ධනුෂ්ක රංජන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම, මාර්තු 17 සිට 19 වැනි දා දක්වා පැවැත්වෙන බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගී වීම සඳහා මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතයි.

බෝර්නියෝ සෙවන්ස් යන ශ්‍රී ලංකා රග්බි සංචිතය

එළඹෙන සතියේ මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත බෝර්නියෝ සෙවන්ස් රග්බි තරගාවලිය සඳහා සහභාගී වීමට පහළොස් දෙනෙකුගෙන් යුතු සංචිතයක් ජාතික රග්බි තේරීම් කමිටුව විසින් තෝරා පත් කරගෙන තිබේ..

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පසුගිය වසරේ දී ආසියානු සත් සාමාජික තරග මාලාවේ අනුශූරතාව දිනා ගනිමින් ඉතිහාසය අලුතින් ලියන්නට සමත් වුනේ හිටපු එංගලන්ත සත් සාමාජික රග්බි ක්‍රීඩක මැට් ටර්නර් යටතේයි.

මේවර කණ්ඩායමේ පුහුණුකරු තනතුර නවසීලන්ත හිටපු සත් සාමාජික රග්බි ක්‍රීඩකයකු වන පීටර් වුඩ්ස් හට පැවරී ඇති අතර ඔහු විශ්වාස කරන්නේ මෙය ආරාධිත තරගාවලියක් වුවද, එහි අත්දැකීම් ලබන මස හොං කොං හීදී පැවැත්වෙන ලෝක ශූරතා සත් සාමාජික රග්බි සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා හොඳ සූදානමක් වනු ඇති බවයි.

ThePapare.com වෙත අදහස් දක්වමින් වුඩ්ස් පැවසුවේ, ”මම අනවශ්‍ය විදිහට ඉදිරිය ගැන කල්පනා කරන්නේ නැහැ. අවිවාදයෙන්ම බෝනියෝ තරගාවලියෙන් පසු මේ සංචිතය වෙනස් වෙයි. ඉන් පසුව තිබෙන්නේ හොං කොං හී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය.”

ඔහු වැඩිදුරටත් මෙම තරගාවලියේ තිබෙන වැදගත්කම පිළිබඳව ද දහස් පල කරන ලදී. ”අපේ ක්‍රීඩකයන් හට සත් සාමාජික තරග රටාවට හැඩ ගැසීම සඳහා තිබෙන හොඳම ක්‍රමය තමයි මෙවන් තරගාවලි ක්‍රීඩා කිරීම. එමෙන්ම පුහුණුකරුවෙකු ලෙස මට ක්‍රීඩකයන් සමඟ සබඳතාව ගොඩ නගා ගැනීමටත් මෙය හොඳ අවස්ථාවක්.’‘ වුඩ්ස් වැඩිදුරටත් පැවසුවේ දේශීය අන්තර් සමාජ තරගාවලිය අවසන් වී වැඩි කලක් ගත නොවීම නිසා තවමත් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සත් සාමාජික තරග රටාවට හැඩගැසී නොමැති බැවින් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව තමන් විසින් ඉතා සුපරික්ෂාකාරීව අධ්‍යනය කිරීමට  බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත් හොං කොං තරගාවලිය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පියවර කිහිපයක් ඉදිරියට ගොස් සිටිනු ඇති බවත් ඔහු පැවසීය.

පසුගිය දා අවසන් වූ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා මෙන්ම මෙවර ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායකයා ද වන මහනුවර ක්‍රීඩා සමාජයේ ධනුෂ්ක රංජන් තරගාවලිය පිළිබඳව පල කළේ මෙවන් අදහසක්. ”මේ තරගාවලියේ දී විශිෂ්ට ගණයේ ජාත්‍යන්තර කණ්ඩායම් සමඟ ක්‍රීඩා කරන්නට ලැබීම අපට විශාල අත්දැකීමක් වෙයි. අපිට ඉන්නේ ඉතාමත් යොවුන් කණ්ඩායමක්. මට විශ්වාසයි අපි හොඳින් මේ තරගාවලියට මුහුණ දෙයි කියලා.”

මෙම තරගාවලිය සඳහා නම් කළ  සංචිතයට නාවික හමුදා ක්‍රීඩක දිනූෂ චතුරංග, හැව්ලොක් ක්‍රීඩක නිශෝන් පෙරේරා සහ CR & FC ක්‍රීඩක අනුරාධ හේරත් ඇතුළත් නොවීම කැපී පෙනෙන අතර ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) රාත්‍රියේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය.

. ධනුෂ්ක රංජන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ධනුෂ් දයාන්, ජේසන් දිසානායක, රිචඩ් ධර්මපාල, සුහිරු ඇන්තනි (මහනුවර ක්‍රී. ස.)
. සුදර්ශන මුතුතන්ත්‍රී, කෙවින් ඩික්සන් (හැව්ලොක් ක්‍රී. ස.)
. කවිඳු පෙරේරා, ඔමල්ක ගුණරත්න (CR & FC)
. සාලිය හඳපාන්ගොඩ (නාවික හමුදාව)
. රීසා රෆායිඩීන් (පොලිස් ක්‍රී. ස.)

පුහුණුකරු – පීටර් වුඩ්ස්, කළමනාකරු – රොහාන් චින්තක, ශාරීරික යෝග්‍යතා පුහුණුකරු – නික් ග්‍රෝබ්, භෞත චිකිත්සක – අමිත් ජයසේකර, ඉහල දස්කම් පුහුණුකරු – ඉන්ති මරික්කාර්.

ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම ද බෝනියෝ තරගාවලිය සඳහා පිටත්ව යාමට නියමිත අතර එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ සුදත් සම්පත් ය.

”ආසියානු සත් සාමාජික තරග බිමේ හොඳ දස්කම් ප්‍රකට කිරීම සඳහා මෙම තරගාවලියේ අත්දැකීම් අපට ඉතා ප්‍රයෝජනවත් වෙනු ඇති. අපි ඉතා හොඳින් පුහුණුවීම් කටයුතු වල නිරත වුනා, ඉතින් මෙම තරගාවලියේදීත් හොඳින් ක්‍රීඩා කරමින් ඒ අතරම බොහෝ දේ ඉගෙන ගන්නටත් බලාපොරොත්තු වෙනවා.” සුදත් ThePapare.com සමඟ පැවසීය.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය

රන්දිකා කුමුදුමලී (නායිකා), අනුෂා අත්තනායක, අයේෂා පෙරේරා, අයේෂා කළුආරච්චි, චරනි ලියනගේ, දසුනු ද සිල්වා, දිලිණි කාංචනා, දුලානි පල්ලිකොන්දගේ, නදීකා මුණසිංහ, සංජීවනී ද සිල්වා, තනුජා වීරක්කොඩි, වාසනා වීරක්කොඩි.

  • පුහුණුකරු – සුදත් සම්පත්
  • කළමනාකාරිනී – පියුමිකා තිලකවර්ධන
  • භෞත චිකිත්සක – රුවනි දීපිකා
  • ශාරීරික යෝග්‍යතා පුහුණුකරු – ඩිලාන් සොයිසා
තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට