පැසිපන්දු ශූරතා දෙකම ධර්මාශෝකයට

963
Basketball Final

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදී පැසිපන්දු සංගමය විසින් දකුණු පළාතේ පැසිපන්දු ක්‍රීඩාව නඟා සිටුවීම උදෙසා සංවිධානය කෙරුණු, දකුණු පළාත් ආරාධිත පාසල් පැසිපන්දු තරගාවලියේ අවසන් දිනය අදින් (15) නිමාවට පත්වූයේ, මෙවර දකුණු පළාත් පිරිමි ශූරතාවය අපරාජිතව ඉදිරියට පැමිණි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයටත්, කාන්තා ශූරතාවයත් ධර්මාශෝක විද්‍යාලයටම හිමි කරදෙමිනි.

මෙම තරගාවලියේ පිරිමි අනුශූරතාව ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට හිමි වූ අතර කාන්තා අංශයේ අනුශූරතාවය හිමි වූයේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයටයි.

කාන්තා අවසන් තරගය

ප්‍රථමයෙන්ම පැවතියේ කාන්තා අවසන් තරගය වන අතර ඒ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා මාතර සුජාතා විද්‍යාලය අතරයි.

මෙම තරගයේදී ධර්මාශෝක ක්‍රීඩිකාවන් ඉතා අක්‍රමණශීලීව ක්‍රීඩා කරමින් ආරම්භයේ සිටම සුජාතා ක්‍රීඩිකාවන් අභිබවා දස්කම් අතරට පැමිණි අතර ලකුණු 34 – 16ක් ලෙසින් ධර්මාශෝක කණ්ඩායම දෙවන වරටත් දකුණු පළාත් පැසිපන්දු ශූරතාවය දිනා ගැනීමට සමත්විය.

සුජාතා විද්‍යාලයේ වත්සලා පළමු අදියරයේ දෙවරක්ම අනෙකුත් ක්‍රීඩිකාවන් අතරින් ඉදිරියට ඇදෙමින් ලකුණු ලබා ගැනීමට උත්සහ කළ අතර එම උත්සාහයන් අසාර්ථක වූයේ ඇයට නිසි ඉලක්කය ලබා ගැනීමට නොහැකිවීමෙනි. ධර්මාශෝක විද්‍යාලයේ සෙනුරි ඇය අතට පත්වූ පන්දුව කිසිවෙකුගේ සහයෝගයක් නොමැතිව සියල්ලන් පසු කරමින් ඉපිලී අලංකාර ලකුණක් තම කණ්ඩායමට එකතු කරන්නේ නරඹන්නන් පවා මවිත කරමිනි. ඒ අනුව පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට ධර්මාශෝක ක්‍රීඩිකාවන් සමත්විය.

පළමු අර්ධය: ධර්මාශෝක විද්‍යාලය 14 – 05 සුජාතා විද්‍යාලය

දෙවන අර්ධය තුළදී නැවතත් ක්‍රියාත්මක වූ ධර්මාශෝක විද්‍යාලයේ රුවිනි හා සෙනුරි ක්‍රීඩිකාවන් දෙදෙනා මනාව පන්දුව හුවමාරු කරමින් ලකුණු ලබා ගන්නේ ධර්මාශෝක කණ්ඩායමට ජය මාවතේ දොරගුළු විවර කරමිනි.

සම්පූර්ණ ලකුණු: ධර්මාශෝක විද්‍යාලය 34 – 16 සුජාතා විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාලය සුජාතා විද්‍යාලය
පළමු කාර්තුව 12 02
දෙවන කාර්තුව 02 03
තුන්වන කාර්තුව 12 06
සිව්වන කාර්තුව 08 05

මේ ලබා ගත් ජයග්‍රහණය පිළිබඳව ධර්මාශෝක විද්‍යාලයේ නායිකා ඔෂිනි ලක්ෂිකා පවසා සිටියේ පුහුණු වීමකින් තොරව ලබාගත් ජයග්‍රහණය පිළීබඳව තමන් පුද්ගලිකව සතුටු වන බවයි.

“රවිනි ශශිකා, සෙනුරි ප්‍රබෝධනී ඇතුළු ක්‍රීඩිකාවන් හැමෝම වගේ අද හොඳට සෙල්ලම් කළා, ඇත්තටම ජයග්‍රහණය ගැන සතුටුයි”

සංවිධායක කමිටු සභාපති තරගාවලිය පිළිබඳ සිය අදහස් දක්වමින්


පිරිමි අවසන් තරගය

පිරිමි අවසන් තරයේදී මුණගැසුණේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයයි.

