වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලිය පසුගිය සිකුරාදා (04) හොං කොං රාජ්‍යයේ කිංග්ස් පාක් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර ඊට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග සියල්ල ජයග්‍රහණය කරමින් අපරාජිතව තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ දී ජයග්‍රහණය කරනු ලැබූ ශූරතාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හොං කොං කණ්ඩායමට එරෙහිව පිටියට පිවිසෙනු ඇත.

20න් පහළ රග්බි ක්‍රීඩකයින්ට කිරුළ රැක ගැනීමට හැකි වෙයි ද?

වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලිය මෙම මස 04 වන දින හොං කොං රාජ්‍යයේ කිංග්ස් පාක් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට

ශ්‍රී ලංකාව – පිලිපීනය (පළමු තරගය)

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ දී සහභාගී වූ පළමු තරගය පිලිපීන කණ්ඩායමට එරෙහිව පැවති අතර තරගයේ පළමු මිනිත්තු කිහිපයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමට සමත් වූයේ නැත.

Asia U20 7s Sri Lanka v Malaysiaකෙසේ නමුත් වැඩි වේලාවක් යන්නට පෙර සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරගන්නට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එම උත්සාහක දිනුම වාර්තා කරගත්තේ අවිශ්ක ලී විසිනි. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද පහසුවෙන් සාර්ථක කර ගන්නට චමෝද් ප්‍රනාන්දු සමත් විය. (ශ්‍රී ලංකාව 07 – 00 පිලිපීනය)

ඊට මිනිත්තුවකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට ලැබුණු පහසු අවස්ථාවක් පන්දුව හැසිරවීමේ දෝෂ නිසා මඟ හැරුණු නමුත් ලැබුණු ‘scrum’ අවස්ථාවක දී පන්දුව ලබාගත් නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ලහිරු හේරත් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් තරගයේ දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට ලී සමත් වූයේ නැත. (ශ්‍රී ලංකාව 12 – 00 පිලිපීනය)

ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවන් කිහිපයක්ම මඟ හැරෙමිනි.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 12 – 00 පිලිපීනය

තරගයේ දෙවන අර්ධයේ මිනිත්තු 3ක කාලයක් ගතවෙද්දී ලැබුණු ‘scrum’ අවස්ථාවක දී පන්දුව ලබා ගැනීමට සමත් වූ ලහිරු හේරත් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු පහසු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගැනීමට චමෝද් ප්‍රනාන්දු අපොහොසත් විය. (ශ්‍රී ලංකාව 17 – 00 පිලිපීනය)

තරගයේ කාලය ගතවද්දී ශ්‍රී ලංකා කණ්ඩායම නවක ක්‍රීඩකයින් තරගයට ආදේශ කරන ලදි. තරගය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්‍ෂක ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය ඉහළ තත්වයක පැවතුණි. ප්‍රතිවාදීන්ගෙන් පන්දුව ලබාගත් දිනුක් අමරසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරගයේ අවසන් උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් වූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද චමෝද් ප්‍රනාන්දු සාර්ථක කර ගනු ලැබීය.

දෙවන අර්ධය: ශ්‍රී ලංකාව 24 – 00 පිලිපීනය


ශ්‍රී ලංකාව – චීනය (දෙවන තරගය)

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන තරගයේ චීන කණ්ඩායමත් සමඟ පැවති අතර එහි දී පළමු තරගයේ දී සිදු වූ අඩුපාඩු නිවැරදි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඔවුන් තරගය පුරාවට හොඳින් පන්දුව හැසිරවීමටත්, ප්‍රතිවාදීන්ට දඬුවම් පහර අවස්ථාවන් ලබා දීම අවම කර ගැනීමටත් වගබලා ගත්තේය.

