අනුරාධපුරයෙන් පැමිණ කොළඹ 7 හොල්ලන අනුරාධ හේරත්

2851

අනුරාධපුරයෙන් කොළොම් තොටට පා තබා වසර තුනකින් සුපිරි රග්බි තරුවක් වූ ක්‍රීඩකයෙක් පිළිබඳ ඔබ අසා තිබේ ද? වින්ග් ස්ථානයෙන් ක්‍රීඩාව ආරම්භ කර අංක අට, ෆ්ලෑන්කර් වැනි ස්ථානවල එක සේ දක්ෂ ලෙස ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ඔබ දැක තිබේ ද?

ස්ථාන කිහිපයකට සරිලන උස මහත මෙන්ම වේගයෙන් ද සපිරි ඔහු මේ දිනවල මේට්ලන්ඩ් පෙදෙසේ CH&FC ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණයේ නියමුවෙක්. ධනුෂ්ක රන්ජන් ලාට, දුලාජ් පෙරේරාට සැඟව ගිය සාන්ත පීතර විදුහලෙන් පැමිණි වේගවත් මෙන්ම අතිදක්ෂ අනුරාධ හේරත් ThePapare.com සමඟින් දොඩමලු වුනා.

හැව්ලොක් පවුලට පෙම්බැඳි රණශූර ශක්තිවන්තයා – “බෝධි”

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ශක්තිය කවුරුන් දැයි ඇසුවහොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක්ද?…

අනුරාධ හේරත් කොළඹට ආවේ කොහොමද?

“මගේ ඉස්කෝලේ අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලය, මම සාමාන්‍ය පෙළ කරනකම් එහෙ තමයි ඉගෙන ගත්තේ.” අනුරාධ සිය මතකය අවදි කළේ සිය ආරම්භක පාසල ඉතා ගෞරවයෙන් සිහි කරමිනි.

සෑම මිනිසෙකුගේ සාර්ථකත්වය පසුපසම ගැහැණියක් සිටිනවා යැයි කතාවක් ඔබ අසා ඇති. ඒ නමුත් ඊටත් වඩා සෑම සාර්ථක මිනිසෙකු පසුපසම දක්ෂ මෙන්ම නුවණැති ගුරුවරයෙක් ද සිටිනවා.

“මාව බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට ගෙනාවේ එම්. එස් නන්දසිරි සර්, මිල්රෝයි සර් තමයි එතැන ඉඳන් මාව බලා ගත්තේ.”

(ටික කලකින් සාන්ත පීතර කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයෙක් වීමට අනුරාධ සමත් විය.)

“මම රගර් සෙල්ලම් කළේ නැහැ, මම සාන්ත පීතර විද්‍යාලයට ඇවිල්ලා ෆුට්බෝල් වලට හා උසස් පෙළට ඉගෙන ගන්න තමයි මහන්සි වුනේ.” අනුරාධ සිය ජීවිතය වෙනස් වූ ස්ථානය පිළිබඳව පවසා සිටියේ ඉතා සතුටින්.

රග්බි පිටියට පා තැබුවේ අහම්බෙන් ද?

“මගේ ඉස්කෝලේ, සාන්ත පීතර විද්‍යාලයේ තියෙනවා ඉන්ටර් හවුස්, ටැග් රග්බි තරගාවලියක්” අනුරාධගේ වේගය පිළිබඳව පාසලට පළමු ඉඟිය ලැබුණේ එහි දීයි.

“මගේ හවුස් එක නිකලස්, මගේ හවුස් එක එම තරගාවලියේ ශූරයින් වුනා, මම ඒ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට සම්මාන ලැබුවා, ඊට පස්සේ සනත් මාටිස් සර් තමයි ඇවිල්ල මට රග්බිවලට එන්න කිව්වේ.”

“2010 වසරේ දී තමයි මට ඉස්සෙල්ලම රග්බි පිටියට සෙල්ලම් කරන්න එන්න කිව්වේ ” අනුරාධපුරයේ අනුරාධ රග්බි පිටියට පිවිසුණේ එලෙසින්.

පළමු තරගවාරය අභියෝගයක් ද?

“මම 2011 ඉඳන් තමයි රග්බි ක්‍රීඩා කරන්න පටන් ගත්තේ, මගේ පළවෙනි තරගය වුනේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයත් එක්ක තිබ්බ තරගය, ඒ තරගයේ දී මම ට්‍රයි දෙකක් තිබ්බා.”

