ගෙවුණු දවස මැයි 19 – රග්බි සංග්‍රාමවලින් පිටිය උණුසුම්

612

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

රග්බි –

ඉසිපතන ත්‍රිත්ව ගැටුම ජය පරාජයෙන් තොරයි

සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ කුසලාන සහ පළඟ ශූරතාවයේ තරග කිහිපයක් ඊයේ මහනුවර සහ කොළඹ පිහිටි ක්‍රීඩාංගණවල දී පැවැත්වුනා.

එම තරගවල දී රාජකීය ක්‍රීඩකයින් විසින් වෙස්ලි ක්‍රීඩකයින් 18-17ක් ලෙස පරාජය කිරීමට සමත් වූ අතර විද්‍යාර්ථ ක්‍රීඩකයින් 24-29ක් ලෙස පරාජය කරමින් ධර්මරාජ ක්‍රීඩකයින් සිය පළමු ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුනා.

පැවති අනෙක් තරගවල දී ලුම්බිණි ක්‍රීඩකයින් 61-05ක් ලෙස පරාජය කරන්නට සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් සමත් වූ අතර සහිරා ක්‍රීඩකයින් ඔවුන්ගේම ක්‍රීඩාංගණයේ දී ම පරාජයට පත්වූයේ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අතිනි (26-12).

කෙසේ නමුත් ඉසිපතන ත්‍රිත්ව ගැටුම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර තරගය අවසන් වූයේ 12-12ක් ලෙස සම ලකුණු තත්වයකිනි. මෙය තරගාවලියේ ජය පරාජයෙන් තොරව නිමා වූ පළමු තරගයයි.

සම්පූර්ණ තරග වාර්තා සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට


ක්‍රිකට් –

කොදෙව් සංචාරය කොට උඩ

ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් තරග තුනක් සඳහා එළඹෙන ජුනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සංචාරයක නිරත වීමට නියමිත නමුත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මුහුණ දී ඇති මුදල් පිළිබඳ ගැටලුවක් නිසා එම සංචාරය අවිනිශ්චිත තත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

“ඔවුන් ඊයේ (18) අපිට දැන්වුවා ඔවුන්ට මුදල් අර්බුදයක් තිබෙනවා කියලා, ඔවුන් මේ පිළිබඳ අවසාන තීරණය සඳුදා හෝ අඟහරුවාදා දැනුම් දේවී, මේ වන විටත් ඔවුන් අපට දැනුම් දීලා නැහැ තරගාවලිය කල් දානවා ද, ටෙස්ට් තරග අඩු කර වාණිජ අගය වැඩි කිරීමට එක්දින තරග ක්‍රීඩා කරනවා ද යන්න.” ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා පැවසිය.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා කොදෙව් සංචාරය අවිනිශ්චිතයි

ක්‍රිකට් නිලවරණය මැයි 31

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීම මැයි මස 19 වැනිදා කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විය.

වාර්ෂික මහා සභා රැස්වීම හා නිලවරණය මැයි 31 වැනිදා පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යතුමාගේ අනුමැතිය හිමිව ඇති අතර ක්‍රීඩා අමාත්‍යතුමා නීතිපතිතුමන්ගේ උපදෙස් අනුව 1973 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයේ 39 (1) වන පරිච්ඡේදයේ 25 වැනි වගන්තියට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය වෙනුවෙන් සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.

සම්පූර්ණ වාර්තාව: නිලවරණ කමිටුව පත්කෙරේ; නිලවරණය මැයි 31

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්