ගෙවුණු දවස අගෝස්තු 04 – පෙරළි රැසක් සමඟින් වොලිබෝල් සංග්‍රාමය නිමයි

243

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

     ක්‍රිකට්    

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලිය තියුණු අඩියකට

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා නැගී එන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 241ක් ඉදිරියෙන් පසුවීමට දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සමත් විය.

ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 40ක් ලබාගෙන සිටියේය.

ඊයේ (3) සවස පුරා පැයකට ආසන්න කාලයක් පිතිකරණයේ නිරත වුන ටෝනි ඩී සොර්සි හා රයන් රෙකිල්ටන් තෙවන දිනය වූ ඊයේ (4) දිනයේ උදෑසන කාලය තුලත් සිය පිතිකරණ රිද්මය තවදුරටත් පවත්වා ගෙන යමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 83ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.

සම්පූර්ණ වාර්තාව: සොර්සිගේ ශතකයෙන් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගය තියුණු තැනකට


   මලල ක්‍රීඩා   

මලල ක්‍රීඩා පිටියේ ශූරයෝ වාර්තා තබති

96 වන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවන දිනය ඊයේ (04) ක්‍රියාත්මක විය. දිනය පුරාවට නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් සමඟින් තරග වාර්තා දෙකක් ද බිහිවීම කැපී පෙනිණ. ඒ අතරට පිරිමි දස ප්‍රයාම ඉසව්වෙන් අජිත් කරුණාතිලක නව ශ්‍රී ලංකා වාර්තාවක් ද, සත් ප්‍රයාම ඉසව්වෙන් ලක්ෂිකා සුගන්ධි නව ශ්‍රී ලංකා වාර්තාවක් ද, මීටර් 100 පිරිමි ඉසව්වෙන් හිමාෂ එෂාන් නව තරගාවලි වාර්තාවක් ද සමඟින්  මීටර් 1500 කාන්තා ඉසව්වෙන් නිලානි රත්නායක නව තරගාවලි වාර්තාවක් ද තැබූහ.

සම්පූර්ණ වාර්තාව: දෙවැනි දිනයේ දී ශ්‍රී ලංකා වාර්තා දෙකක් හා නව තරග වාර්තා දෙකක්


  වොලිබෝල්  

ධම්මිස්සර ක්‍රීඩකයින් රුවන්වැල්ලට බැටදේ

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ වැදගත්ම හා උද්වේගකරම ඉසව්ව වන වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගය ඊයේ (4) දිනයේ අවසන් තරගය ලෙස මහරගම යොවුන් කැදැල්ලේ දී පැවැත්වුණා.

දිවයිනේ වොලිබෝල් ක්‍රීඩාවට නම් දැරූ සුපිරි කණ්ඩායම් දෙකක් වන නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය තරගාවලියේ ශූරයින් ලෙස තමන්ගේ පාසලට ගෞරවය රැගෙන යන්නට තියුණු සටනක නිරත වූ අතර සුපිරි වේගවත් ක්‍රීඩා රටාවකින් ක්‍රීඩා පිටිය දෙවනත් කළ නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩකයින් වට 3-0ක් ලෙස ජයග්‍රහණය තමන් සතු කරගත්තේ වයස අවුරුදු 19න් පහළ ශූරතාව තමන් සතු කර ගනිමින්.

දිනයක නිමාව