අනුරාධ පාපන්දු ක්‍රීඩාවට පෙම්කළ අයෙක්. එම නිසාම ඔහු රග්බි ක්‍රීඩාව ආරම්භ කරන්නේ wing ස්ථානයේ. කෙසේ වෙතත් සනත් මාටිස් මහතාගේ අදහසකට අනුව ඔහු නොම්මර අට ස්ථානය කරා මාරු වෙනවා. පසුපෙළින් ඉදිරිපෙළට මාරු වීම අභියෝගයක් වුනත් ඔහු එම කැඳවීමට ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන්නේ සුපිරි දක්ෂතා සමඟින්.

(මහනුවර ක්‍රීඩා සමාජය හා CR&FC කණ්ඩායමෙන් ඇරයුම් ලද ඔහු තෝරා ගත්තේ ලොන්ඩන් පෙදෙසයි)

“මම නොම්මර 8 ස්ථානයට ආදරය කළා, එය හරිම වෙනස්, එතැන ක්‍රීඩකයෙකුට ලොකු නිදහසක් තිබෙනවා, පන්දුව සමඟ දුවන්න අවස්ථාව තිබෙනවා, ප්‍රතිවාදීන් නවත්වන්න අවස්ථාව තිබෙනවා, wing ස්ථානයේ ක්‍රීඩකයෙකුට සිදු කළ හැකි දේ සීමා සහිතයි.”

2012 තරගවාරය මතක් කළොත් ?

“ධනුෂ්ක රන්ජන් තමයි සාන්ත පීතර විද්‍යාලයේ නායකයා වුනේ, කෙසේ වෙතත් ආබාධයක් නිසා ඔහුට සෙල්ලම් කරන්න බැරි වුනා.”

“අමතක නොවනම තරගය තමයි ත්‍රිත්ව විද්‍යාලය සමඟ පැවති තරගය, ඒ වසරේ ත්‍රිත්ව විද්‍යාලය ඉතා ප්‍රබලයි. තරගය තිබුණේ ත්‍රිත්ව බලකොටුව වූ පල්ලෙකැලේ, මට මතකයි මම උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරනවා.”

(අනුරාධ ගේ අමතක නොවන තරගය)

ඔබ දක්ෂ සත් සාමාජික ක්‍රීඩකයෙක්?

“2013 වසරේ සාන්ත පීතර විද්‍යාලය සමස්ත ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය දිනනවා, කොලින් ඩෙනිශ් තමයි අපේ පුහුණුකරු වුනේ, මම එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයක් දිනුවා.”

2013 වසරේ පාසල හැර යන අනුරාධ හට ක්‍රීඩා සමාජ කිහිපයකින්ම ඇරයුම් ලැබෙනවා. ඉන් ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය හා CR&FC කණ්ඩායම විශේෂයි.

අනුරාධගේ මීළඟ නවාතැන කොහේද?

“සාන්ත පීතර විද්‍යාලයේ ආදී රග්බි ක්‍රීඩකයෙක් වෙච්ච නූර් අයියා තමයි ඒ වෙනකොට CR&FC කණ්ඩායමේ නායකයා වුනේ, ඒ නිසා මම හිතුවා ලොන්ඩන් පෙදෙස තමයි මට හොඳම තැන කියලා.”

(ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින්)

Wing ස්ථානයෙන් නොම්මර අටට මාරු වුණු ඔහුට CR&FC ක්‍රීඩා සමාජයේ දී හිමි වන්නේ දෙවන පෙළ/ ෆ්ලෑන්කර් ස්ථානයයි. ඒ අභියෝගයට ඔබ සාර්ථකව මුහුණ දුන්නා ද?

“2013 වසරේ සිට 2017 වසර දක්වා මම CR&FC වෙනුවෙන් ක්‍රීඩා කළා, එතැන දී මගේ පුහුණුකරු වුනේ ඉන්ති මරික්කාර් මහතායි.”

රග්බි දිවියේ සංධිස්ථානය CH&FC ද?

“ඒක අලුත් අත්දැකීමක් වුනා, එක් එක් ක්‍රීඩා සමාජවලින් ආපු ක්‍රීඩකයින් තමයි එහි හිටියේ, මුල් කාලයේ දී ඔවුන් එකිනෙකා හඳුනා ගත්තා, දැන් කණ්ඩායම හොඳට සෙට් වෙලා තියෙන්නේ.”

