ගෙවුණු දවස අගෝස්තු 18 – රග්බි, ක්‍රිකට්, බොක්සිං සමඟ දිනය නිමා වේ

463

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ඉසිපතන ක්‍රීඩකයින්ට අවසන් 8 මඟ හැරේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 16 දෙනාගේ තරග වටයේ පළමු තරගය ඊයේ (18) සාන්ත ජෝසප් විදුහල් පිටියේ දී පැවැත්විය. මේ තරගයෙන් ඉසිපතන විද්‍යාලය හමුවේ කඩුලු 2ක තියුණු ජයක් ලබාගත් සාන්ත ජෝසප් විද්‍යාලය සුපිරි 8 වටයේ සිය අසුන වෙන්කර ගැනීමට සමත් විය.

සම්පූර්ණ වාර්තාව: තියුණු සටනකට පසුව සාන්ත ජෝසප් සුපිරි 8ට

රග්බි –

ජ’පුරත්, කොළඹත් ජයග්‍රාහකයින් අතරට

ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය ලබන සිසුන්ගේ සැඟවුණු දක්ෂතා වර්ධනය කිරීමේ අරමුණ ඇතිව පැවැත්වෙන අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ (18) කොළඹ විශ්ව විද්‍යාල පිටියේ පැවැත්විය. ඒ තරගවලින් ජයවර්ධනපුර හා කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

මේ තරගවල දී ජ’පුර විශ්ව විද්‍යාලය හමුවේ ලකුණු 34-10ක් ලෙස රජරට විශ්ව විද්‍යාලය පරාජයට පත්වූ අතර අනෙක් තරගයෙන් කොළඹ විශ්ව විද්‍යාලය ලකුණු 91-00ක් ලෙස නැගෙනහිර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම දැවැන්ත පරාජයකට පත්කරන ලදි.

සම්පූර්ණ වාර්තාව: කොළඹ හා ජ’පුර විශ්ව විද්‍යාල රග්බි පිටිය දෙවනත් කරයි

බොක්සිං –

ජීවන් සහ චන්ද්‍රිකා බොක්සිං පිටිය දෙවනත් කරයි

ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ අවසන් මහා තරග ඊයේ (18) කොළඹ MAS රාජකීය බොක්සිං අංගනයේ දී අවසන් විය. එහි දී “දක්ෂතම ක්‍රීඩකයා” හට හිමිවන ලේටන් කුසලානය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එන්. ජීවන් කුමාර සමත් විය. දක්ෂතම ක්‍රීඩිකාව වශයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා චන්ද්‍රිකා ගුරුගේ සම්මාන ලැබීම ද කැපී පෙනිණි.

තරග ඇරඹුණේ පස්වරු 3.00ට පමණ ය. පසුගිය වසර වලට සාපේක්ෂව තරගාවලිය හොඳ මට්ටමක තිබිණි. එහි දී වැඩි දස්කම් පාන්නට යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර ආසියානු තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් මීට සහභාගී වූයේ නැත.

සම්පූර්ණ වාර්තාව: ජීවන් සහ චන්ද්‍රිකා ලේටන් බොක්සිං කවයේ රඟති

දිනයක නිමාව