අගනුවර ක්‍රීඩකයෝ උඩරට පරාජය කරමින් ශූරතාවය දිනති

444

ThePapare.com අනුග්‍රහයෙන් පැවැත්වුණු කොළඹ පාසල් කණ්ඩායම (Colombo Blues කණ්ඩායම) හා මහනුවර පාසල් කණ්ඩායම (Kandy Reds කණ්ඩායම) අතර සුහද රග්බි තරගාවලියේ දෙවන අදියර අද (20) රත්මලාන ගුවන් හමුදා රග්බි ක්‍රීඩාංගණයේ දී අවසන් වූයේ ලකුණු 22-07ක් ලෙස කොළඹ කණ්ඩායමට ජය හිමිකර දෙමිනි.

මඟ හැරුණු දඬුවම් පහරෙන් කන්ද උඩරට බිඳ වැටේ

ThePapare.com අනුග්‍රහයෙන් පැවැත්වුණු, කොළඹ පාසල් කණ්ඩායම (Colombo Blues කණ්ඩායම) හා මහනුවර පාසල් කණ්ඩායම (Kandy Reds කණ්ඩායම) අතර සුහද රග්බි…

ඒ අනුව 2018 වසරේ ThePapare.com කොළඹ පාසල් හා මහනුවර පාසල් අතර සුහද රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ පාසල් කණ්ඩායම සමත් විය.

තරගාවලියේ පළමු අදියර මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර තියුණු තරගයකින් පසු ලකුණු 12-14ක් ලෙස පළමු අදියර ද ජය ගැනීමට සමත් වූයේ කොළඹ පාසල් කණ්ඩායමයි.

කොළඹ හා මහනුවර පාසල්වල පසුගිය පාසල් රග්බි තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් මෙම සුහද තරගාවලිය පැවැත්වුණු අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි තරගාවලියට තේරීම් තරගාවලියක් ලෙස ද මෙම තරගාවලිය යොදා ගැනුණි.

කොළඹ ක්‍රීඩකයින්ට නොසිතූ අභියෝගයක් එල්ල කළ මහනුවර ක්‍රීඩකයෝ පළමු මිනිත්තු 23 පුරාම පන්දුව වැඩි කාලයක් තමන් සතුව තබා ගනිමින් දක්ෂ ක්‍රීඩා විලාශයක නිරත වූ නමුත් ඉතා වැදගත් අවස්ථාවන් හිදී ඔවුන් විවිධ අතපසුවීම් සිදු කළේ ලකුණු රැස් කිරීමට තිබූ අවස්ථා රැසක් අපතේ යවමිනි.

පළමු මිනිත්තු කිහිපය පුරා කොළඹ ක්‍රීඩකයින් අතපසුවීම් රැසක් සිදු කළ අතර ප්‍රතිවාදීන්ට දඬුවම් පහර අවස්ථා හයකට වඩා ඔවුන්ගෙන් මහනුවර වෙත හිමි විය. 13 වන මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ඉෂාර හේරත් අසමත් වූ අතර 20 වන මිනිත්තුවේ දී මහනුවර වෙනුවෙන් විශිෂ්ට ධාවනයක නිරත වූ විශ්ව රණරාජා උත්සාහක දිනුම් රේඛාව පෙනෙන මානයේ සිට පිටියෙන් ඉවතට තල්ලු කර දැමීමට කෙනෙත් විමලදාස සමත් විය.

මහනුවර ක්‍රීඩකයින්ට අවස්ථා ගිලිහුනත් කොළඹ ක්‍රීඩකයෝ හිමිවුණු පළමු අවස්ථාවේම ලකුණු රැස් කළ අතර 29 වන මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩකයින්ගේ වැරදුණු ‘Line out’ අවස්ථාවක් මනා ලෙස ප්‍රයෝජනයට ගනිමින් අබ්දුල්ලා ෆායිස් උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා යාමට සමත් විය. තුවාන් සාමීර් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (කොළඹ 07-00 මහනුවර)