“මම CH&FC ක්‍රීඩා සමාජයට ආවේ 2017 වසරේ, රෝහිත රාජපක්ෂ මට කතා කරලා කිව්වා CH&FC ක්‍රීඩා සමාජයට එන්න කියලා, නාමල් අයියාත් මට ගොඩක් උදව් කළා, ඒ නිසා මම තීරණය කළා CH කණ්ඩායම හා එක්වන්න.”

CH කණ්ඩායමේ පිබිදීම ගැන කිව්වොත්?

“මුල් කාලයේ අපිට තරු හිටියේ නැහැ, ක්‍රමයෙන් අපි කණ්ඩායමක් විදියට ක්‍රීඩා කළා, අපේ අරමුණ වුනේ ලීග් එක දිනන්න, ඒ වෙනකොට අපි ලකුණු සටහනේ අටවැනි ස්ථානයේ හිටියේ.”

“අපිට ලී කීගල්, චිචී වගේ දිනන්න දැඩි අවශ්‍යතාවයක් තිබුණ ක්‍රීඩකයින් හිටියා, අපි ලකුණු සටහනේ හතරවැනි ස්ථානයට එන්නට සමත් වුනා, අපි තව එක තරගයක් දිනුවා නම් සමහර විට අපිට දෙවන ස්ථානය දිනන්නත් තිබුණා.”

අනුරාධ CH කණ්ඩායම නැවත පිබිදීමේ රහස එලි කළේ එලෙසින්. ටවිටා ටුලගිසේ හෙවත් ලගා 2017-18 කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ බව මතක් කළ යුතුමයි.

වසර අටක රග්බි දිවියේ අමතක නොවන මොහොත?

“මට භයානක සැත්කම් දෙකකට මුහුණ දෙන්න සිදු වුනා, 2015-16 අතර කාලයේ තමයි ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිදු වුනේ.

“මාව ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමට තෝරා ගත්තා, මම මගේ පළමු සංචාරය ලෙස බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී වුනා. එය මට මහත් ආඩම්බර මොහොතක්, මගේ හොඳම කාලය තමයි ඒ, නමුත් මම එම සංචාරයෙන් ආපසු ආවට පස්සේ මට දරුණු දණහිසේ ආබාධයක් ඇති වුනා.”

“මම ගොඩක් මානසිකව වැටුණා, කෙසේ වෙතත් වාසනාව මා සතුව තිබුණා, මම කොහොම හරි නැවත ක්‍රීඩාවට පිවිසුණා, මම හිටපු මට්ටමට එන්න ගොඩක් මහන්සි වුනා, එ්ක හොඳ අත්දැකීමක්.”

අමිහිරි අත්දැකීමක් වුනත් ජීවිතය පිළිබඳ අලුත් යමක් ඉගෙන ගත් බව ඔහු මතක් කළේ සඟවාගත් වේදනාබර සිනහවක් සමඟින්.

ඔබේ ජීවිතයේ වීරයෝ?

“මාව සාන්ත පීතර විද්‍යාලයට ගෙන ගියාට එම්. එස් නන්දසිරි ගුරුතුමාට මම ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙන්න ඕන, ඔහු නැතිවෙන්න මම රග්බි ක්‍රීඩා කරන්නේ නැහැ”

“මිල්රෝයි සර්, ෆාදර් ට්‍රැවිස් ගේබ්‍රියෙල්, සනත් මාටිස් සර්, කොලින් ඩෙනිශ්, සාන්ත පීතර ආදී ශිෂ්‍යයින්, සිසුන්, ගුරුවරුන් මම මතක් කරන්න කැමතියි.”

”මගේ දෙමව්පියන් වගේම මගේ බිරිඳත් මම විශේෂයෙන් මතක් කරනවා, මගේ බිරිඳ මගේ තරගවලට උදව් කරලා ලොකු සහයෝගයක් දෙනවා.”

අනුරාධපුරයෙන් කොළඹට පැමිණි අනුරාධ විශ්වාසය ඇති නම් ඕනෑම ක්‍රීඩකයෙකුට සාර්ථක විය හැකි බවට ජීවමාන සාක්ෂියක්.

සැඟවුණු රග්බි තරු සොයා යන ThePapare.com හැව්ලොක් පිටිය හෙල්ලූ තවත් තරුවක් ගැන සැඟවුණු විස්තර ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<