ජයග්‍රහණය මහානාම, මහින්ද හා සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට

371

සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ කාණ්ඩය යටතේ අද (4) දිනය තුල අවසන් වූ ක්‍රිකට් තරග 3ම ජයග්‍රාහීව අවසන් විය. එහි දී මහානාම විද්‍යාලය, මහින්ද විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය එම ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

ගාල්ල සාන්ත ඇලෝසියස්  විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස මොරටු මහා විදුහල් පිටියේ පැවැත්වූ අවසන් වූ මෙම තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් විය.

පළමු ඉනිමේ වාසිය ලබාගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය අද දිනය තුල සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කළ අතර එම ඉනිමේ දී නායක රවිඳු සංජන හට සාර්ථක වීමට අවස්ථාව නොලැබුණු නිසා ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 54ක් වැනි අවම ලකුණු මට්ටමකට සීමා කිරීමට හශාන් සංදීප ඇතුළු මහානාම පන්දු යවන්නන් සමත් විය.

පසුව ලකුණු 87ක ඉලක්කයක් හඹා ගිය පැතුම් බොතේජු නොදැවී ලකුණු 30ක් හා බිශාන් මෙන්ඩිස් ලකුණු 26ක් ලබාගෙන මහානාම විද්‍යාලය ජයග්‍රහණය කරා මෙහෙයවන ලදි. මෙහි දී පළමු ඉනිමේ අවාසිය ගිලිහුණු මහානාම විද්‍යාලය අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 88ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කරන ලද්දේ සෑම ක්‍රීඩකයෙක් හටම නොසැලෙන අදිටනේ බලය මනාව පෙන්නුම් කරමිනි.

සාන්ත ඇලෝසියස්  විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 139 (45.1): රවිඳු සංජන 92, නිලුක්ෂ දුල්මිණ 24, ලහිරු කාවින්ද 3/33, හෂාන් සංදීප 3/38.

මහානාම විද්‍යාලය පළමු ඉනිම – 107/10 (42.3): පැතුම් බොතේජු 31, විනුක රූපසිංහ 25, රවිඳු සංජන 5/27, දිනුක ලක්මාල් 3/21.

සාන්ත ඇලෝසියස්  විද්‍යාලය දෙවන ඉනිම – 54/10 (34.2): පසිඳු අංජන 15, හෂාන් සංදීප 4/09, වත්සර පෙරේරා 3/09.

මහානාම විද්‍යාලය දෙවන ඉනිම – 88/4 (36.1): පැතුම් බොතේජු 30*, බිශාන් මෙන්ඩිස් 26, දිනුක ලක්මාල් 3/19.

වත්තලින් කොළඹට ප්‍රහාරයක්; සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනීමේ ජයක්

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හමුවේ ඉසිපතන විද්‍යාලය කඩුලු 6ක පරාජයක් ලබාගත් අද (3) දිනය තුල පාසල් ක්‍රිකට්…

ගාල්ල මහින්ද විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක මලියදේව විද්‍යාලය සිය ප්‍රතිවාදීන්ට පළමුව පන්දුවට පහර දීමට ඇරයුම් කරන ලදි. මෙම තරගයේ පළමු දිනය අවසානයේම පළමු ඉනිමේ ජයක් ලබාගත් මහින්ද විද්‍යාලය අද දිනය තුල ලකුණු 188ක පූර්ණ ජයක් ලබා ගන්නා ලදි.

D කාණ්ඩයේ තරගයක් වූ මෙහි පළමු දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කළ මහින්ද විද්‍යාලය මලියදේව විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 112ක් පෙරමුණේ පසුවන ලදි. පසුව කවිඳු එදිරිවීරගේ හා හංසික වැලිහිඳගේ අර්ධ ශතක දෙකෙන් හැඩගැන්වුණු මහින්ද විද්‍යාල දෙවන ඉනිම 214/8ක් ලෙස දැක්වෙද්දී ඉනිම අත්හිටුවීමට තීරණය කළේ මලියදේව විද්‍යාලයට ලකුණු 319ක දැවැන්ත අභියෝගයක් ලබා දෙමිනි. නමුත් නවෝද් පරණවිතානගේ පන්දු යැවීමේ දස්කම් නිසාවෙන් එම ඉලක්කය වෙත යාමට හෝ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට මලියදේව විද්‍යාලය අපොහොසත් විය. මලියදේව විද්‍යාලයේ දෙවන ඉනිමට ලකුණු 25ක් එක් කිරීමට සංජීවන් ප්‍රියදර්ශන සමත් විය.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 235/10 (49.2): නවෝද් පරණවිතාන 71, කේ. කේ. කෙවින් 43, විනුර දුල්සර 41, දුලාජ් රණතුංග 4/78.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 131/10 (44.3): සුපුන් සුමනරත්න 53, මුදිත ප්‍රේමදාස 37, නවෝද් පරණවිතාන 5/31.

මහින්ද විද්‍යාලය දෙවන ඉනිම – 214/8 d (43): කවිඳු එදිරිවීර 59, හංසික වැලිහිඳ 58, දුලාජ් රණතුංග 3/62.

මලියදේව විද්‍යාලය දෙවන ඉනිම – 130/10 (47.4): සංජීවන් ප්‍රියදර්ශන 25, දුලාජ් රණතුංග 22, නවෝද් පරණවිතාන 5/25, සුබරු රාජපක්ෂ 4/31.


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය

තරගයේ පළමු දිනය නිමා වන විට සාන්ත තෝමස් විද්‍යාලය නාලන්ද විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 58ක් පසුපසින් පසුව සිටි මෙම තරගය සාන්ත තෝමස්  විදුහල් පිටියේ දී ඊයේ (3) ආරම්භ විය.