ආරම්භයේ සිටම අතිශය උණුසුම්කාරී තරග රටාවක් ක්‍රීඩා පිටිය තුළ දිස් වූ අතර අවසානය තෙක් ජය ගන්නේ කවුරුන්ද යන වග තීරණය කිරීමට අපහසුවිය. අවසානයේ ලකුණු 104 – 81ක් ලෙස ලකුණු 23ක පරතරයකින් ජය ගන්නට ධර්මාශෝක ක්‍රීඩකයින් සමත්විය.

විශේෂයෙන්ම ධර්මාශෝක කණ්ඩායමේ දසුන් නිලන්ත තරගය පුරාවටම නරඹන්නන් පුදුමයට හා විශ්මයට පත් කරමින් ලකුණු ලබා ගත්තේ පැසිපන්දුව තමන්ගේ අනාගතය බව සිහිකරමිනි. එක් අවස්ථාවක ධර්මාශෝක කණ්ඩායමේ සුදාර කල්හාර සූක්ෂම ලෙස සසිදු දිලක්ෂ වෙත පිරිනැමූ පන්දුව, දසුන් නිලන්ත ලබාගෙන එය ලකුණක් බවට පත් කිරීමට සමත්විය.

ඇලෝසියස් ක්‍රීඩකයින්ද ඊට නොදෙව‍ෙනි පන්දු හුමවාරුවකින් ලකුණු ලබා ගත් අතර එහිදී එම කණ්ඩායමේ ශස්නි විසින් උපක්‍රමශීලීව මිලාන් වෙත යොමු කොට එය ශමින්ක විසින් ලබාගෙන ලකුණු බවට පරිවර්තනය කළේය.

ඒ අනුව පළමු අර්ධයේ මුල් කාර්තු දෙක තුළ ධර්මාශෝක විද්‍යාලය ලකුණු 25ක් බැගින් ලබා ගන්නා විට ඇලෝසියස් විද්‍යාලයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 11ක් හා 20ක් පමණි.

පළමු අර්ධය: ධර්මාශෝක විද්‍යාය 50 – 31 ඇලෝසියස් විද්‍යාලය

දෙවන අර්ධයද ඉතා උසුණුම්කාරී තරගයක් වූයේ දසුන් නිලන්ත පිට පිටම ඇලෝසියස් ක්‍රීඩකයින්ගෙන් පන්දුව මුදා ගෙන ගෝල කණුව අක්‍රමණය කිරීම හේතුවෙනි. එපමණක් නොව ධර්මාශෝක විද්‍යාලයේ නයන ලක්ෂිත අඩි 10ක් පමණ දුර සිට ගෝල කණුව වෙත යොමු කළ පන්දුව නිවැරදි ඉලක්කය වෙත ගොස් ලකුණක් බවට පත්විය.

ඊට දෙවැනි නොවූ ඇලෝසියස් කණ්ඩායමේ හේෂාන් ඈත සිට යොමු කළ පන්දුව නිවැරදි ඉලක්කය හඹා යන්නේ ඇලෝසියස් පිලට තවත් ලකුණු එකතු කරමිනි. මෙසේ කරට කර තිබූ තරගය නැවතත් වෙනස් කරන්නට නයන ලක්ෂිත සමත් වන්නේ සියලු ක්‍රීඩකයින් අතරින් ඉදිරියට ඇදෙමින් ලකුණක් කරා යොමු වීමෙන් අනතුරුවයි.

ඒ අනුව දෙවන අර්ධයේ වට දෙක තුළ ලකුණු 19ක් හා 35ක් ධර්මාශෝකය ඉදිරියෙන් ලියවෙන්නේ ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කරමිනි.

සම්පූර්ණ ලකුණු: ධර්මාශෝක විද්‍යාලය 94 – 81 ඇලෝසියස් විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාලය ඇලෝසියස් විද්‍යාලය
පළමු කාර්තුව 25 11
දෙවන කාර්තුව 25 20
තුන්වන කාර්තුව 19 27
සිව්වන කාර්තුව 35 23

බාලක ශූරතාවය දිනාගත් ධර්මාශෝක විද්‍යාලයේ නායක ෂෙහාන් සචින්ත, ප්‍රථමයෙන්ම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදී පැසිපන්දු සංගමයට ස්තුතිය කළ අතර විශේෂයෙන්ම දසුන් නිලන්තගේ දක්ෂතා පිළබඳව ඉතා සතුටුවන බව කියා සිටියා.