පළමු අර්ධය අවසානයට මිනිත්තුවක් තිබිය දී කොළඹ කණ්ඩායම සිය ලකුණු පුවරුවට තවත් ලකුණු එකතු කර ගත්තේ 34 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාමීර් විසින් සාර්ථක කර ගනිමිනි. (කොළඹ 10-00 මහනුවර)  

පළමු අර්ධය: කොළඹ පාසල් කණ්ඩායම 10 – 00 මහනුවර පාසල් කණ්ඩායම

පළමු අර්ධයේ මහනුවර ආක්‍රමණයට ප්‍රබල පිළිතුරක් ලබා දුන් කොළඹ ක්‍රීඩකයෝ දෙවන අර්ධය ආරම්භ වූ වහාම උත්සාහක දිනුමක් වාර්තා කළේ සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමිනි. ජූලියන් චාල්ස් මෙවර උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර සාමීර් දක්ෂ ලෙස එහි අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (කොළඹ 17-00 මහනුවර)

කන්ද උඩරටට එදිරිව අගනුවර ගැටෙන මහා සංග්‍රාමයට පෙර

පාසල් රග්බි පිටියේ අවසන් සංග්‍රාමයට මේ වන විට සියල්ලෝම සූදානම්ව සිටිති. අගනුවර පාසල් කණ්ඩායම “Blues” ලෙසින් ද, කන්ද උඩරට පාසල් කණ්ඩායම “Reds” ලෙසින් ද යුද…

වේගවත් ක්‍රීඩා විලාසයක් පෙන්වූ කොළඹ ක්‍රීඩකයෝ 53 වන මිනිත්තුවේ දී නැවත වරක් ධවල රේඛාව ඉක්මවා ගිය අතර ‘Scrum’ අවස්ථාවකින් පන්දුව ලබා ගෙන පන්දුව දිලාන් කාවින්ද වෙත භාරදීමත් සමඟ ඔහු ලකුණු රැස් කිරීමට සමත් විය. දුලංජන පියතිස්ස එහි ප්‍රවර්තනය සාර්ථක කිරීමට සමත් වූයේ නැත. (කොළඹ 22-00 මහනුවර)

බලාපොරොත්තු බිඳ වැටුනත් තරගය අත් නොහල මහනුවර ක්‍රීඩකයෝ දඬුවම් පහරක් ඉක්මනින් ලබාගෙන සිය ඉදිරිපෙළ මගින් 58 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. තරිඳු හෙට්ටිආරච්චි අමතර ලකුණු සඳහා පන්දුව ගෝල කණු අතරින් සාර්ථක ලෙස යැව්වේය. (කොළඹ 22-07 මහනුවර)

අවසන් මිනිත්තු කිහිපයේ දී කණ්ඩායම් දෙකම තියුණු උත්සාහයක යෙදුනත් කිසිදු කණ්ඩායමකට නැවතත් ලකුණු රැස් කර ගැනීමට ලැබුණේ නැත.

>> තරගයේ ඡායාරූප සඳහා පිවිසෙන්න <<

ඒ සමඟින් 2018 වසර සඳහා වූ පාසල් රග්බි තරග වාරය අවසන් වූයේ වසරේ අවසන් පාසල් තරගාවලිය වූ ThePapare.com කොළඹ පාසල් හා මහනුවර පාසල් අතර සුහද රග්බි තරගාවලියේ ශූරතාවය කොළඹ කණ්ඩායම හිමිකර දෙමිනි.

ThePapare.com තරගයේ වීරයා – මුබීන් ෆලීල් (කොළඹ)

අවසන් ලකුණු තත්වය: කොළඹ පාසල් කණ්ඩායම 22 (3T, 2C, 1P) – 07 (1T, 1C) මහනුවර පාසල් කණ්ඩායම

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • කොළඹ පාසල් කණ්ඩායම – අබ්දුල්ලා ෆායිස් (1T), ජූලියන් චාල්ස් (1T), තුවාන් සාමීර් (1P,2C), දිලාන් කාවින්ද (1T)
  • මහනුවර පාසල් කණ්ඩායම – තරිඳු හෙට්ටිආරච්චි (1C), තුවාන් (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<