ප්‍රශ්න ඇතිවීම සාමාන්‍යයි – අපි සූදානම් – චන්දිමාල්

527

පිටිය තුළ සහ ඉන් පිටත විවිධාකාර ගැටලු මතුවීම ඕනෑම ක්‍රීඩකයෙකු මුහුණ දීමට සූදානම්ව සිටිය යුතු තත්ත්වයක් බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි. දකුණු අප්‍රිකාව සමඟ ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් චන්දිමාල් මේ බව පැවසීය.

නොදැවුණු ශතකයක් සමඟින් තිරිමාන්න වීරයා වෙයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හී ෂෙයික් කමාල් ඇකඩමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි නිල නොලත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය…

දිවයිනට පැමිණ සිටින දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ෆැෆ් ඩුප්ලේසී සහ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව ඊයේ (06) කොළඹ දී පැවැත්වුණු අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා, ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මෙන්ම දකුණු අප්‍රිකා පුහුණුකරු ඔටිස් ගිබ්සන් ද සහභාගී වී සිටින ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකවරයා විසින් පිරිස පිළිගැනීමෙන් අනතුරුව අදහස් පල කළ ෆැෆ් ඩුප්ලේසී සඳහන් කළේ දඟපන්දු යවන්නන් හට වඩාත් සහය දක්වන ශ්‍රී ලංකා තණ තීරු වල ක්‍රීඩා කිරීම සිය කණ්ඩායමට හොඳ අභියෝගයක් වනු ඇති බවයි.

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති  දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුව පලුදු කිරීමේ චෝදනාවක් එල්ල වූ අවස්ථාවේ දී පිටියට පැමිණීම ප්‍රමාද වීමේ හේතුවෙන් චන්දිමාල්ට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ද තරග තහනමක් පැනවීමේ අවදානමක් මතුව තිබෙන අවස්ථාවක, එතරම් ප්‍රශ්න මැදින් කණ්ඩායම තරගාවලියට සූදානම් වන ආකාරය පිළිබඳව මෙහි දී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා ටෙස්ට් නායකයාගෙන් ප්‍රශ්න කරන ලදි. එහි දී චන්දිමාල් පැවසුවේ මෙවන් ගැටලු මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවයි. කොදෙව් සංචාරයේ දී ලද ජයග්‍රාහී අත්දැකීම් හේතුවෙන් ක්‍රීඩකයන් හොඳ මානසිකත්වයකින් යුතුව මෙම තරගාවලියට සූදානම් වන බවත් චන්දිමාල් මෙහි දී පෙන්වා දෙන ලදි.

චන්දිමාල් මෙන්ම රස කැවිල්ලක් භාවිතයෙන් පන්දුවේ ස්වාභාවය වෙනස් කිරීමේ සිදුවීමකට දඬුවම් විඳි දකුණු අප්‍රිකා නායක ෆැෆ් ඩුප්ලේසී ගෙන් පන්දුව පලුදු කිරීම පිළිබඳ විමසූ විට ඔහු ලබා දුන්නේ මේවන් පිළිතුරක්.

“පන්දුව පලුදු කිරීමට වඩාත් දැඩි දඬුවම් ලබා දිය යුතු බව මම විශ්වාස කරනවා. නමුත් පන්දුව පලුදු කරනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි නිසි ආකාරයෙන් පැහැදිලි කළ යුතුයි. ඒ පිළිබඳ තීරණ ගැනීමේ දී රූපවාහිනී දර්ශන මත කොතෙක් දුරට රඳා පවතිනවා ද යන්න වැනි කරුණු පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දිය යුතු බව මගේ මතයයි.”

ක්‍රීඩා පිටිය තුළ රස කැවිලි භාවිතය පිළිබඳ ප්‍රශ්න එල්ල වුනේ ඩුප්ලේසී හට පමණක් නොවේ. ”තවදුරටත් පිටිය තුලට එවන් පැණි රස කෑම ගෙන යාමට බලාපොරොත්තු වනවා ද?” යනුවෙන් මාධ්‍යවේදියෙකු චන්දිමාල් වෙත ප්‍රශ්නයක් නැගීය. චන්දිමාල් ඊට පිළිතුරු දුන්නේ රස කැවිලි භාවිත කරන්නේ කුමක් සඳහා ද යන ගැටලුවට ද පැහැදිලි කිරීමක් සපයමින්.

මෙම මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව චන්දිමාල් සහ ඩුප්ලේසී දීර්ඝ පිළිසඳරක නිරත වී සිටියේ ඔවුන් දෙදෙනාටම මුහුණ දීමට සිදු වූ පොදු චෝදනාව වන රස කැවිලි භාවිතයෙන් පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම පිළිබඳව ද යන්න එම ස්ථානයේ සිටි බොහෝ දෙනාට ඇතිවූ හාස්‍යජනක හැඟීමකි

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර දෙදින පුහුණු තරගය අද (07) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ලබන 12 වැනිදා යි. කෙසේ වෙතත් ඊට පෙර දින පැවැත්වෙන ICC විනය පරීක්ෂණයේ දී මෙම තරගාවලිය සඳහා නායක චන්දිමාල්ගේ, පුහුණුකරු හතුරුසිංහගේ මෙන්ම කළමනාකරු ගුරුසිංහගේ ද සහභාගීත්වය තීරණය කෙරෙනු ඇති.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<