ගෙවුණු දවස සැප්තැම්බර් 17 – සවුදියට පමණක් ශ්‍රී ලංකාව පැරදේ

285

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ශ්‍රී ලංකාව ආසියානු කුසලානයෙන් ඉවතට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන්ට ද යමක් කළ හැකි බැව් ඔප්පු කළ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ (17) අබුඩාබි හි ෂෙයික් ෂායෙට් ක්‍රීඩාංගණයේ දී පැවැති ශ්‍රී ලංකාව හා තරගයේ දී ලකුණු 91ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය.

ආසියානු ක්‍රිකට් තරගාමාලාවේ තමන් සහභාගී වූ 50 වැනි තරගය කඳුළුන් සැමැරූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇෆ්ගනිස්තානය ඉදිරියේ පරාජය වූ හ. ඔවුන් මෙම පරාජය ලබන්නේ නිමා වූ 2014 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද ශූරයන් ලෙසිනි. මෙම තරග පරාජයත් බංග්ලාදේශය වෙතින් ලත් පරාජයත් හේතුවෙන් ශ්‍රී ලංකාව 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් එළියට ද වීසි වුණි.

සම්පූර්ණ වාර්තාව: සාර්ථක ආරම්භයක් කඳුලෙන් පුරවමින් සවුදිය ශ්‍රී ලංකාව හඬවයි

වොලිබෝල් –

සවුදි ක්‍රීඩකයින්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක්

1st Asian Men's challenge trophyආසියානු වොලිබෝල් සංගමයේ පූර්ණ අනුදැනුම සහිතව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ඩයලොග් 4G Home Broadband සංකලනයෙන් පළමු වරට සංවිධානය වන ආසියානු අභියෝගතා පිරිමි වොලිබෝල් තරගාවලියේ තෙවන දිනය වූ ඊයේ (17), තරගාවලියේ පළමු පරාජය අත් විඳින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

දිනයේ සිව්වැනි තරගය ලෙස සත්කාරක ශ්‍රී ලංකාව හා ප්‍රබල සවුදි අරාබිය තරග වැදුණු අතර ශ්‍රී ලංකාවේ අපරාජිත වාර්තාව බිඳ දමමින්, සාර්ථක ආරම්භයක් සුනුවිසුනු කර වට 3-1ක ජයක් හිමි කර ගන්නට ප්‍රබල සවුදි ක්‍රීඩකයෝ සමත් වූහ. තරගයේ පළමු වටයේ ශ්‍රී ලංකාව දක්ෂ ලෙස ක්‍රීඩා කළත්, ප්‍රබල සවුදි ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවෙන් නොසිතූ ලෙස ජය උදුරා ගන්නා ලදි.

සම්පූර්ණ වාර්තාව: සාර්ථක ආරම්භයක් කඳුලෙන් පුරවමින් සවුදිය ශ්‍රී ලංකාව හඬවයි

පාපන්දු –

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි තරගයත් පරාදයි

16න් පහළ කාන්තා ආසියානු පාපන්දු ශූරතාවය වෙනුවෙන් සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වෙන තරගාවලියේ ඊයේ (17) පැවති තරගයකින් ජෝර්දානය හමුවේ 7-0ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු විය. තරගය පැවැත්වුණේ කොළඹ CR & FC ක්‍රීඩාංගණයේ දී ය. ඒ අනුව ආසියානු තරගාවලියට සුදුසුකම් ලැබීම මේ වන විට ශ්‍රී ලංකාවට අපහසු කරුණක් වී ඇත.

තරගයේ මුල් මිනිත්තු කිහිපයේ දී ප්‍රබල ජෝර්දාන් කණ්ඩායමට හොඳ අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි විය. ජෝර්දානය දුර සිට පහරවල් එල්ල කිරීමට  වැඩි කැමැත්තක් දක්වන බව පෙනී ගිය අතර ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවන් ද ඉතා සාර්ථකව එම ප්‍රහාර වළක්වාලන ලදි.

සම්පූර්ණ වාර්තාව: පිට පිට දෙවැනි වරටත් ශ්‍රී ලංකාවට පරාජයක්

දිනයක අවසානය