පාසල් ක්‍රිකට් ලේකම් තනතුර ඩිල්ශාන්ට, ඔෂාර තම පුටුව රැක ගනී

1535

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවති ඡන්දයේ දී, වැඩි ඡන්ද 15කින් ජය ගත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහතා සභාපතිවරයා ලෙසින් තේරීපත් වූ අතර ලේකම්වරයා ලෙසින් දෙහිවල එස්. ද එස්. ජයසිංහ විද්‍යාලයේ ඩිල්ශාන් ද සිල්වා මහතා නිතරගයෙන් තේරී පත්විය.

ටෙස්ට් තරග 6ක් සඳහා එංගලන්ත කණ්ඩායම මෙරටට

සංචාරක එංගලන්ත ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම..

එළඹෙන වසර දෙක සඳහා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නව නිලධාරීන් තෝරා ගැනීම වෙනුවෙන් පැවති නිලවරණය ද ඊයේ (03) කොළඹ ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වූයේ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් යුක්තවය.

වැඩ බැලූ සභාපති ලෙසින් මාස 6ක පමණ කාලයක් කටයුතු කළ ඔෂාර පණ්ඩිතරත්න මහතා නැවත වතාවක් සභාපති තනතුරට නාමයෝජනා බාර දී තිබූ අතර ඒ මහතා සමඟ කොළඹ ලුම්බිණි විද්‍යාලයේ විදුහල්පති කේ. ජී. විමලසේන මහතා සහ හිටපු සභාපතිවරයෙක් වූ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා ද එම තනතුර වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව පැවති ඡන්දයේ දී පණ්ඩිතරත්න මහතා ඡන්ද 89ක් ලබා ගනිමින් එතෙක් තාවකාලිකව කටයුතු කළ තනතුර ස්ථිර වශයෙන්ම තමන් සතු කර ගත්තේ ය. විමලසේන මහතා ඡන්ද 74ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට ද, අබේරත්න මහා ඡන්ද 44ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයට ද පත්වූහ.

ලේකම් තනතුරට පත් ඩිල්ශාන් ද සිල්වා මහතා කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙක් ලෙසත්, ක්‍රිකට් ජාතික තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙසත් කටයුතු කර ඇත. එමෙන්ම ද සිල්වා මහතා මීට පෙර 2007/08 වසරේ දී ද, 2013 සිට 2015 වසර දක්වා වූ කාලයේ දී ද ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් තනතුරේ කටයුතු කර ඇත. වර්තමාන ක්‍රිකට් පිටියේ පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවෙක් ලෙසින් ද ඔහු කටයුතු කරනු ලැබේ.

අනෙකුත් තනතුරු අතරින් භාණ්ඩාගාරික තනතුර ද නිතරගයෙන් තේරී පත්වූ අතර ඒ සඳහා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ නිහාල් ප්‍රනාන්දු මහතා පත්විය. ඒ මහතා ද මීට පෙර මෙම තනතුරේම කටයුතු කරමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ විධායක කමිටුව නියෝජනය කර ඇත.

උප සභාපතිවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් නාමයෝජනා 14ක් ලැබී තිබූ අතර ඒ අතුරින් 7 දෙනෙක් තෝරා ගැනීම වෙනුවෙන් පැවති ඡන්දයේ දී පළමු ස්ථානය අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ විදුහල්පති ජගත් සේනාරත්න මහතා ඡන්ද 91ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ පළමුවැනියා විය.

උප ලේකම් තනතුරු වෙනුවෙන් ද ඡන්දයක් පැවති අතර එයින් හම්බන්තොට සුචි විද්‍යාලයේ ලීලානන්ද කුමාරසිරි මහතා ජයග්‍රහණය කළේය. මීට අමතරව උප භාණ්ඩාගාරික තනතුර සහ අභ්‍යන්තර ගණන් පරීක්ෂක තනතුරු ද නිතරගයෙන් තේරී පත්විය.