තරගයේ පළමු උත්සාහක දිනුම නායක නවීන් හේනකන්කානම්ගේ විසින් වාර්තා කර ගත් අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව චමෝද් ප්‍රනාන්දු විසින් සාර්ථක කර ගැනීමට සමත් විය. (ශ්‍රී ලංකාව 07 – 00 චීනය)

Asia U20 7s Sri Lanka v Chinaතරගයේ දෙවන උත්සාහක දිනුම ද නවීන් හේනකන්කානම්ගේ විසින් වාර්තා කර ගනු ලැබුවේ ඔහුගේ වේගය ප්‍රේක්ෂකයින් හට මනාව විදහා දක්වමිනි. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද චමෝද් ප්‍රනාන්දු විසින් සාර්ථක කර ගනු ලැබීය. (ශ්‍රී ලංකාව 14 – 00 චීනය)

ශ්‍රී ලංකා කණ්ඩායම චීන කණ්ඩායමට දඬුවම් පහර අවස්ථාවන් දෙකක් ලබා දුන් අතර ඉන් ප්‍රයෝජන ලබාගත් ඔවුන් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගැනීමට සමත් විය. (ශ්‍රී ලංකාව 14 – 07 චීනය)

අනතුරුව චීන කණ්ඩායමේ ආරක්‍ෂක ක්‍රීඩකයින් පසුකරමින් දිවයමින් ලහිරු හේරත් පන්දුව උප නායක සුපුන් දිල්ෂාන් වෙත බාර කළ අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවන උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබීය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගනු ලැබිණි.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 21 – 07 චීනය

තරගයේ දෙවන අර්ධයේ දී නායක නවීන් හේනකන්කානම්ගේ සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය සාර්ථක කර ගත් අතර ප්‍රවර්තන අවස්ථාව සුපුන් විසින් සාර්ථක කර ගනු ලැබීය. (ශ්‍රී ලංකාව 28 – 07 චීනය)

ඉන් අනතුරුව තරගයේ දෙවන අර්ධයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තවත් උත්සාහක දිනුම් තුනක් වාර්තා කර ගනු ලැබීය. ඒවාට හිමිකම් කීවේ චමෝද් ප්‍රනාන්දු, සන්දේශ් ජයවික්‍රම සහ රනිඳු පද්මසංක යන ක්‍රීඩකයින් ය. චීන කණ්ඩායමට හිමි වූයේ පළමු අර්ධයේ දී වාර්තා කරගත් උත්සාහක දිනුම පමණි.

දෙවන අර්ධය: ශ්‍රී ලංකාව 43 – 07 චීනය


ශ්‍රී ලංකාව – මැලේසියාව (තෙවන තරගය)

තරගාවලියේ පළමු දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගය මැලේසියානු කණ්ඩායම එරෙහිව පැවති අතර තරග ආරම්භ වී තත්පර 80ක් පමණක් ගතවෙද්දී තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට නායක නවීන් හේනකන්කානම්ගේ සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සුපුන් දිල්ෂාන් විසින් පහසුවෙන් සාර්ථක කර ගන්නා ලදි. (ශ්‍රී ලංකාව 07 – 00 මැලේසියාව)

ඒ අනුව ලබාගත් සාර්ථක ආරම්භය පළමු අර්ධයේ දී ඉදිරියට රැගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනිමිනි. ඒවාට හිමිකම් කීවේ සන්දේශ් ජයවික්‍රම සහ අවිශ්ක ලී යන ක්‍රීඩකයින් ය. එහි දී ලැබුණු පළමු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට සුපුන් අසමත් වුවත් දෙවන අවස්ථාව සාර්ථක කර ගැනීමට ඔහු සමත් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 19 – 00 මැලේසියාව

ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන අර්ධයේ දී උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට අවස්ථාවන් දෙකක් ලැබුණත් ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන් අපොහොසත් විය. කෙසේ නමුත් මැලේසියානු කණ්ඩායමේ අයිමාන් තනිව පන්දුව රැගෙන යමින් විශිෂ්ට අන්දමින් මැලේසියානු කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව Asia U20 7s Sri Lanka v Malaysiaසාර්ථක කර ගන්නට ඔවුන් අපොහොසත් විය.

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකම සාර්ථකව ක්‍රීඩා කරන්නට අසමත් වූ අතර කණ්ඩායම් දෙකටම ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථාවන් ගිලිහී ගියේය. කෙසේ නමුත් තරගය අවසන් වන්නට පෙර තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය. එහි දී තීක්ෂණ දිසානායක විසින් එය වාර්තා කර ගත් අතර සුපුන් දිල්ෂාන් විසින් ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගනු ලැබීය.

