පළමු තරගය කණපිට හරවන්නට මගක් සොයා සිංහයන් සටනට

2451

බංග්ලාදේශය සමඟ තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 90කින් පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලිය තුල සක්‍රීයව රැඳී සිටින්නට නම් පන්දු යැවීම, රැකීම සහ පිතිකරණය යන අංශ තුනෙන්ම සම්පූර්ණ දක්ෂතා වෙනසක් සිදු කළ යුතුව තිබේ.

තමීම් සහ ශකීබ් ශ්‍රී ලංකාව සමතලා කරයි

මීට පෙර කිසිම දිනක මෙරට පැවති සම්පූර්ණ එක්දින තරගයක දී ශ්‍රී ලංකාව පරාජය කරන්නට බංග්ලාදේශයට හැකිව තිබුණේ නැත…

පළමු තරගය තුල දී මෙම අංශ තුනෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම අභිබවා යන්නට සමත් වූ බංග්ලාදේශ ක්‍රීඩකයන් සියල්ලට පමණක් නොව සියලු ජාත්‍යන්තර ක්‍රිකට් බලවේග වෙත දැනුම් දුන්නේ තමන් තවදුරටත් දෙවන ස්ථානයේ ලා සැලකිය හැකි කණ්ඩායමක් නොවන බවයි.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ බල ඇණිය සඳහා යම් අස්වැසිල්ලක් එක් කරමින් ලකුණු අතර සිටින පිතිකරු නිරෝෂන් දික්වැල්ල දෙවන තරගය සඳහා කණ්ඩායම සමඟින් එක්වීමට නියමිතව තිබේ.

තරග තහනමක් හේතුවෙන් පළමු තරගය අහිමි වූ දික්වැල්ලගේ පැමිණීමත් සමඟ නායක උපුල් තරංග සමඟ ආරම්භක පිතිකරණ ස්ථානය ඔහුට හිමිවනු ඇත. පළමු තරගයේ දී විශේෂඥ පිතිකරුවන් 5 දෙනෙක් පමණක් සමඟින් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරගය සඳහා කණ්ඩායමේ සංයුතිය තීරණය කරන ආකාරය අනුව ධනුෂ්ක ගුණතිලක තවදුරටත් කණ්ඩායමේ රැඳී සිටිනවා ද යන්න තීරණය වෙනු ඇත. ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීම සඳහා ද යම් ඉඩක් පවතින නමුත් පළමු තරගයේ දී පන්දු යවන්නන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායමේ සංයුතිය පිළිබඳ අවසන් තීරණයක් පිළිබඳ අනාවැකි පල කිරීම තරමක් අපහසු කාර්යයකි.

තිසර පෙරේරා වසර දෙකකට පසු වාර්තා කළ එක්දින අර්ධ ශතකය ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ දුර්වලතා යම්තාක් දුරකට මකා දමන්නට සමත් වුවත් පන්දු යවන්නෙකු ලෙස ඔහුගෙන් බලාපොරොත්තු වූ කාර්ය භාරය මෙම තරගයේ දී ද ඉටු නොවීය. සචිත් පතිරණ ද පන්දුවෙන් දැනෙන යමක් කරන්නට අසමත් වුවත් පිතිකරණයේ දී බංග්ලාදේශ පන්දු අභියෝගයට යම් ප්‍රතිරෝධයක් දක්වන්නට ඔහුට හැකි විය. එම තරගයේ දී තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට කැඳවා සිටි මිලින්ද සිරිවර්ධන පන්දු යැවීම සඳහා භාවිත නොකිරීම කුතුහලය දනවන කරුණක් වන්නේ, විශේෂඥ පිතිකරුවෙකු යොදා ගැනීමට තිබූ ස්ථානයක් සඳහා පන්දු යැවීමට භාවිත නොකරන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු යොදා ගැනීමේ පදනම කුමක් දැයි සිතා ගැනීම අසීරු වීම හේතුවෙනුයි. බංග්ලාදේශ කණ්ඩායමේ වමත් පිතිකරුවන් රැසක් සිටින බැවින් පිට දඟ පන්දු යැවීමේ ප්‍රයෝජනවත් හැකියාවක් ද ඇති ධනංජය ද සිල්වා පිළිබඳ තේරීම් කමිටුවේ අවධානය යොමු වීමේ ඉඩ කඩ පවතියි.

