මෙම මස 14 වනදා සිට 20 වනදා දක්වා මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු රග්බි ශූරතාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යාමේ භාර දූර වගකීම  මහනුවර ක්‍රීඩා සමාජයේ නායක රොෂාන් වීරරත්න හට පැවරී ඇත.

ෆීජී ජාතික පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ විශ්වාසයෙන්

ශ්‍රී ලංකා රග්බි පරිපාලකයන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ෆීජී ජාතික ෆෙරටි වර්බුලා..

ඔහු ලීග් හා පිළිමළුන් පිටුදැකීමේ තරගාවලි ද්විත්වයේ දී ම මහනුවර කණ්ඩායම සාර්ථක ව මෙහෙයවූ අතර ඔහුගේ පුහුණුව යටතේ ශූරතා දෙකම ජයග්‍රහණය කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. රොෂාන් ප්‍රතිභාපුර්ණ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයෙකු වන අතර ඔහුගේ වේගවත් තීරණ ගැනීමේ හැකියාව විශේෂයෙන්ම කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් වෙත පන්දුව යොමු කිරීම සහ ඔහුගේ උපක්‍රමශීලී පා පහර ඔහු සාර්ථක ක්‍රීඩකයෙකු බවට පත් කර ඇත. ඔහු සිය ප්‍රථම ජාතික කණ්ඩායමේ නියෝජනය 2010 වසරේ දී ආසියානු පස් සාමාජික රග්බි තරගාවලියෙන් ආරම්භ කළ අතර ඔහු සතුව තමන් සහභාගී වූ ප්‍රථම‍ ජාත්‍යන්තර තරගාවලියම ජයග්‍රහණය කිරීමේ සොඳුරු මතක ද ඇතුවාට නොඅනුමානයි. එතැන් පටන් මේ වන තෙක් ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වය දරන වීරරත්න විසින් පසු ගිය වසරේ පෙන්වූ ක්‍රීඩා කෞශල්‍යය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම් නායකත්වය සඳහා ඔහුගේ සුදුසුකම් පැහැදිලිව පෙන්වනු දක්නට ලැබුණි.

ශ්‍රී ලංකාව ආසියානු රග්බි ශූරතාවලිය තුළ පිලිපීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා සත්කාරක මැලේසියාව හා තරග වැදීමට නියමිතව ඇත. පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්වූයේ ෆිජි ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කළ මැලේසියානු කණ්ඩායමට පමණක් පරාජය වෙමිනි. නමුත් මෙවර එම වැරදි නිවැරදි කර ගනිමින් ප්‍රමුඛ පෙලේ තරගාවලිය සඳහා වරම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම නිසැකවම උත්සාහ කරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සූදානම් කිරීමේ කටයුත්ත ෆීජී ජාතික ෆෙරෙට් වර්බුලා හට පැවරී ඇත. ඔහු පසුගිය තරග වාර දෙකේ දී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක් බවට පත් කිරීමට කටයුතු කළ අතර අත්දැකීම් අතින් මෙන්ම දේශීය රග්බි ක්‍රීඩකයන් ගැන අවබෝධයක් ඇති පුහුණුකරුවෙකු වීම මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් දැක්වීම කෙරෙහි අතිශයින් දායක වනු ඇති.

ThePapare.com හා පිළිසඳරකට එක්වූ නව නායක රොෂාන් වීරරත්න මෙසේ අදහස් දැක්වීය.

“මම නිහතමානීව ආඩම්බර වෙනවා ශ්‍රී ලංකා පළමු පෙල රග්බි කණ්ඩායමේ නායකත්වයට පත්වීම ගැන. එය භාර දූර වගකීමක්, නමුත් මෙය මට කුඩා කල පටන් තිබූ සිහිනයක්. අප සතුව දක්ෂ නවක ක්‍රීඩකයන් රැසක් සිටිනවා. ඒ වගේම මෙය ෆාසිල් මරීජාගේ අවසන් තරගාවලිය ද වෙනවා. මම ඇත්තෙන්ම ආඩම්බර වෙනවා එවැනි ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන කණ්ඩායමක් මෙහෙයවීමට ලැබීම සම්බන්ධයෙන්. ඔහු සමඟ මෙපමණ කාලයක් මම ක්‍රීඩා කළා. ඉතින් මම කල්පනා කරන ආකාරයට ඔහුට දිය හැකි හොඳම ත්‍යාගය මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමයි. “

රොෂාන්ට ඔහුගේ සොහොයුරු ගයාන් වීරරත්නගේ සහයෝගය මෙම තරගාවලිය තුළ දී නොලැබෙනු ඇත. ගයාන් අසනීප තත්ත්වයක් හේතුවෙන් පුහුණුවීම් සඳහා සහභාගී නොවීම එයට හේතුවයි. රොෂාන් වීරරත්න 2010 වසරේ දී ජාතික කණ්ඩායමේ වරම් දිනා ගැනීමෙන් පසුව ඔවුන් දෙදෙනා එකට ක්‍රීඩා කරනු දක්නට නොලැබෙන ප්‍රථම අවස්ථාව ද  මෙය වනු ඇත. දැනට පවතින 31 දෙනෙකුගෙන් සමන්විත සංචිතය මෙම සිකුරාදා (05) වන විට 25 දෙනෙකුගෙන් සමන්විත සංචාරක සංචිතය දක්වා අඩු කරනු ඇති අතර ඔවුන් එළඹෙන සතියේ දී මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට