත් සමඟ සාන්ත ලුසියා හි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති අතර පසුදින උදයේ වැන්ඩර්සේ සිය කාමරයේ නොසිටීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සාන්ත ලුසියා පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර තිබුණි.

සම්පූර්ණ වාර්තාව: විනය විරෝධී ලෙස හැසිරුණු වැන්ඩර්සේට දැඩි දඬුවම්

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්