ඊයේ දිනය තුල ක්‍රියාත්මක වූ අනෙකුත් පාසල් ක්‍රිකට් තරගවලට සාපේක්ෂව තරමක මන්දගාමී ස්වභාවයක් ගත් මෙම තරගයේ දෙවන දිනය හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගත්තේ සාන්ත තෝමස් ක්‍රීඩකයින්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය නිසාවෙනි. ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 202ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවන ලදි. එහි දී දුලිත් ගුණරත්න හා මනීශ රූපසිංහ පිළිවෙළින් ලකුණු 47ක් හා ලකුණු 37ක් ලබා ගන්නා ලදි. නාලන්ද විද්‍යාලය වෙනුවෙන් දක්ෂ ලෙස පන්දු යැවූ මහීම වීරකෝන් කඩුලු 6යි.

පළමු ඉනිමේ ලද පරාජයත් සමඟින් සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කළ නාලන්ද විද්‍යාලය තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට වෑයම් කළත් එය ව්‍යර්ථ කිරීමට සාන්ත තෝමස් විද්‍යාලයේ නායක ඩෙලෝන් පීරිස් හට හැකි විය. එහි දී ඔහු ලකුණු 27ක් තුල නාලන්ද කඩුලු 5ක් දවා ගනිමින් නාලන්ද විද්‍යාල දෙවන ඉනිම ලකුණු 81කට සීමා කළේය. අනතුරුව කඩුලු 4ක් දැවී ලකුණු 33ක් ලබාගත් සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 6ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට හැකි විය.

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම – 151/10 (65.1): සුහඟ විජේවර්ධන 57, රවින් ද සිල්වා 22*, ශැනොන් ප්‍රනාන්දු 3/37,

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 202/8 d (67): දුලිත් ගුණරත්න 47, මනීශ රූපසිංහ 37, ඩෙලෝන් පීරිස් 23, මහීම වීරකෝන් 6/50.

නාලන්ද විද්‍යාලය දෙවන ඉනිම – 81/10 (47.5): සචිත් ගුණතිලක 21, ඩෙලෝන් පීරිස් 5/27, ශැනොන් ප්‍රනාන්දු 3/22.

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම – 33/4 (13.5): මහීම වීරකෝන් 2/13.


මරදාන සහිරා විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

G කාණ්ඩයේ තරගයක් ලෙස පල්ලෙකැලේ බන්ධනාගාර පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු දිනය තුල නදීර බාලසූරිය සත්කාරක සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනූ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 301ක් වැනි ප්‍රබල ලකුණක් ලබා ගත්තේ කඩුලු 8ක් පමණක් දවාගෙනයි. එහි දී නදීරට අමතරව මන්ජිත් රාජපක්ෂ හා සී. හිරොශන් පිළිවෙළින් ලකුණු 46ක් හා 41ක් ලබා ගන්නා ලදි. පසුව ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවන ලදි.

තරගයේ පළමු දිනය අවසානයේ සහිරා විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වූ අතර, සහිරා පිතිකරණය වෙනදාට සාපේක්ෂව වෙනස්ම ආකාරයක තරග සැලැස්මකට අනුව ක්‍රීඩා කරනු ආකාරයක් දැක ගන්නට ලැබුණි. නොදැවී ක්‍රීඩා කරන චතුර දිල්රුක්ශන ලකුණු 30*යි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – 301/8 d (75): නදීර බාලසූරිය 75, මන්ජිත් රාජපක්ෂ 46, සී. හිරොශන් 41, ලසිත් නිර්මාල් 3/63, රිද්මික නිමේෂ් 3/70.

සහිරා විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 46/0 (17): චතුර දිල්රුක්ශන 30*.


කොළඹ ලුම්බිණි විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය

තරගයේ පළමු දිනය අවසන් වන විට ද මැසනොඩ් විද්‍යාලය ලුම්බිණි විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 226ක් පසුපසින් සිටින මෙම තරගය අද ආරම්භ වූයේ D කාණ්ඩයේ තරගයක් ලෙසයි.

කාසියේ වාසිය ජයගත් සත්කාරක ද මැසනොඩ් නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. ඒ අවසරයෙන් සියල්ලන්ම දැවී ලකුණු 314ක් ලබා ගැනීමට ලුම්බිණි විද්‍යාලය සමත් විය එහි දී රන්මල් ප්‍රනාන්දු හා ලකිඳු උපේන්ද්‍ර අර්ධ ශතක ලබාගත් අතර රන්මල් අවාසනාවන්ත ලෙස ලකුණු 96කට දැවී යන ලදි.  පන්දු යැවීමේ දී රොමාල් ප්‍රනාන්දු කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් අතරට පිවිසියේය.

සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරන ද මැසනොඩ් විද්‍යාලය තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 88ක් ලබාගෙන සිටින්නේ මිතිල ගීත්ගේ නොදැවුණු ලකුණු 30*ත් සවියක් කරගෙනයි

ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම – 314/10 (66.3): රන්මල් ප්‍රනාන්දු 96, ලකිඳු උපේන්ද්‍ර 53, සඳුනිල් සංකල්ප 33, ධනංජය දාබරේ 30, රොමාල් ප්‍රනාන්දු 6/91.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 88/2 (21): මිතිල ගීත් 30*.

අද දිනය තුල පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග කිහිපයක දෙවන දිනය හෙටත් (5) පැවැත්වේ.

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න