හැව්ලොක් පවුලට පෙම්බැඳි රණශූර ශක්තිවන්තයා – “බෝධි”

2843

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ශක්තිය කවුරුන් දැයි ඇසුවහොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක්ද? නිසැකයෙන්ම ඔබට මතකයට එන්නේ හැඩි දැඩි නමුත් වේගවත්, රණකාමි නමුත් ඉතා සුහද රග්බි තරුවක්. ෆාසිල් මරීජා, නාලක වීරක්කොඩිලාට යටවී සැඟව ගිය ලාංකීය රග්බි පිටියේ ශක්තිය, දුෂ්මන්ත ප්‍රියදර්ශන හෙවත් “බෝධි අයියා” ThePapare.com සමඟ දොඩමලු වුනේ මෙහෙමයි.

හැව්ලොක් ක්‍රීඩකයෝ ගුවන් හමුදාවේ තටු සිඳියි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 11 වන සති අන්තයේ ….

බෝධි ආවේ කොහෙන්ද?

“මගේ ගම බෝධිවත්ත, කට්ටිය මගේ නම කෙටි කරලා කියන්න ලේසි වෙන්න බෝධි කියලා නමක් දැම්මා” සිනාමුසු මුහුණෙන් පැවසූ ඔහු ඔහුගේ අතීතය පිළිබඳ මතකය අවදි කළා.

“මගේ පාසල කළුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලය, අපේ ඉස්කෝලේ නම් රගර් තිබුණේ නැහැ, ක්‍රිකට් ෆුට්බෝල් තමයි අපි සෙල්ලම් කළේ, ගමෙත් ෆුට්බෝල්ම තමයි තිබුණේ.”

“මම ට්‍රයි එකක තියනවාට වඩා වෙන එක්කෙනෙක්ට සපෝර්ට් කරලා ට්‍රයි එකක් තියන්න තමයි මම කැමති, ඒක තමයි ඇඟට දැනෙන්නේ”

දැන් ප්‍රමාණයෙන් විශාල වුනත් පාසල් යන සමයේ ඔහු වේගවත් ධවකයෙක්. තවමත් රග්බි තරගවල දී ඇතැම් වේලාවට ඉදිරිපෙළ ක්‍රීඩකයෙකුට කලාතුරකින් හිමි වන විදුලි වේගය ඔහුගෙන් දැකගත හැකි.

“ඉස්කෝලේ යන කාලේ මීටර 100, 200 වගේ ඉසව් මම කළා, එතකොට වේගය ඇඟේ තිබුණු නිසා එම ඉසව් කරන්නත් පහසු වුනා.”

(දුෂ්මන්ත සුපිරි දස්කම් පෙන්වූ හැව්ලොක් – CR තරගයේ විශේෂ අවස්ථා කිහිපයක්) 

“ඉස්කෝලේ දී රගර් බෝලයක් අල්ලලාවත් නැහැ ඉස්කෝලෙන් අයින් වෙනකම්ම, ටී. වී එකේ දැකලා තමයි ආසාවට 2006 රගර් සෙල්ලම් කරන්න ගියේ.”

රග්බි පිටියට එන්නේ හිතුවේ ඇයි?

“පීටර්සන් ක්ලබ් එකේ 2006 අවුරුද්දේ ආසාවට වගේ ටැප් රග්බි සෙල්ලම් කරන්න ගිහින් තමයි රග්බි සෙල්ලම් කරන්න පටන් ගත්තේ”

රග්බි පිටියේ ඔබේ ගුරුවරයා කවුද ?

“ශම්ලත් ප්‍රනාන්දුගෙන් තමයි රගර් ඉගෙන ගත්තේ, බෝලේ ඇල්ලුවේ 2006 වසරේ දී පීටර්සන් ක්ලබ් එකේ දී.“

බෝධි හැව්ලොක් ක්‍රීඩා සමාජයට එක්විමත් සුරංගනා කතාවත් වගේ. දක්ෂතාවය වෙනුවෙන් තමන්ගේ ස්ථානය උපයා ගත් ඔහු හැව්ලොක් ක්‍රීඩා සමාජයට එක්වූ ආකාරය පැවසුවේ ඉතා අභිමානයෙන්.

“එහෙම්ම 2006 ඉඳලා මම සෙල්ලම් කරා, 2007 වසරේදී බස්නාහිර පළාත් සත් සාමාජික තරගාවලියක් පැවැත්වුණා, අපි එකේ අවසන් මහා තරගයට ආවා හැව්ලොක් ක්‍රීඩා සමාජය එක්ක, එකේ දී මාව දැකලා තමයි 2008 දී මට හැව්ලොක් ක්‍රීඩා සමාජයට අඩගැහුවේ, එදා ඉඳන් දිගටම හැව්ලොක් තමයි.”

බෝධි තමන්ගේ අභිමානයට වචන එකතු කළා.

ඉස්සර පසුපෙළ ක්‍රීඩකයෙක් කියන්නේ ඇත්ත ද?

