ගෙවුණු දවස ඔක්තෝබර් 06 – ප්‍රථම දිනයේ දී ලංකාව සාර්ථකයි

351

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

දිමුත් නොදැවී ශතයක්; චන්දිමාල් අර්ධ ශතකයට ආසන්නයේ

ශ්‍රී ලංකා පිළ මුහුණ දෙන මංගල දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය ඊයේ (06) නිමාව දුටුවේ වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න දැක්වූ සුවිශේෂී දස්කම් මැදයි. දිනය ආරම්භයේ සිට අවසානය දක්වාම පිටියේ රැඳෙමින් ඔහු රැස්කළ විශිෂ්ට ශතකයෙන් පණ ලැබූ ශ්‍රී ලංකා ඉනිම මේ වන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 254ක් දක්වා වර්ධනය වී ඇත. එබැවින් හෙට දිනයේ මෙය පාකිස්තානු ක්‍රීඩකයින්ට ළඟා වීමට අපහසු අන්දමේ ඉලක්කයක් බවට පරිවර්තනය කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් උත්සුක විය යුතුය.

 

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 254 (පන්දුවාර 90):  දිමුත් කරුණාරත්න 133*, දිනේෂ් චන්දිමාල් 49*, සදීර සමරවික්‍රම 38, කෞෂාල් සිල්වා 27, යසීර් ෂා 2/90, මොහොමඩ් ආමීර් 1/59.

සම්පූර්ණ වාර්තාව: දිමුත්ගේ විශිෂ්ට ශතකය නිසා දිනයේ ගෞරවය ශ්‍රී ලංකාවට 


රග්බි –

හේනකන්කානම්ගේට තෙවැනි අදියර මඟ හැරේ

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියර සඳහා සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා යොවුන් රග්බි ක්‍රීඩක නවීන් හේනකන්කානම්ගේ හට අහිමිව ඇත. ඒ ඔහු ආබාධයකට ලක්වී සිටීම නිසාවෙනි.

වයස අවුරුදු 19ක් වන නවීන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.  ඔහු එටිසලාට් පැන්තර්ස් කණ්ඩායමේ හා ඇක්සස් සමූහ ව්‍යාපාර කණ්ඩායමේ ද ක්‍රීඩා කර ඇත.

“නවීන්ට කලව ප්‍රදේශය ආශ්‍රිතව ආබාධයක් ඇතිවෙලා තියෙනවා. ඒවගේම පිට ප්‍රදේශය ආශ්‍රිතවත් ආබාධයක් තියෙනවා. ඔහුට ඒ ආබාධවලින් සුවවීමට අවම වශයෙන් තවත් සති දෙකක් හෝ ගතවේවි.“ යැයි ජාතික තේරීම් කමිටු සභාපති මයිකල් ජයසේකර මහතා ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

සම්පූර්ණ වාර්තාව: නවීන් හේනකන්කානම්ගේ සත් සාමාජික සංචිතයෙන් ඉවතට


ඉසිපතන ක්‍රීඩකයින්ට පහසු ජයක්

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පළමු දිනය සඳහා වන රග්බි තරග ඊයේ (06) කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය. දිගින් දිගටම ඇදහැළුණු දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද තරග පැවති අතර, ක්‍රීඩකයින් සියල්ලෝම පාහේ ඉතා ඉහළ  ක්‍රීඩාශීලිත්වයක් පෙන්නුම් කිරීමට සමත් විය.

සත් සාමාජික ආකෘතිය යටතේ වයස අවුරුදු  20න් පහළ කාණ්ඩයේ  තරග පැවැත්වුණු අතර, ඊයේ දිනය සඳහා තරග එකොළහක් පැවැත්විය. අගනුවර ප්‍රබල පාසල්වලට දැඩි අභියෝගයක් එල්ල කිරීමට අගනුවරින් පිටත පාසල් සමත්වීම කැපී පෙනුනි. තවද තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ පාසල් කිහිපයක් තරගාවලියට සහභාගී නොවීම නිසා පාසල් කිහිපයක් නිතරගයෙන් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

සම්පූර්ණ වාර්තාව: කොළඹ රාජකීයයින්ට ඇහැලියගොඩින් අභියෝගයක්

දිනයක අවසානය