ලක්ෂාන් සඳකැන් සහ සුරංග ලක්මාල් පළමු තරගය තුල දී පන්දුවෙන් ඉටු විය යුතු වගකීම සෑහෙන දුරට ඉටු කළ ද සුරංග හට තම නියමිත පන්දු වාර සංඛ්‍යාව අවසන් කරන්නට නොහැකි වුනේ දකුණතේ පන්දුවක් වැදීම හේතුවෙනුයි. කෙසේ වෙතත් හෙට (28) තරගය සඳහා ඔහු නිසි සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වනු ඇති බවට වාර්තා වෙයි. පළමු තරගයේ දී ලහිරු කුමාරගේ පන්දු යැවීම ඉතා දුර්වල මට්ටමක පැවතුනා පමණක් නොව ඔහුගේ පන්දු රැකීම ද අතිශය ප්‍රාථමික තත්ත්වයේ පැවතීම හේතුවෙන් මෙම තරගය සඳහා විකුම් සංජය හට කණ්ඩායමේ දොරගුළු විවර වීමේ වැඩි ඉඩ කඩක් පවතියි.

අපේක්ෂිත කණ්ඩායම: නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, සචිත් පතිරණ, සුරංග ලක්මාල්, විකුම් සංජය, ලක්ෂාන් සඳකැන්.

බංග්ලාදේශය

පසුගිය ඉරිදා පැවති තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ දස්කම් පිළිබඳ කිසිඳු අඩු පාඩුවක් සොයා ගත නොහැකි තරම්ය. දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයෙන් උදම් වී සිටි බංග්ලාදේශ කණ්ඩායම එක්දින තරගාවලිය තුල දී අහසින් පොලවට ඇද වැටෙනු ඇතැයි බලාපොරොත්තු වූ පිරිසට ඔවුන් පෙන්වා දුන්නේ තමන් තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරන්තර ප්‍රහාරයන්ට ලක්ව අසරණ වූ කණ්ඩායමක් නොවන බවයි. එබැවින් බංග්ලාදේශ තේරීම් කමිටුව ජයග්‍රාහී සුසංයෝගය වෙනස් කිරීම සඳහා එතරම් අවධානයක් යොමු නොකරනු ඇත.

බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණ පසුපස තිබෙන ප්‍රධාන ශක්තිය වන්නේ ඔවුන්ගේ ක්‍රීඩකයන් තම දස්කම් ස්ථාවරව රඳවා ගැනීමයි. තමීම් ඉක්බාල් සහ ෂකීබ් අල් – හසන් වැන්නවුන් දිගු ඉනිම ගොඩ නගන විට සෝම්‍යා සර්කාර් සහ සබීර් රහ්මාන් වැනි ක්‍රීඩකයන් නිරතුරුවම ඔවුන්ට සහය දීම කැපී පෙනෙන කරුණකි. එමෙන්ම මුස්ටෆිසුර් රහ්මාන්, ටස්කින් අහමඩ් සහ නායක මශ්රෆී මෝටාසා සම්පූර්ණ ඉනිම තුල දී ම තම පීඩනය රඳවා ගනිමින් වරින් වර කඩුලු බිඳ දමන්නට සමත් විය. මෙහෙදි හසන් තම එක්දින ආගමනය සනිටුහන් කිරීමෙන් තවදුරටත් ශ්‍රී ලංකා පිතිකරුවන් හට නිරතුරුවම ලකුණු ඉලක්ක කළ හැකි දුර්වල පන්දු යවන්නෙක් බංග්ලාදේශ කණ්ඩායම තුල නොමැති තත්ත්වයක් උද්ගතවී තිබේ.

පිතිකරණ සහ පන්දු යැවීමේ හැකියාවන් අභිබවමින් කණ්ඩායම් දෙක අතර ප්‍රධාන වෙනස බවට පත්ව තිබෙන්නේ පන්දු රැකීමයි. පළමු තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වලතා හමුවේ ලකුණු 20කට නොඅඩු ප්‍රමාණයක් බංග්ලාදේශ ලකුණු පුවරුවට තිලිණ කෙරෙද්දී, බංග්ලාදේශ පන්දු යවන්නන් හට පීඩනය රඳවා ගන්නට ඔවුන්ගේ පන්දු රකින්නන් ගෙන් විශාල සහයක් හිමි විය.

අපේක්ෂිත කණ්ඩායම : සෝම්‍යා සර්කාර්, තමීම් ඉක්බාල්, සබීර් රහ්මාන්, මුශ්ෆිකුර් රහීම්, ෂකීබ් අල් – හසන්, මොසඩෙක් හොසේන්, මහමුදුල්ලා, මශ්රෆී මෝටාසා, මෙහෙඩි හසන්, ටස්කින් අහමඩ්, මුස්ටෆිසුර් රහ්මාන්.

  ක්‍රිකට් පුවත් සඳහා රැඳී සිටින්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට සමඟින්