“පටන් ගත්ත කාලේ පීටර්සන් එකේ වින්ග්, සෙන්ටර් වගේ ස්ථාන තමයි සෙල්ලම් කළේ.”

“හැව්ලොක් එකට ඇවිල්ලත් සෙන්ටර්, වින්ග්ම තමයි සෙල්ලම් කළේ, 2009න් පස්සේ වගේ තමයි ප්‍රොප් ගහන්න ආවේ.”

“ඒ කාලේ ෆුට්බෝල් ගහල එහෙම දුවන්න කරන්න හැකියාව හොඳට තිබ්බා” ස්ථානය මාරු වීමේ අභියෝගය පිළිබඳ ඔහු කතා කළා. “ප්‍රොප් ගහන්න ඕන හින්ද 2008 විතර ඉඳන් ටිකක් මහත් වේවි ආවා, එතකොට වේගයක් ටිකක් අඩු වුනා.”

“අපේ පවුල්වලට හැම තරගයටම එන්න බෑ, ThePapare.com කරන මේ සේවය නිසා ඔවුන්ට ගෙදර ඉඳන් වුනත් අපි සෙල්ලම් කරනවා බලන්න පුළුවන්.”

වරින් වර ආබාධවලට ලක් වීම ක්‍රීඩකයින්ට ඇති ලොකුම ගැටලුවයි. එහෙත් 2011 වසරේ සිට අද දක්වා දුෂ්මන්ත හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සෑම තරගයක්ම ක්‍රීඩා කර ඇති බව ඔබ දන්නවා ද?

ඔමල්කගේ උත්සාහය වතුරේ යවමින් හැව්ලොක් ඉදිරිපෙළ කුසලානය උදුරා ගනී

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 10 වැනි …..

“2011 ඉඳල තමයි මම එක දිගට ප්‍රොප් ස්ථානයේ සෙල්ලම් කළේ, 2011 මම ඉස්සෙල්ලම ආරම්භ කරපු තරගයේ ඉඳලා මම 2019 වෙනකම් හැව්ලොක් වෙනුවෙන් හැම තරගයක්ම වගේ ආරම්භ කරලා තිබෙනවා.”

“හැව්ලොක් කියන්නේ මගේ ජීවිතේ වෙනස් කරපු තැනක්”

“හැව්ලොක් ක්‍රීඩා සමාජය තමයි මගේ ජීවිතය වෙනස් කළේ, රගර්වලට ආදරෙයි නම් මම ඉස්සෙල්ලම ආදරේ හැව්ලොක් එකට” බෝධි තමන්ට ජීවිතය හදාගන්නට උදව් කළ ස්ථානය මතක් කරන්නටත් අමතක කළේ නැහැ.

Daily News

“මම මේ අද යම් තත්වයක ඉන්නවා නම්, ඒකට වගකියන්න ඕන හැව්ලොක් එක, ශ්‍රී ලංකා ගහන්නත්, මගේ නෝනා මගේ දරුවොන්ටත් අඩිතාලමක් වුනේ හැව්ලොක් එක, ඇත්තම කියනවා නම්, හැව්ලොක් එක නිසා තමයි මම මේ තත්වයේ ඉන්නේ.”

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඔබේ කාර්යභාරය?

2012 දී තමයි පළමු වරට ශ්‍රී ලංකා සංචිතයට සුදුසුකම් ලබන්නේ, කොහොම වුනත් මට පිලිපීන සංචාරය යන්නට බැරි වුනා, මම සංචිතයෙන් ඉවත් වුනා.“

“ඒ වුනත් 2013 දී ශ්‍රී ලංකා සංචිතයට සුදුසුකම් ලැබුවාම එදා ඉඳන් අද වෙනකම් දිගටම ශ්‍රී ලංකා සංචිතයේ ඉන්නවා.”

“2013 දී ශ්‍රී ලංකාවේ දී ගැහුවා ෆයිව් නේෂන්ස් තරගාවලිය, ඒකට මම ක්‍රීඩා කළා, ඒ වගේම 2014 අපිට ෆයිව් නේෂන්ස් තරගාවලියේ දී හමුවුනේ ජපන්, කොරියානු හා පිලිපීන කණ්ඩායම්, මම ජපාන සංචාරය පිලිපීන සංචාරය වගේ සංචාර කිහිපයකට එක් වුනා.”

“2013න් වගේ පස්සේ තිබුණු ශ්‍රී ලංකා ටුවර්ස් ඔක්කොම වගේ ගියා” දුෂ්මන්ත සිය ජාත්‍යන්තර අත්දැකීම් විස්තර කළේ එලෙසින්.

ඒ කාලේ රග්බි ක්‍රීඩාවයි දැන් ක්‍රීඩාවයි වෙනස් ද?

“මට නම් පේන විදියට ලොකු වෙනසක් නැහැ, පොඩ්ඩක් තියෙන්නේ නීති වෙනස් වෙලා තියෙනවා.”

