ගෙවුණු දවස අගෝස්තු 01 – වොලිබෝල් ක්‍රීඩකයින්ට තියුණු ජයක්

157

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ශ්‍රී ලංකාවේ දුර්වලතා නිසා දෙවැනි තරගයක් පරාදයි

තිසර පෙරේරා සහ සුරංග ලක්මාල් තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ සුවිශේෂී කඩුලු කඩඉම් ස්පර්ශ කළ ද රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ඊයේ (01) නිමා වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී කඩුලු 4ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වුනා. එම ජයග්‍රහණයත් සමඟින් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් සේ ඉදිරියෙන් පසු වීමට ඔවුන් සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 244ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 246ක් ලබා ගත්තා. මේ වෙනුවෙන් ඔවුන් උපයෝගී කර ගත්තේ පන්දුවාර 43ක් පමණයි.

සම්පූර්ණ වාර්තාව: තිසර සහ ලක්මාල් කඩුලු කඩඉම් සමරද්දී ආගන්තුකයින් තරගය ජය ගනී

වොලිබෝල් –

ලංකා ලයන්ස්ට තවත් ජයක්

මියන්මාරයේ Nay Pyi Taw හිදී මේ දිනවල පැවැත්වෙන ආසියානු පිරිමි ක්‍රීඩා සමාජ වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන “ලංකා ලයන්ස්” කණ්ඩායම ඊයේ දින (01) තම කාණ්ඩයේ අවසන් තරගය සඳහා තායිලන්තය නියෝජනය කරන “නාකොන් රැචසිමා” කණ්ඩායම සමඟ තරග වැදුණි.

ඉතාමත් උණුසුම් තරගයක් වූ එම තරගය වට 3-2ක්  ලෙස තියුණු ජයක් ලැබීමට “ලංකා ලයන්ස්” කණ්ඩායම සමත් විය. එම ජයත් සමඟ ඔවුන් ක්‍රීඩා කරන C කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 8ක් ලබා ගනිමිනි. තායිලන්තය නියෝජනය කරන “නාකොන් රැචසිමා” කණ්ඩායම එම කාණ්ඩයේ දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

සම්පූර්ණ වාර්තාව: ලයන්ස් ඉදිරියේ රැචසිමා දණ නමයි

මලල ක්‍රීඩා –

පදක්කම් දිනූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූල්‍යාධාර

පදක්කම් 11ක් සමඟින් ජපානයේ ජීෆු හිදී අවසන් වුන 2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල තෙක් මූල්‍ය ආධාර ලබා දීමට තීරණය කර තිබේ.  

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයක දී මේ බව නිවේදනය කළ අතර එම උත්සවයට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු හා ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියහ.

සම්පූර්ණ වාර්තාව: ආසියාව ජය ගත් කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2024 තෙක් මූල්‍ය සහය

දිනයක අවසානය