වයස් කාණ්ඩ තරගාවලි ලේකම් තනතුරු වෙනුවෙන් ද ඡන්දයෙන් සහ නිතරගයෙන් සාමාජිකයන් තේරී පත්වූ අතර එහි දී වයස අවුරුදු 15න් පහළ ලේකම් තනතුර වෙනුවෙන් පැවති ඡන්දය තියුණු මුහුණුවරක් ගත්තේය. එහි දී මීට පෙර ද විධායක කමිටුව නියෝජන කළ මහින්ද උඩුවැරැල්ල මහතා පාරාජයට පත් කරමින් කොළඹ ලුම්බිණි විද්‍යාලයේ එච්. කේ. රාජරත්න මහතා තේරී පත්විය.

කුසල් රට පෙරට තබා IPL අතහරී

ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඉන්දීය ප්‍රිමියර් ලීග් කොන්ත්‍රාත්තුව..

ඊට අමතරව ප්‍රධාන තනතුරු වෙනුවෙන් දෙහිඕවිට මහා විද්‍යාලයේ ජේ. ඒ. කේ. එස්. ඉන්ද්‍රජිත් (වයස අවුරුදු 19න් පහළ), කොළඹ අසෝක විද්‍යාලයේ ජාලිය ජයන්ත (වයස අවුරුදු 17න් පහළ), ඉබ්බාගමුව ආදර්ශ විද්‍යාලයේ ආනන්ද අතපත්තු (වයස අවුරුදු 13න් පහළ) යන මහත්වරුන් තේරී පත්වූහ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නව නිලධාරි මණ්ඩලය 

  • සභාපති: ඔෂාර පණ්ඩිතරත්න මහතා (ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය)
  • ලේකම්: ඩිල්ශාන් ද සිල්වා මහතා (එස්. ද එස්. ජයසිංහ මහා විද්‍යාලය, දෙහිවල)
  • භාණ්ඩාගාරික: නිහාල් ප්‍රනාන්දු මහතා (ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ)
  • උප සභාපතිවරු

ජගත් සේනාරත්න මහතා (විදුහල්පති, පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ)
තිලක් වස්තුහේවා මහත (විදුහල්පති, නාලන්දා විද්‍යාලය, කොළඹ)
සුසන්ත මෙන්ඩිස් මහතා ( විදුහල්පති, විද්‍යා විද්‍යාලය, ගල්කිස්ස)
එච්. ඒ. ජයවර්ධන මහත්මිය ( විදුහල්පතිනි, රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ)
සමන් ඉන්ද්‍රරත්න මහතා (විදුහල්පති, මලියදේව විද්‍යාලය,කුරුණෑගල)
මොහාන් වික්‍රමසිංහ මහතා (විදුහල්පති, සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කටුනේරිය)
සී. කේ. පොරෝගම මහතා (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, පොළොන්නරුව)

  • උප ලේකම්: ලීලානන්ද කුමාරසිරි මහතා (සුචි පාසල, හම්බන්තොට )
  • උප භාණ්ඩාගාරික: ප්‍රදීප් ධර්මසේන මහතා (බුද්ධ ජයන්ති විද්‍යාලය, බලංගොඩ )
  • අභ්‍යන්තර ගණන් පරීක්ෂක: කේ. ජයතිලක මහතා (ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය, කෝට්ටේ)

තරගාවලි සංවිධායක ලේකම්වරු

  • වයස අවුරුදු 19න් පහළ: ජේ. ඒ. කේ. එස්. ඉන්දුජිත් මහතා (දෙහිඕවිට මහා විද්‍යාලය)
  • iii කොටස: මංජුල වාස් මහතා (බැසිලිකා විද්‍යාලය, රාගම)
  • වයස අවුරුදු 17න් පහළ: ජාලිය ජයන්ත මහතා (අසෝක විද්‍යාලය, කොළඹ)
  • වයස අවුරුදු 15න් පහළ: රාජරත්න මහතා ( ලුමිබිණි විද්‍යාලය, කොළඹ )
  • අතිරේක: වසන්ත හපුතන්ත්‍රී මහතා ( සාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය )
  • වයස අවුරුදු 13න් පහළ: ආනන්ද අතපත්තු මහතා (ආදර්ශ විද්‍යාලය, ඉබ්බාගමුව )
  • අතිරේක: වසන්ත කාරියවසම් මහතා (ජනාධිපති විද්‍යාලය, මහරගම )

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<