“ඉස්සර වගේ නෙවෙයි දැන් රගර් බලන අයගෙයි ගහන අයගෙයි ලොකු උනන්දුවක් තිබෙනවා සෙල්ලමට, ඉස්සර ගොඩක් අය ආවේ නැහැ මැච් බලන්න, දැන් ඒ වගේ නෙවෙයි , ප්‍රේක්ෂකයින් එනවා උනන්දුවෙන්.”

වසර 19ක රග්බි ජීවිතයේ අමතක නොවන සිදුවීම් මතක් කළ විට ඔහුට නිතැතින්ම මතකයට ආවේ එක් සිදුවීමක්. ඒ 2012 වසරේ දී වසර ගණනක් රජ කළ මහනුවර කණ්ඩායම සිහසුනෙන් බිමට ඇද දමමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ ලීග් තරගාවලිය ජය ගත අවස්ථාවයි.

“2012 අවුරුද්දේ රග්බි ලීග් එකේ හැව්ලොක් චැම්පියන් වුනා.”

“ඒ වසරේ දී මට ලංකාවේ හොඳම ප්‍රොප් ක්‍රීඩකයා ලෙස සම්මානයක් ලැබුණා, ඒක තමයි මට මගේ රග්බි ජිවිතයේ අමතක නොවන සිදුවීම.”

2018-19 තරග වාරය හැව්ලොක් ක්‍රීඩා සමාජයට ලොකු අභියෝගයක් වුනා කිව්වොත්?

“මේ පාර සීසන් එක පටන් ගද්දී ගොඩක් අය, රගර් බලන අය පවා කිව්වේ මේ පාර හැව්ලොක් ක්‍රීඩා සමාජයෙන් ගොඩක් කට්ටිය ගියා, ක්‍රීඩකයින් ගියා ඕගොල්ලන්ට ගන්න බැරි වෙයි මේ පාර හත අටවත් වෙයි කියලා.”

“අපේ හිටපු ක්‍රීඩකයින් හා අලුතෙන් ආපු ක්‍රීඩකයිනුත් කිසිම සීනියර් ජූනියර් භේදයක් නැතුව එක්වුණා, ඔක්කොම එකා වගේ සෙට් වුනා, කට්ටිය කතා කරලා ප්‍රැක්ටිස් ටික හරියට කර ගත්තා, හොඳ පුහුණුකරුවෙක් අපිට ලැබුණා, හැව්ලොක් කමිටුවෙන් අපිට හොඳ සහයක් ලැබුණා.”

අමාරු ස්ථානයක සිට ලීග් ලකුණු සටහනේ දෙවන ස්ථානය වෙත (මේ වන විට) කණ්ඩායම ගෙන ඒමට හැකි වීම පිළිබඳව දැන් සිටින පැරණිතම හැව්ලොක් ක්‍රීඩකයා සිටියේ ඉතා සතුටින්.

මේ තරග වාරයේ ඉදිරි බලාපොරොත්තු?

“එකා වගේ හිටිය නිසා අපිට පුළුවන් වුනා කණ්ඩායම මේ තරම් ඉහළට අරන් යන්න.”

“මැච් එකෙන් මැච් එකට ඉස්සරහට යන්න තමයි බලන්නේ, අපි දැනට පැරදිලා තියෙන්නේ එක තරගයක් විතරයි, කප් එක ගහනවාමයි කියලා නැහැ, එක මැච් එකක දිනලා ඊළඟ එකට යනවා.”

නායකයා ලෙස කටයුතු කළ 2016-17 තරග වාරයේ දී

අනාගත බලාපොරොත්තු?

“ලංකාවේ හොඳම ඉදිරිපෙළ පුහුණුකරුවෙකු වෙන එක තමයි ලොකුම බලාපොරොත්තුව, දැනට මම පාසලක පුහුණුකරු ලෙස කටයුතු කරනවා“

ThePapare.com ගැන වචනයක් එකතු කරොත්

“ThePapare.com ලොකු සේවයක් කරනවා ක්‍රීඩාවට, අපිත් මැච් එකක් ඉවර වුනාම ThePapare.com එකේ මැච් එක ආයේ බලනවා, ඒවා ඔක්කොම වීඩියෝ කරලා තියෙනවා එකේ, ඒ වගේම අනෙක් කණ්ඩායම්වල මැච් පවා අපි බලල තරගයට සූදානම් වෙනවා, ලංකාවේ වෙන කොහෙවත් ඒ පහසුකම නෑ.”

“අපේ පවුල්වලට හැම තරගයටම එන්න බෑ, ThePapare.com කරන මේ සේවය නිසා ඔවුන්ට ගෙදර ඉඳන් වුනත් අපි සෙල්ලම් කරනවා බලන්න පුළුවන්.”

වසර ගණනක් ක්‍රීඩා දිවිය වෙනුවෙන් කැප කළ සුපිරි රග්බි ක්‍රීඩකයින් පිළිබඳ ඔබ නොදත් තොරතුරු ගෙන ඒමට ThePapare.com සූදානම්. මීළඟට අප හමුවට එන්නේ කොළඹින් බැහැර සුපිරි තරුවක්. එතෙක් රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<