දෙවන අර්ධය: ශ්‍රී ලංකාව 26 – 05 මැලේසියාව


ශ්‍රී ලංකාව – චීන තායිපේ (සිව්වන තරගය)

තරගයේ දෙවන දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල චීන තායිපේ කණ්ඩායම සමඟ තරග වැදීමට සිදු විය. ඒ අනුව තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවෙද්දී තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට නායක නවීන් හේනකන්කානම්ගේ සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද චමෝද් ප්‍රනාන්දු විසින් සාර්ථක කර ගත්තේය.

මිනිත්තු කිහිපයකින් අනතුරුව චීන තායිපේ කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කර ගත් චේ ශැන්ග් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය.

කෙසේ නමුත් නවීන් හේනකන්කානම්ගේ විසින් මීටර 70ක දුරක් දිව යමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගනු ලැබීය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 14 – 07 චීන තායිපේ

දෙවන අර්ධය ආරම්භයේ දී චීන තායිපේ කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තේ නැවතත් තරගයේ ලකුණු තත්වය සම කරමිනි.

නමුත් නැවතත් තරගයට අවතීර්ණ වෙමින් නවීන් හේනකන්කානම්ගේ විසින් පන්දුව තීක්ෂණ දිසානායක වෙත බාර කළ අතර ඔහු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය.

Asia U20 7s Sri Lanka v Chines Taipeiතරගය අවසන් වන්නට පෙර තවත් උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට තීක්ෂණ දිසානායක සමත් විය. කෙසේ නමුත් ප්‍රතිවාදීන් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක කර ගැනීමට චමෝද් ප්‍රනාන්දු ඉඩ හසර ලබා නොදුන් අතර එය වාර්තා වූයේ නම් තරගයේ ප්‍රතිඵලය වෙනස් වන්නට ද ඉඩ තිබුණි.

ඒ අනුව පළමු වටයේ තරග හතරම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

දෙවන අර්ධය: ශ්‍රී ලංකාව 28 – 07 චීන තායිපේ


ශ්‍රී ලංකාව – දකුණු කොරියාව (අවසන් පූර්ව තරගය)

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පූර්ව තරගය පැවතියේ ප්‍රබල කොරියානු කණ්ඩායම සමඟයි. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනු ලැබීය. ඒවාට හිමිකම් කීවේ අදීශ වීරතුංග සහ නායක නවීන් හේනකන්කානම්ගේ ය.

කෙසේ නමුත් පළමු අර්ධය නිමා වන්නට පෙර කොරියානු කණ්ඩායම ද උත්සාහක දිනුමක් වාර්තා කර ගනු ලැබීය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 14 – 05 දකුණු කොරියාව

Asia U20 7s Sri Lanka v South Koreaදෙවන අර්ධයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි අවධානයක් යොමු කළේ ප්‍රතිවාදීන්ට උත්සාහක දිනුම් වාර්තා කර ගන්නට අවස්ථාවක් ලබා නොදීමට ය. නමුත් නවීන් හේනකන්කානම්ගේ තරගයේ තම දෙවන උත්සාහක දිනුම ද වාර්තා කර ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කර ගනිමිනි.  මෙය ඔහු තරගාවලියේ වාර්තා කරගත් 9 වන උත්සාහක දිනුමයි.

ඉන් අනතුරුව සුරංග බණ්ඩාර සහ චමෝද් ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් අවසන් මහා තරගයට රැගෙන යමිනි.

දෙවන අර්ධය: ශ්‍රී ලංකාව 31 (5T 3C) – 05 (1T) දකුණු කොරියාව

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල හොං කොං කණ්ඩායමට එරෙහිව තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙනු ඇත. කෙසේ නමුත් පසුගිය වසරේ තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත් එහි දී දෙවන අදියරේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කිරීමට හොං කොං කණ්ඩායම සමත් විය.

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<