“ඇත්ත වශයෙන්ම කිව්වොත් තරගාවලියේ කැපීපෙනෙන ක්‍රීඩකයා දසුන්. දසුන් ඉතා මහන්සියෙන් කැපවීමෙන් පුහුණුවීම් කටයුතු සිදු කළා. ඒ වගේම කණ්ඩායමක් වශයෙන් ගත්තොත් ඉතා සතුටුදායකයි. දිවා රැ නොබලා සියලු දෙනාම පුහුණු වුණ‍ා.” යැයි ThePapare.com වෙත අදහස් දක්වමින් පැවසීය.

දකුණු පළාත් ආරාධිත පාසල් පැසිපන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දසුන් නිලන්ත විසින් වන අතර හොඳම ක්‍රීඩිකාවන් දෙදෙනෙකු තේරීපත්වීම විශේෂත්වයකි. එ් ධර්මාශෝක කණ්ඩායමේ රුවිනි ශෂ්රිකා සහ සෙනුරි ප්‍රමෝද්‍යා ක්‍රීඩිකාවන් ය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදී පැසිපන්දු සංගමයේ ගරු සභාපති රවිදු චන්දිමාල් මහතා ශූරයින් වෙත සුභ පතමින් කියා සිටියේ මෙය සංවිධානය කිරීමේ ප්‍රධානතම අරමුණ දකුණු පළාත තුළ පැසිපන්දු ක්‍රීඩාව දියුණු කිරීම බවයි.

“මේ තරගාවලිය පවත්වන්න අරමුණ වුණේ දකුණු පළාත තුළ පැසිපන්දු ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම හා වැඩි දියුණු කිරීමයි. දකුණු පළාත තුල පැසිපන්දු හිඟයක් පවතිනවා. පැසිපන්දු තරග පැවැත්වීම හරහා ක්‍රීඩකයින්ගේ ජවය වැඩිදියුණු කිරීමෙන් මෙම ක්‍රීඩාවට තවත් ක්‍රීඩකයින් යොමුවනු ඇතැයි මා විශ්වාස කරනවා ” යැයි ගරු සභාපති රවිදු චන්දිමාල් මහතා ThePapare.com සමඟින් වැඩිදුරටත් කියා සිටියේය.


තෙවැනි ස්ථානය සඳහා වූ තරගය

මෙම තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා වූ තරගය පැවැත්වුණේ ගාල්ල මහින්ද විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතරයි. එම තරගය ලකුණු 58 – 46ක් ලෙස ජයග්‍රහණය කරන්නේ මහින්ද විද්‍යාලය විසිනි.

මෙහිදී මහින්ද විද්‍යාලයේ නායක ශානුක පළමු අර්ධය තුළ අවස්ථා කිහිපයකදී වේගයෙන් දිව‍ ගොස් ලකුණු ලබා ගැනීමට උත්සහ කළද ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීමට රිචමන්ඩ් විද්‍යාලයේ තරිදු දසුන් සමත්විය.

දෙවන අර්ධයේදී එක් මොහොතක පන්දුව තම අතට ගත් රිච්මන්ඩ් විද්‍යාලයේ ඕ. ටී. නදුන්, මහින්ද විද්‍යාලයේ සියලුම ක්‍රීඩකයින් අතරින් ඉතා දක්ෂ ලෙස පැමිණ උඩට ඉපිලෙමින් සාර්ථක ලෙස ලකුණු ලබා ගත්තේය.

මහින්ද විද්‍යාලයේ නායක ශානුක සමඟින් මනා අවබෝධයකින් යුක්තව විහඟ හා දශිත දෙදෙනා ලකුණු රැස් කිරීමට සමත්විය.

පළමු අර්ධය: මහින්ද විද්‍යාලය 24 – 16 රිච්මන්ඩ් විද්‍යාලය

දෙවන අර්ධය තුළදී රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් සාර්ථක වු ඕ.ටී. නදුන්, ජනිත් ලක්ෂාන් හා තරිදු දසුන් කණ්ඩායමට ලකුණු එකතු කරන්නට සමත්විය. එහෙත් එම ලකුණු ප්‍රමාණය මහින්දයන් අභිබවා යෑමට තරම් ප්‍රමාණවත් නොවුණි.

සම්පූර්ණ ලකුණු: මහින්ද විද්‍යාලය 58 – 46 රිච්මන්ඩ් විද්‍යාලය

මහින්ද විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය
පළමු කාර්තුව 06 06
දෙවන කාර්තුව 18 10
තුන්වන කාර්තුව 23 21
සිව්වන කාර්තුව 11 09


 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට
 

English Translate: Dharmasoka sweep the boards in Southern Province Basketball